අකලට වයසට යාම වළක්වා ගත හැකි ආකාර

0
7119
අකලට වයසට යාම වළක්වා ගත හැකි ආකාර

අවාසනාවකට මෙන් වයසට යාම අපට වළක්වා ගත නොහැකි සංසිද්දියකි.මෙය ඕනෑම ජීවීයෙකුට පොදු දෙයකි. නමුත් ඔබ, ඔබගේ සම නිසි ලෙස ආරක්ෂා කරගත හොත් වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගත හැකි වේ. සමබර ආහාර වේලක් ගැනීමෙන් හා දිනපතා ව්‍යායාම් වල නිරත වීමෙන් ද ඔබට තරුණ බව ආරක්ෂා කර ගත හැකි වේ. සියලුම දේ තීරණය වන්නේ ඔබ තුල ඇති ආශාව හා උනන්දුව තුලය. සමහර කාන්තාවන් නොදැනුවත්වම, වැරදි පුරුදු තුලින් ඔවුන්ගේ වයසට වඩා අධික පෙනුමක් ලබා ගෙන ඇත. කෑම වේල් මඟ හැරීම, ක්ෂණික ආහාර වලට පුරුදු වීම, ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකිරීම හා නින්දක් නොලැබීම යනාදි හැසිරීම් ඔබ විසින් සිදු කරනවා වන්නට පුලුවන. පහත දැක්වෙන්නේ තරුණ බවක් ලබා ගැනීම සඳහාත්, සම ආරක්ෂා කර ගැනීමටත් ඔබ විසින් අනුගමනය කල හැකි උපදෙස් 7 කි.

වැරදි පුරුදු වලින් ඈත්වන්න.
දුම්පානය හා මත්පැන් වලට ඇබ්බැහිවීම ඔබට තාවකාලීව තෘප්තියක් ලබා දුන්නත් මෙම පුරුදු කවදාවක් ඔබගේ සමට හිතකර අන්දමින් ක්‍රියා නොකරයි. බොහෝ පරීක්ෂණ වලට අනුව අකලට වයසට යාමේ ප්‍රධාන කාරකයක් ලෙස දුම් පානය හඳුන්වා ගෙන ඇත. ඔබ දිනපතා දුම් වැටි ගණනාවක් උරන්නේ නම් හෝ මත් පැන් අධික ලෙස පානය කරන්නේ නම් ඔබගේ සමේ තෙතමනය සීඝ්‍රයෙන් අඩු විය හැක. මෙහි ප්‍රතිඵලයක් ලෙස සම රැලි වැටීම, කොලැජන් හිඟකම, සම රතු වීම යනාදි ලක්ෂණ පෙන්නුම් කරන්නට ගනියි. මෙම අහිතකර පුරුදු වලින් ඈත් වීමට උත්සාහ ගන්න. ඉන් ඇතිවන ප්‍රතිඵල ඔබගේ ගතත් සිතත්, සමත් සතුටු කරනු ඇත.

ඔබගේ බෙල්ල, උරහිස් හා දෑත් පිළිබඳ සැකලිකිමත් වන්න.
ඔබගේ මුහුණෙන් තරුණ බව දිස් වූවත්, දෑත්, බෙල්ල හා උරහිස් යන ස්ථාන රැලි වැටීමෙන් ඔබට පමණට වඩා වයසක පෙනුමක් ලබා දිය හැක. එම නිසා මුහුණ සේම ඉහත කී ස්ථානවල සම ආරක්ෂා කර ගැනීම සඳහා ඔබ දෛනිකව කටයුතු කල යුතුය. නින්දට පෙර බෙල්ල, උරහිස් හා දෑත් නිතරම මොයිෂ්චරයිස් කරන්න. ඔබ එළියට බහින විට සන් ස්ක්‍රීන් එකක් ආලේප කරන්න.

දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වලකින්න.
මෙයින් ඔබට කිසිසේත් අව්වට ආවරණය වීමෙන් වැලකිය යුතුයි යන්න අදහස් නොවේ. ඔබගේ සමට අවශ්‍ය විටමින් D ප්‍රමාණය ලබා ගැනීම සඳහා ඔබ එලිමහනේ යම් වේලාවක් ගත කල යුතුය. කෙසේ වෙතත්, අව්වේ බොහෝ වේලාවක් ගත කිරීම ඔබගේ සමට හිතකර නොවේ. සම රැලි වැටීම, අකලට වයසට යාම මෙන්ම සමහර චර්ම පිළිකා රෝග ඇති වීමටද මෙය බලපායි. SPF අගය වැඩි සන් ස්ක්‍රීන් එකක් ආලේප කර නිවසින් එලියට බහින්න. අවශ්‍ය නම් දිවා කාලය තුලදි නැවත එය ආලේප කරන්න. වැසි සහිත කාලයන්හීදි පවාද මෙසේ ඔබට සම ආරක්ෂා කර ගැනීම සඳහා සන් ස්ක්‍රීන් එකක් භාවිතා කල හැක.

ඔබගේ මුහුණ නිතරම ඇල්ලීමෙන් වළකින්න.
කුරුලෑ ඇතිවීම හා වෙනත් චර්ම රෝග වලින් ආරක්ෂා වීමට නිතරම මුහුණ ඇල්ලීමෙන් වලකින්න. නහය ඇදීමෙන් හෝ ඇස් කැසීමෙන් ඔබගේ මෘදු සම විනාශ වීමට ඉඩ ඇත. ඔබ අයි ක්‍රීම් එකක් භාවිතා කරන්නේ නම්, එය ගැල්වූ පසු සම පිරිමැදීමෙන් වලකින්න.

දිනකට දෙවතාවක් මුහුණ සෝදන්න.
සමහර දවස්වලට උදෑසන මුහුණ හෝදන්නටත්, රෑ නින්දට පෙර ඔබගේ මේකප් හෝදන්නටත් ඔබට කම්මැලිකමක් දැනෙන්නට පුලුවන. අකලට වයසට යාමේ එක් ප්‍රධාන හේතුවක් ලෙස මුහුණ නිසි ලෙස පිරිසිදු නොකිරීම හැඳින්විය හැක. මේ සඳහා මිනිත්තු 10කටත් අඩු කාලයක් ගත වන හෙයින් දිනපතා ඔබගේ සම දෙවතාවක්වත් පිරිසිදු කිරීමට වග බලා ගන්න. මේ තුලින් ඔබට අකලට සම රැලි වැටීමෙන් හා කුරුලෑ ඇතිවීමෙන් සම ආරක්ෂා කර ගත හැක.

ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.
ඔබ පැය 6-8 ට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නිදා ගන්නේ නම් ඔබ ඔබේ සමට සිදු කරනු ලබන්නේ උපකාරයක් නොව විනාශයකි. ඔබගේ සම නැවත ප්‍රකෘතිමත් වීමට අඩුම තරමේ පැය 6ක නින්දක් ඔබ ලබා ගත යුතු වේ. අකලට රැලි වැටීම වලක්වා ගැනීම සඳහා ඔබ පැය 8ක් නිදා ගත යුතු අතර අවම වශයෙන් රාත්‍රී 11ට වත් නින්දට යා යුතුය. ඔබ මධ්‍යම රාත්‍රියෙන් පසු පැය 8ක නින්දක් ලබන්නේ නම් පෙරට වඩා ඔබගේ සමෙහි රැලි වැටීම් යනාදිය ඇති වීමට ඉඩ ඇත. මක් නිසාද යත්, සාමාන්‍යයෙන් රාත්‍රී 10-2 යනු ප්‍රතිජනක නින්දක් ඇතිවන කාලයයි. 10ට ඇඳට යාම තරමකට අපහසු වූවත් ඔබට 11ට වත් නින්දට වැටිය හැක. ඔබගේ නිදා ගන්නා ඉරියව්වද සමේ නීරොගිභාවය සඳහා බලපායි. පැත්තට බර දීමෙන් නිදා ගැනීම වෙනුවට කොන්ද කෙලින් පිහිට සේ නිදා ගැනීමට උත්සාහ ගන්න.

ප්‍රතිඔක්සිකාරක වැඩියෙන් ලබා ගන්න.
ඔබගේ දෛනික ආහර වේල සඳහා හැකි පමණ ප්‍රතිඔක්සිකාරක ලබා ගන්න. සම අකලට වියපත් කරන කාරක වලට එරෙහිව ක්‍රියාත්මක වන බලයක් මෙහි ඇත. බෙරි ජාති, බෝංචි, ඩාක් චොක්ලට්, ඇපල්, ආටිචෝක්, කැරට්, පෙකන්ස් නම් වියලි ගෙඩි ජාතිය හා ප්ලම්ස් ඔබගේ ආහාර රටාවට එකතු කර ගන්න.

අකලට වයසට යාම වලක්වා ගැනීම අසීරි කාර්යයකි. අයහපත් පුරුදු නිසා සමහර කාන්තාවන්ට වයස අවුරුදු විස්සේදි පවා සම රැලි වැටීම වැනි ලක්ෂණ පෙන්නුම් කරන්නට පටන් ගනියි. පලතුරු හා එළවලු වැඩියෙන් අනුභව කරන්න. ප්‍රමාණවත් ලෙස ජලය පානය කර සුව නින්දක් ලබා ගන්න. මානසික ආතතියෙන් මිදෙන්න. ඉහත සඳහන් කල උපදෙස් 7 අනුගමය කිරීමෙන් ඔබට ඔබගේ තරුණ බව ආරක්ෂා කර ගත හැක. වයසට වඩා තරුණ බවක් ලබා ගැනීම සඳහා ඔබ දන්නා තවත් රූපලාවන්‍ය රහස් තිබෙනවාද?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here