මොනවද මේ ස්මාර්ට් හෝම්?

0
2564
මොනවද මේ ස්මාර්ට් හෝම්

ස්මාර්ට් හෝම් කියන්නේ නිවසේ ඇති රූපවාහිණිය, පරිගණකය,ආරක්ෂිත කැමරා සහ උපාංග,ආලෝක උපාංග සහ නිවසේ ඇති අනෙකුත් උපාංග සියල්ල නිවසේ ඕනෑම කාමරයක සිට මෙන්ම ලෝකයේ ඕනෑම තැනක සිට අන්තර්ජාලය හරහා පාලනය කළ හැකි නිවෙස් වර්ගයකි. මෙම නිවෙස් වල උපකරණ සියල්ල අන්තර්ජාලයට සම්බන්ධ කර ඇති අතර යම් කිසි කාල සීමාවකට පමණක් ක්‍රියාකරන ලෙසද උපකරණවල සැකසුම් වෙනස් කළ හැකිය.

මෙහි ඇති වාසි

  1. ලෝකයේ ඕනෑම තැනක සිට පාලනය කළ හැකි වීම

ස්මාර්ට් උපකරණ නිවෙසක ස්ථාපනය කිරීම මඟින් ඔබට එම උපකරණ ඔබේ දුරකථනයට ස්ථාපනය කරගන්නා ඇප් එකක් මඟින් එම උපකරණ පාලනය කිරීමේ හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස ඔබ ඔබේ නිවසේ රූපවාහිණිය අමතක වී ක්‍රියාත්මක කර පිටතට ගියේ නම් ඔබට එය ක්‍රියාවිරහිත කිරීමට නිවසට යෑම පිළිබඳව වදවිය යුතු නැත. ක්ෂණිකව ඔබේ දුරකථනය හරහා අදාළ ඇප් එකට පිවිස රූපවාහිණිය ක්‍රියාවිරහිත කළ හැකිය.

2.ආරක්ෂාව

ස්මාර්ට් හෝම් එකක අයිතිකරුවෙකු වීමේ ප්‍රධානම වාසියක් ලෙස මෙය හැඳින්විය හැකිය. ස්මාර්ට් නිවෙසකදී තම ආදරණීයයන් ආරක්ෂිතව සිටිනවාද යන්න නිවසේ සවිකර ඇති කැමරා හරහා ලෝකයේ ඕනෑම තැනක සිට අන්තර්ජාලය හරහා නැරඹීමේ හැකියාව පවතී. මීට අමතරව නිවසේ විදුලි උපකරණ නිසා ඇතිවන ගිණි අනතුරුවලට ඇති සම්භාවිතාවයද ස්මාර්ට් නිවසකදී සාමාන්‍ය නිවසකට වඩා බොහෝදුරට අඩුය.

සොර සතුරන් වැනි සැක කටයුතු යමක් නිවස තුළ සිදුවන විට ඒ පිළිබඳව ක්ෂණිකව දැනුම් දීමද මෙම තාක්ෂණය සතුව ඇති තවත් විශේෂ අංගයකි.

  1. ආබාධිත අයෙකුට පවා පහසුවෙන් පාලනය කළ හැකි වීම

තමන්ගේ පවුලේ හෝ නිවසට පැමිණෙන අයෙකු රෝගීව සිටී නම් හෝ ආබාධිත නම් ඔවුන්ට නිවසේ කටයුතු කිරීම තරමක් අපහසු කාර්යයකි. එහෙත් ස්මාර්ට් හෝම් තාක්ෂණය අනුව Voice Command භාවිතා කර මෙම බාධාව ඉවත් කර ගත හැකිය.

උදාහරණයක් ලෙස තමන්ට රූපවාහිණිය ක්‍රියාත්මක කර ගැනිමට අවශ්‍ය නම් “රූපවාහිණිය ක්‍රියාත්මක කරන්න” ලෙස පද්ධතියට විධාන ලබාදුන් විට රූපවාහිණිය ක්‍රියාත්මක කරගැනීමේ හැකියාව පවතී.

4. ශක්තිය ඉතිරිවීම

ස්මාර්ට් හෝම් තාක්ෂණය මඟින් නිවසේ ඇති උපකරණවලට අඩු ශක්තියක් භාවිත කර වැඩ කිරීමේ හැකියාව ඇති කරයි. මේ නිසා විදුලිය පමණක් නොව ජල බිල් වැනි දෑ ද අඩුවේ.

  1. පිරිවැය අඩුවීම

ස්මාර්ට් හෝම් තාක්ෂණය අනුව මුදල් ඉතිරි කර ගැනීමද ඉතාමත් පහසු ක්‍රමයකි. නිවස තුළ සවි කර ඇති විවිධ නිරීක්ෂණ උපකරණ මඟින් වැඩිපුර විදුලිය වැය වන උපකරණ, අනවශ්‍ය ලෙස විදුලිය වැය වන උපකරණ නිරීක්ෂණය කර ඊට සුදුසු පිළියම් සිදු කරයි. ඒ අනුව ඔබේ විදුලි බිල ආදිය අඩු කර ගත හැකිය.

මීට අමතරව ස්මාර්ට් හෝම් තාක්ෂණය සඳහා බලය යොදාගැනීමට සූර්ය බල ශක්තිය යොදාගැනීම නිසාද වැයවන පිරිවැය ඉතා අඩු කරගත හැකිය.

මෙහි ඇති අවාසි

  1. මූලිකව අධික වියදමක් දැරීමට සිදු වීම

ස්වයංක්‍රීය පද්ධති, කැමරා, විවිධ නිරීක්ෂණ උපකරණ, උෂ්ණත්ව පාලන උපකරණ වැනි ස්මාර්ට් හෝම් තාක්ෂණය සහිත අධි තාක්ෂණික උපාංග සාමාන්‍ය නිවෙසක් තුළ ස්ථාපනය කිරීමට අධික මුදලක් වැය වේ. මීට අමතරව මේවා නඩත්තුව, අළුත්වැඩියාව සිදු කළ යුතු නිසාද අමතරව වියදමක් සිදුකළ යුතුවේ.

2.විශේෂිත ඉගැනීමක් අවශ්‍ය වීම

සාමාන්‍ය නිවෙසක පාලනය කිරිමට වඩා ස්මාර්ට් නිවසක් පාලනය කිරීම හාත්පසින්ම වෙනස්ය. ස්මාර්ට් නිවසක් පාලනය කිරීමට ඔබ ඒ පිළිබඳව මනාව දැනගත යුතුය. එනම් ආරක්ෂිත කැමරා පාලනය කරන අයුරු, අදාළ උපකරණවලට ඇති ඇප්ස් හරහා උපකරණ පාලනය කරන අයුරු වැනි දෑ මනාව දැනගත යුතු වේ. තාක්ෂණය පිළිබඳව දන්නා අයට මේවා ඉගෙනීම තරමක් පහසු වුවද එසේ නොවන අයට තරමක කාලයක් ගතවේ.

3.පද්ධතියට පිටස්තරයින් ඇතුල්වීමට ඇති හැකියාව

ස්මාර්ට් හෝම් තාක්ෂණය පවතින නිවසක සෑම උපාංගයක්ම එකිනෙකට සම්බන්ධ කර ඇති අතර ඒවා අන්තර්ජාලයටද සම්බන්ධ වී ඇත. මේ නිසා මෙම පද්ධතියට පිටස්තර පුද්ගලයින් අනවසරයෙන් ඇතුල්වීමේ අවධානමක්ද සමහරවිට ඇතිවීමට පුළුවනි. මේ නිසා නිවසේ සවිකර ඇති කැමරා ආදියෙන් දර්ශන ලබාගැනීම වැනි දෑ සිදු වීම නිසා තමන්ගේ පෞද්ගලිකත්වයට හානි ඇති විය හැකිය. එහෙත් මෙම අවධානම අඩු කිරීමට පරිගණක පද්ධති ආරක්ෂණ විශේෂඥයින් සැම විටම ක්‍රියාකරති.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here