ඔබ විඳිය යුතුම සතුට ගෙනෙන අත්දැකීම් කිහිපයක්

0
4918
ඔබ විඳිය යුතුම සතුට ගෙනෙන අත්දැකීම් කිහිපයක්

දවසින් දවස ගෙවෙන හැම තත්පරයක් පාසාම ජීවිතයට අලුත් අලුත් අත්දැකීම් එකතු වෙනවා. ඇත්තෙන්ම කිව්වොත් දවසින් දවස එකතු වෙන අත්දැකීම් අපිට ජීවිතය ගැන කියලා දෙනවා. සමහර අත්දැකිම් දුක සතුට බිය සැක වගේම ජිවිතයේ අනියත බව පිළිබඳවත් අපිට පාඩම් උගන්වනවා.

සතුටුදායක ප්‍රීතිමත් අත්දැකීම් ජීවිතයට එකතු කරගන්නට අපි නොකරන දෙයක් නැහැ නේද? ඔබත් මමත් මිල මුදල් හම්බ කරන්නෙත් වියදම් කරන්නෙත් අපේත් අපේ සමිපතමයන්ගේත්  සතුට වෙනුවෙනුයි.

ඒත් මේ සටහන ලියවෙන්නේ ඔබ භාණ්ඩ මිලදී ගැනීමට වගේම අත්දැකීම් මිලදී ගන්නටත් මුදල් වැය කල යුත්තේ ඇයි දැයි කියා පවසන්නට. සාමාන්‍යයෙන් අප ගන්නා වැටුපෙන් සෑහෙන කොටසක් එදිනෙදා බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා වැය කරන්නට ඔබටත් මටත් සිදු වෙනවා. ඇත්තෙන්ම එදිනෙදා ජීවත් වීම සඳහා කෑම බිම ඇඳුම් පැළදුම් සඳහා කෙසේ හෝ අප මුදල් වියදම් කරනවා. ඇතැම් විට මාස් පඩිය මදි නම් ණය වී හෝ මුදල් වියදම් කිරීමට අප පෙළඹී සිටිනවා.

එහෙත් මොහොතක් සිතා බලන්න. අප මිලදී ගන්නා බොහෝ දේ අපට අත්‍යවශ්‍ය භාණ්ඩ ද කියා. කාන්තාවන් බොහෝ දෙනෙක් සාප්පු සවාරියේ යෙදෙද්දී ලස්සන දෙයක් දුටු විට දෙවරක් නොසිතාම එය මිලදී ගන්නට පුරුදු වී සිටිනවා. මේ නිසා අනවශ්‍ය ලෙස මුදල් වියදම් වෙනවා වගේම අනවශ්‍ය බඩු භාණ්ඩ වලින් ගෙදර ඉඩ කඩත් ඇහිරෙනවා.

අපි හැමෝම කැමතියි අලුත් මෝස්තරයේ ඇඳුම් පැළදුම් මිලදී ගන්න. එක ඇඳුමක් මිලයට ගන්න සාප්පුවකට ගොඩවදෙන ඔබ එක එක මෝස්තරයේ ඇඳුම් කිහිපයක්ම මිලයට ගන්න කෙනෙක්ද? කාර්යාලයට එහෙමත් නැත්තම් උත්සවයකට අලුත් ලස්සන ඇඳුමකින් හැඩවෙලා ගියාම හැමෝම ඔබ දෙස බලද්දී ආඩම්බරයි නම් තමයි. ඒත් තවත් කෙනෙක් ඊටත් වඩා ලස්සනට ඇදන් ආවොත් ඔබට ඒ දැනෙන සතුට තාවකාලිකයි නේද ? ටික දවසකින් ඒ මෝස්තරය පරණ වෙයි. කාලයක් පාවිච්චි කරද්දී ඇඳුමේ පාට හේදිලා යාවි. ඒත් ඔබට පුළුවන් නම් වැරහැලි ඇඳන් ඉන්න කෙනෙක්ට අලුත් ඇඳුමක් අරන් දෙන්න. බලන්න ඔබේ අල්මාරියේත් ආසාවට ගත්ත ඒත් එකම දවසක්වත් ඇඳපු නැති ඇඳුම් කීයක් නම් තියෙනවද කියලා.

අපි තවත් ටිකක් හිතල බලමු. ඔබ උපන් දිනය සමරන්නේ කොහොමද? සුපිරි අවන්හලක සාදයකින් ද? එහෙමත් නැතිනම් ලොකු කේක් ගෙඩියක් කපලා කාලා බීලා විනෝද වෙලාද ? එදාට ඔබත් ඒ එන මිතුරනුත් සතුටු වෙයි. ඒත් ටික කාලයකින් ඒ හැම දෙයක්ම හැමෝටම වගේ අමතක වේවි. තවත් දෙයක් ඔබේ ඒ සාදයට එන හිත මිතුරන්ට කෑම බීම වලින් අඩුවක් නැහැ නේද? ඒත් ලංකාවේ කෑම ටිකක් කන්න ගන්න සල්ලි නැති කොපමණ මිනිස්සු ජිවත් වෙනවද? ඔබට පුළුවන් නේද ඔය වියදම් කරන මුදලෙන් අසරණ  පවුලකට කෑම බීම ටිකක් අරන් දෙන්න. ඒ මිනිස්සුන්ගේ බඩගින්න නැති කරන්න. තවත් දෙයක් සාදයකට වියදම් කරන මුදලෙන් ඔබට පුළුවන් නේද අසරණ දරුවන් ඉන්න ළමා නිවාසයකට යන්න ඔවුන්ට අවශ්‍ය පොත් පත් සෙල්ලම් බඩු ටිකක් අරන් දෙන්න. ඔවුන් සමඟ සතුටු වෙන්න ඒ කුඩා දරුවන්ට සිනාවක් ගෙන්න ඔබටත් පුළුවන් නේද.

මේ දේවල් ඔබේ ජිවිතයට අත්දැකීම් එකතු කරනවා වගේම මැරෙන මොහොතේදී පවා මං මේ වගේ හොඳ දෙයක් කරා නේද කියා හෝ සැනසෙන්න ඔබට පුළුවන්.

බඩු භාණ්ඩ ටික දවසකින් කැඩිලා බිඳිලා යනවා. එය ලෝක ස්වභාවයයි. ඔබත් ඔබ දෙදෙනාගේ විවාහ සංවත්සරයට,උපන් දින සඳහා පුංචි පුංචි තෑගී හුවමාරු කරගන්නවා ඇති. සමහර විට එය රන් මාලයක් එහෙමත් නැත්තම් ඊටත් වඩා වටිනා වාහනයක් වෙන්නත් පුළුවන්. ඒත් ඒ හැම දේම ටික කාලෙකින් පරණ වෙලා කැඩිලා බිදිලා යනවා. ඒත් ඔබට සුවිශේෂී වුන දවස් වෙනස්ම විදියකට ජිවිත කාලයම අමතක නොවෙන විදියට සමරන්න ඔබට පුළුවන්. වටිනා කියන තෑගී වලට වියදම් කරන මුදලෙන් විනෝද චාරිකාවක් යන්න. රට තොට අසිරි නරඹන්න, සොඳුරු දසුන් චායාරූපයට නගන්න, දෙදෙනාත් සමඟින් විවේකයෙන් දවස ගත කරන්න. ඔබට ජිවිතයේ සැදෑ සමයේදීත් ඒ සොඳුරු අත්දැකීම් නැවත මතක් කර සතුටු විය හැකියි.

ඔබ මිල මුදල් රැස් කරනවා මෙන්ම ජිවිතයට හොඳ මිනිසුන්ද රැස් කරගන්න. ඒ රැස් කරගන්නා මිල මුදල් භෞතික වශයෙන් බඩු භාණ්ඩ මිලදී ගන්නට මෙන්ම අත්දැකීම් මිලයට ගන්නට ද වැය කරන්න. මන්දයත් ඔබ එකතු කරගත් අත්දැකීම් මිල කල නොහැකි වනවා මෙන්ම කිසිවෙකුට සොරකම් කලද නොහැකි නිසාවෙනි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here