බෞද්ධයකු ලෙස ඔබ දැක බලා ගත යුතුම ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථාන 05ක්

kandy_maligawa

ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන්නන් ලෙස හැදින්විය හැකිය. පෙර එදා  ගෞතම බුදුන්ගේ ශාසන ඉතිහාසයේ පටන් අද දක්වාම සිංහල බෞද්ධ අප හට වැදගත් සන්ධිස්ථානයක් වන මේ මව් බිම තෙවරක් බුදුන් වැඩි බෞද්ධ  දේශයකි. එමෙන්ම ගෞතම බුද්ධ පුත්‍රයන් වහන්සේගේ බුදු පහස ලැබූ මෙපින් බිම තුල ජීවත් වීමට අවස්ථාව ලද ඔබ අප සියල්ලෝම ඉතා වාසනාවන්ත සැදැහැවත් පිංවතුන්ය. ඉතින් බෞද්ධයකු ලෙස උපත ලද අප  සිය දෑසින් දැක බලා ගත යුතු ස්ථාන බොහෝමයක් ලොව තුල පැවතියද ලාංකික බෞද්ධ පුරවැසියකු ලෙස අප රටේ අනිවාර්යයෙන් දැක බලා ගත යුතු ස්ථාන 05ක් ගැන අද Womanly.lk තුලින් අප කථා කරන්නට බලාපොරොත්තු වෙනවා.  බලන්න ඔබත් මේ ස්ථාන 05 ඔබගේ දෑසින්ම දැක බලා ගෙන තියෙනවද කියලා.

දළදා මාලිගය

බෞද්ධයාගේ මුදුන් මල්කඩ ලෙස විරුදාවලිය ලත්  සෙංකඩගල පුරවර මහනුවර දළදා මාලිගය බෞද්ධයකු ලෙස ඔබ අනිවාර්යයෙන්ම වැඳ පුදාගත යුතු ස්ථානයක්. අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ  ශ්‍රී  මුඛයෙහි පිහිටි ප්‍රධාන දත් සතරින් වම් පස  පිහිටි එක් දන්තයක් දළදා වහන්සේ ලෙස තැන්පත් කොට ඇත්තේ මහනුවර දළදා මාලිගයෙහිය. ජීවමාන බුදුන් වහන්සේට වැඳ නමස්කාර කරනවා වගේම බෞද්ධ සැදැහැවත් පිංවතුන් දළදා මාලිගයෙහි වැඩ වෙසෙන දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට මහනුවර දළදා මාලිගයට පැමිණෙති. 1815 අප්‍රෙල් මස 25වන දින සියලුම පුරාණ චාරිත්‍රානුකූලව දළදා වහන්සේ මහනුවර දළදා මාලිගයෙහි තැන්පත් කරන ලදී. ඉතින් බෞද්ධයකු ලෙස ඔබත් අනිවාර්යයෙන්ම මහනුවර පිහිටි දළදා මාලිගය ඔබේ දෑසින්ම දැක බලා වැඳපුදා ගත යුතුම ස්ථානයකි.

කැළණිය රජමහා විහාරය

” කළ පව් දුරුවෙයි – වරක් වැන්දොත් කැළණියේ ”  මෙය අපේ ආදී මුතුන්මිත්තන්ගේ කාලයේ සිට පැවත එන කථාවක් වන අතර. බෞද්ධයකු ලෙස ඔබ වැඳපුදා ගත යුතු තවත් ප්‍රධාන ස්ථානයක් ලෙසට කැළණිය රජමහා විහාරය හැදින්විය හැකිය. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ ස්ථාන අතර තෙවන වර වැඩම කරන ලද්දේ කැළණියටය.  නමුත් පැවත එන කථා අතර කැළණියේ ගංගාවෙන් එතෙර ඇති කැළණි  විහාරය වැඳපුදා ගැනීම හොඳය යන්න ජනවහරේ සිට ආදි මුතුන්මිත්තන් පවා කියා අැත.  කෙසේ වෙතත් ලංකාවේ, ඔබ දැක බලා ගත යුතුම ස්ථාන අතර කැළණිය රජමහා විහාරය මූලික ස්ථානයක් හිමි කර ගනියි .

අනුරාධපුර ජය ශ්‍රී  මහා බෝධිය

බුදු වී මිස මා මෙතැනින් නොනැගිටිමි යන ප්‍රාර්ථනාව පෙරදැරිව ඇසතු බෝ රුක මුල ඉඳගත් සිදුහත් තවුසාණන්ට  ගෞතම බුදුන් ලෙස බුදු වීමට සෙවන දුන් ඇසතු බෝධි වෘක්ෂයෙහි  එක් අංකුර ශාඛාවක් සඝමිත් තෙරණිය විසින් ලංකාද්වීපයට වැඩම ‍කොට එය අනුරාධපුරයෙහි රෝපණය කළ බවට අප කවුරුත් හොදින් දනිමු. එය අද වන විට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ යනුවෙන් නම් දරන ලදී. බෞද්ධ පිංවතකු ලෙස ඔබ දැකබලා පුද සත්කාර කළ යුතු තවත් වැදගත් ස්ථානයක් ලෙසට මෙම අනුරාධපුරයෙහි රෝපිත ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ හදුන්වා දිය හැකිය. එක් පොසොන් පොහෝ දිනකට හෝ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සෙවනෙහි සිල් සමාදන් වන්නට ඔබට හැකිනම් එය ආමිස, ප්‍රතිපත්ති පූජාවකී.

සිරීපාද අඩවිය

සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවකට අනුව බුදුන් වහන්සේ මෙහි වැඩම කොට තම ශ්‍රී පතුල එහි සටහන් කොට බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට සලස්වා ඇත. බෞද්ධ සැදැහැවත් පිංවතකු ලෙස ඔබ දැක බලා වැඳ නමස්කාර කළ යුතු ස්ථාන අතර  සිරීපාද අඩවිය තවත් එක් ස්ථානයකි. බුදුපියාණන් වහන්සේගේ  ශ්‍රී පතුල  අදටත් ජීවමාන ලෙස පැඳකුණු කිරීමට ශ්‍රී පාද අඩවියට පිවිසෙන ඔබට හැකිය.

කතරගම කිරිවෙහෙර චෛත්‍යයාණන් 

සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්ම නේරංජනා නදිය අසලට පිවිස තම කඩුව ගෙන හිස කේ වැටිය කපා නේරංජනා ගංඟාවෙන් එතෙර වූ බව අප බෞද්ධ ඉතිහාසයේ සඳහන්ව තිබෙනවා. අන්න එදා තම හිස කේ වැටිය කපන ලද රන් කඩුව තමයි ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යයාණන් වහන්සේ තුල තැන්පත් කර තිබෙන්නෙ. දෙවි දේවතාවන් වහන්සේලා පවා උදේ හවස නමස්කාර කොට පැඳකුණු කරන ලබන මෙම කිරිවෙහෙර චෛත්‍යයාණන් බෞද්ධයකු ලෙස ඔබ දැකබලා වැඳ නමස්කාර කළ යුතුම ස්ථාන අතරින් තවත් විශෙශ්ෂ ස්ථානයක්.

මේ පුංචි රටේ දැක බලා ගත යුතු තැන් බොහෝමයක් තිබුනද බෞද්ධයකු ලෙස   ඔබ මෙම සඳහන් කල ස්ථාන විශෙශ්ෂත්වයකින් යුතුව දැක බලා නමස්කාර කළ යුතු ස්ථාන වේ.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here