මව් පදවියට උරුමකම් කියන සියලු මව්වරුන් “අම්මා” නම් වූ ඒ උත්තරීතර නාමයට සුදුසුකම් නොලබති.

0
4197
mather_and_baby

“අම්මා” යන නාමය ඇසූ පමණින් ඔබට මට වගේම සතා සිවුපාවන්ටද අපරිමිත සෙනෙහෙබර හැඟීමක්, දැනීමක් ඇති වන බව නොවනුමානය.  මවකට මෙලොව ඇති වටිනාම සම්පත තම කුස තුල දස මාසයක් හොවා මෙලොවට බිහි කරන්නා වූ දරුවන්ය. එමෙන්ම සියලුම දරුවන්ට මෙන්ම මෙලොව තුල වාසය කරනා සතා සිව්පාවුන්ටත් ලොව ඇති එකම සෙනෙහස් නවාතැන වන්නේ මව් ඇකය වේ. තම කුස තුල දස මාසයක් හොවා මෙලොවට දරුවා බිහිකරන විට මවකට විළි රුදාවටත් වඩා වැඩියෙන් සෙනෙහසක් සතුටක් පහල වනු බව නම් නොඅනුමානයි. ඉතින් අද සමාජය දිහා බලන කල අම්මා යන නාමය වගේම මව් පදවිය උත්තරීතර ස්ථානයක්  ගෙන ඇති අතර සමාජයේ සමහර මව්වරුන් ඒ උත්තරීතර නාමයට, පදවියටද කැළලක් වී ඇත.
අම්මා යන නාමය පිළිබඳව කථා කිරීමට මා තීරණය කළේද ඒ හෙයිනි. අප සමඟ වැඩි වශයෙන් එකතු වී සිටින්නේ කාන්තා පාර්ශවයේ අය වගේම මව්වරුන් බව මා දනිමි. ඉතින් අම්මාගේ තැන රැක ගැනීමට වගේම මව් පදවියේ උත්තරීතර බව ආරක්ෂා කිරීමට ඔබ සියලු දෙනා මෙම ලිපිය ඇසුරින් වත් යම් දෙයක් තම ජීවිතයට එක් කර ගනීයයි මා සිතමි.

ආදරය නම් වූ සිහිනයේ පැටලී තම ජීවිතය වරද්දවා ගන්නා බොහෝමයක් තරුණ ජීවිත නිකැළැල්  පිරිසිදු ජීවිත කාමාතුරයන් හට පූජා කොට ගැබ්බර කතක් බවට පත් වන්නේ දැනුවත්කම නිසාද  නොදැනුවත්කම නිසාද යන්න පැණ නැගෙන ප්‍රශ්ණයකී. කෙසේ වෙතත් මව් පදවිය ලැබීමට වාසනාව ඇතැත් අම්මා යන උත්තරීතරත්වය කිරුලු දැරීමට බොහෝ දෙනාට වාසනාවක් නැත. එය එක අතකට ඔවුන්ගේ නොලැබීමය. ජීවිතයේ හොඳම කාලය ආදර ගින්නට ඇද දමමින් ගැබ් ගන්නා බොහෝ දෙනා  ලොවක් එළිය කිරීමට මෙලොවට බිහි වීමට සිටිනා වූ මල් කැකුළු තම කුස තුලම නැති කිරීමට තරම් සැහැසි වී ඇත. එවැනි කාන්තා ඔබ කිසිවිටකත් මව් පදවියට සුදුසුකම් නොලබතී. මව් කුස තුලින් ඉපිද මව් ලේ කිරි කර බී උස් මහත් වු මව් සෙවනේ හැදී වැඩුණ එවැනි අයම තම මව් පදවිය පයට පෑගෙන දූවිල්ලක් තරමට දමා කටයුතු කිරීම ඉතා ශෝචනීය තත්වයකී.

තවද තම දරුවා මෙලොවට ඉපදුන දිනම කුණු ගොඩවල්, පොලිතින් බෑග් වල බහා මහා පාරේ දමා යෑමට තරම් හිතක් පපුවක් නැති උදවිය බවට පත් වී ඇත. තම කුස තුලින් මෙලොවට ජනිත කළ ඒ මල් කැකුළ අව්වට , වැස්සට තෙමෙන්නට සතා සිව්පාවන්ට ගොදුරක් කර අතහැර දමා යන්නේ කුමන චේතනාවක් සිතේ දරා ගෙනදැයි ඔවුන් මෙලොවට බිහි කර මවටද තේරුම් ගැනීමට හැකි වේදැයි මා නොදනිමි.

ඉස්සර අපේ ගැමියන් අතර පවාද ” වැදූ අම්මාට වඩා හැදූ අම්මා රත්තරං ” යනුවෙන් කතාවක් ඔබත් අසා ඇතැයි මා සිතමි. ඇත්තටම වැදු ගෙයිම තම දරුවන් එපා යයි කියමින් අතහැර යන කෙනෙකුන් කවර දිනයක වත් අම්මා කෙනෙක් වීමට සුදුසුකම් ලබන්නේ නැත. තමන් වැදු ගෙයි තම කුසින් බිහි කල දරුවන් අතහැර යන මව්වරුන් සිටින යුගයක  එවැනි දරුවන් තමන්ගේ ලෙසටම සලකා හදා වඩා ගන්නා උත්තරීතර අම්මාවරුන් ද අප අතර ඇත . කිසිදු වෙනසක් වෙනස්කමක් නොපෙන්වා වැදු අම්මාටත් එහා සෙනෙහසක් ආදරයක්     රැකවරණයක් ලබා දෙමින් දරුවන්ට අම්මා කෙනෙක් විය හැක්කේ උතුම් වූ කාන්තාවකට පමණකි. මව් පදවිය දැරීමට වාසනාවක් නොමැති වුවද උත්තරීතර අම්මා කෙනෙක් වීමට වාසනාව ඇත්තේද උත්තරීතර වූ කාන්තාවකට පමණී. තම කුසින් බිහි කර මෙලොවට ජනිත කරන දරුවන් මුදලට විකුණන මව්වරුන් සිටිනා මේ සමාජයේ , දස දහා දුක් විදිමින් බැල මෙහෙවර කම් කරමින් , කුලී වැඩ වල යෙදෙමින් පියෙක් වත් නොමැති නිවසේ පියෙකු ලෙස තම දරුවන් පෝෂණය කරමින්, අධ්‍යාපනය ලබා දෙමින් රටට වැඩදායි දරුවන් බිහි කිරීමට වෙර වීරිය යොදනා උත්තරීතර අම්මාවරුන් ද අප අතර සිටිති. ඔබ හා මා ඒ අතින් ඉතා වාසනාවන්ත දරුවන් වේ. කිසිවිටකත් කිසිදු අඩුවක් නොපෙන්වා තමා කුසගින්නේ සිට අපගේ කුස නිවන උත්තරීතර අම්මා කෙනෙක් අපටද ඇත.

තවත් අතකින් අද සමාජයේ සිටින සමහර මව්වරුන් තම කිරි කැටි දරුවාට ලේ කිරි කර පෙවීමට තරම් අදිමදිකමක් දක්වන්නේ තම කුසින් බිහිකර දරුවන්ට වඩා තම රූපකාය වටිනා ලෙස සිතාගෙනය. නමුත් මව් පදවිය දරන සියලුම මව්වරුන් හට තමාටත් වඩා මෙලොව වටිනා සම්පත විය යුත්තේ තම දරුවන්ය. කිරි කැටි දරුවා ඉපිද අවුරුද්දක් යන්නට පෙර  මං මුලා වූවන් ලෙසින් අනියම් සබඳතා වල පැටලී දරුවන් දමා වෙනතක බැදෙන අභිසාරී මව්වරුන් ද මේ සමාජය තුළ ඕනෑ තරම් ඇත. දරුවෙක් හට ඇති එකම සෙනෙහස, රැකවරණය තම මාපිය රැකවරණය හා සෙනෙහසයි. නමුත්  එය හරි හැටි තේරුම් නොගත් මං මුලා වූ සමහර කාන්තාවන් මව් පදවියටද නිගා කරනු ලබන්නේ කාන්තාවකගේද අගය නොදන්නා බැවින් විය හැකිය.

මව් පදවිය ලැබීමට සියලුම දෙනා හට වාසනාවක් නොමැති වුවද, අම්මා කෙනෙක් වීමට තම කුසින්ම දරුවෙකු බිහි කල යුතුම නැත. දරුවන් නැති බොහෝමයක් මව්වරුන් අනාථ වී සිටින දරුවන් හට මව් සෙනෙහස ලබා දෙන අවස්ථා මෙම සමාජය තුල නැතිවාම නොවේ. තම කුසින් බිහි නොකෙරුණත් දරු ස්නේහය ඉදිරියේ රතු රුධිරය කිරි වන අම්මාවරුන් ද අප අතර බොහෝමයක් සිටිති. ඇත්තටම එය සැබෑ මව් සෙනෙහසයි. තම කුසින් බිහි කර දරුවන් වෙනුවෙන් හදවත උණු නොවෙන මව්වරුන් කොතෙකුත් ඇතැත් තම දරුවන්ගේ දුක ලෙසටම අනෙක් දරුවන්ගේ දුක, වේදනාව හදුනන්නා වූ උත්තරීතර අම්මාවරුන් ඔබට මටද හමු වී ඇත. ඔබත් එවන් උත්තරීතර මව් පදවියටද උරුමකම් කියූ අම්මා කෙනෙක් විය හැක.

සැබැවින්ම මව් පදවියේත්  අම්මා නම් වූ ඒ උත්තරීතර පදවියෙහිත් ඇත්තේ එකිනෙකට වෙනස් වූ ගර්භයන් දෙකකි. දරුවෙකු   බිහි කරන සෑම කෙනෙක්ම මව් පදවිය ලැබුවද දරුවකු බිහි කර පමණින් කිසිවිටකත් අම්මා නම් වූ ඒ අති උත්තරීතර ස්ථානය හිමි කර ගැනුමට සැමටම වාසනාව නොමැත. ගෙදර බුදුන් අම්මා ලෙසට හැදින් වුවද ගෙදරට මිණි පහනක් බුදු කෙනෙකුන් වීමට නම් උත්තරීතර මව් පදවියට එහා ගොසින් අම්මා නම් වූ ඒ උතුම් ස්ථානය රැක ගත යුතුය.

දහසක් දුක් වේදනා විඳ ගනිමින් මෙලොවට තම කුසින් බිහි කල දරුවන් වගේම තම කුසින් බිහි නොකලත් දරුවන් හට අම්මා කෙනෙක් වෙමින් උත්තරීතර මව් ස්නේහය පතුරවමින් තම දරුවන් උස් මහත්   කිරීමට දිවා රෑ වෙහෙසෙමින් කැප වන උත්තරීතර අම්මාවරුන්ට  නිදුක් නීරෝගී ශක්තිය ලැබේවා යන්න Womanly.lk  අපගේ ඒකායන ප්‍රාර්ථනාවයි.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here