නිහඬතාවයත් එච්චර හොඳ නෑ….

girl_with_upset

සන්නිවේදනය කියන්නේ ඕනෙම සම්බන්ධතාවයකදී ප්‍රධාන වෙන අංගයක්. පවුල් සබඳතා විතරක් නෙමේ, ව්‍යාපාරික සබඳතා වලදී වුනත් මේ සන්නිවේදනය, නැත්නම් අදහස් හුවමාරු කරගැනීම හරිම වැදගත්.ආදරයේදී වුනත් කතාකරන එක, අදහස් කියන එක තර්ක කරන එක අත්‍යවශ්‍ය දෙයක්.නිශ්ශබ්ද වෙලා ඉඳීමෙන් ප්‍රශ්න විසඳගන්න පුළුවන් කියල බොහෝ අය හිතනවා…ඒත් එහෙමයි කියල හැම තිස්සෙම නිහඬ වෙලා හිටියොත් ඔයාට වෙන්නේ තනි වෙන්න තමයි….රණ්ඩු  නවත්තගන්න,තර්ක කරන එක නවත්තගන්න,කේන්තිය පාලනය කරගන්න නිශ්ශබ්ද වෙන එක හොඳ පිලියමක් වුනාට ඒක හොඳම පිළියම නම් නෙමේ කියල මතක තියාගන්න.

සද්ද නැතුව ඉන්න  එකත් හෙනහුරා වෙන්නේ කොහොමද?


ඔබේ සහකරු හෝ සහකාරිය සිය අධිපතිවාදය ඔයාලගේ ආදරයට ඇතුල් කරගන්න හැදුවොත්,අනවශ්‍ය තර්ක නිසා දෙන්නගේ ආදරය දෙදරන්න ගියොත්… මේ වගේ ආදර සම්බන්ධතාවයකදී ඇතිවිය හැකි ගැටුම් වලක්වගන්න හොඳම දේ මඳක් නිශ්ශබ්දව ඉන්න එක වුනත් එය හැමවිටම apply කරන්න ගියොත් වෙන්නේ මෙන්න මේ වගේ දේවල්…

1. සැමවිටම නිහඬ වීම එකිනෙකා පාගා දැමීමක්…

මූලික වශයෙන් ගත්තොත් නිශ්ශබ්ද වීම තුල සිද්ධවෙන්නේ වචන ශුන්‍ය වීමක් වුනත් ඒ තුල එකිනෙකාගේ හැඟීම් සහ විශ්වාසය බිඳ දැමීමක් විය හැකි බව ඔයා දන්නවද? “කට වහන් ඉන්නේ..මාව එපා නිසානේ..මම හිටියත් නැතත් ඔයාට ගානක් නෑ”… මේ වගේ අවස්ථාවකදී ඔයාගේ හිතට නැත්නම් ඔයාගේ සහකරුගේ හිතට ඔය වචන ටික එන්නේ නිකමට නෙමේ…අන්න ඒ නිසා ඕනෑවට වඩා සද්ද නොකර ඉන්න එකත් ඔයාගේ ආදරයට හෙනහුරා වෙන්න පුළුවන්.

මේ විධියට සද්ද නොකර ඉන්නකොට එකිනෙකාගේ විවෘත බව බිඳී යනවා..ඒ කියන්නේ ආදර සබන්දතාවකදී තිබිය යුතු “ඕනෙම ප්‍රශ්නයක් බය නැතුව කියන්න තියෙන හයිය නැතිවෙනවා. ඒ තුල ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය හෝ ඔබ වුනත් මේ සම්බන්ධයෙන් ඇති පලක් නැහැ කියා සිතන්න පෙළඹෙනවා..ඉන් අවසානයේ සිදුවෙන්නේ වෙන් වීම විතරයි.. “ආයිත් මුකුත් කියන්නේ නෑ..මම එහෙම කිව්ව හේතුවවත් අහන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්නවනේ…”  කියල ඔයාට හිතෙනවනම්..ඔයාගේ ආදරයේ අවශ්‍යම දේ තමයි “කතාබහ කරන එක”…

2. මේ බොරු උපකල්පන දෙන්නගෙම වෙන්වීමට හේතුවක්…

නිහඬව ඉඳීමෙන් කිසිවිටෙක ඔබේවත් ඔහුගේ හෝ ඇයගේවත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.සද්ද නොකර ඉන්න එකෙන් කල්පනා වෙන අර මම කලින් කිව්ව දේවල් තුල ඔබ ඇතිකරගන්නේ වැරදි ප්‍රතිරූපයක්..ඇත්තටම ඔබ නිහඬ වෙලා ඉන්නේ කේන්තිය අඩුවෙනකල්,නැත්නම් සේරම නියුට්‍රල් වෙනකම් වෙන්න පුළුවන්.. හැබැයි මම ඉහත කිව්වා වගේ මුලිකවම නිහඬ වීම තුල තියෙන්නේ එකදු වචනයක්වත් පිට නොවීමක්..අපි කවුරුවත් දිවැස් තියෙන අය නෙමේ..අපිට කොච්චර ශක්තිමත් සබඳතා තිබ්බත් අනෙකාගේ හිත කියවන්න අපිට බැහැ.. ඉතින් එහෙම වෙද්දී අනෙකාට ඔබ ගැන වැරදි වැටහීමක් ඇතිවෙන එක සාධාරණයි නේද?…අන්න ඒ නිසායි  අදහස් ප්‍රකාශය හුඟක්ම වැදගත් වෙන්නේ..රණ්ඩු වෙන්නේ නැතුව, කේන්ති ගන්නෙත් නැතුව ඕනෙම දෙයක් අනෙකාට ප්‍රකාශ කරන්න අපිට පුළුවන්..ඒ වගේම ඉවසීමෙන් අහන් ඉන්න එක…තේරුම්ගන්න එක..සුහදව කතාකරන එක තමයි අවශ්‍යම…එහෙම නැත්නම් ඉතින් වෙලාවකට සද්ද නොකරම ඉන්න එකමයි හොඳ කියල ඔයාට හිතෙයි..ඒත් සම්බන්ධතා එහෙම වැඩිකල් දුවන්නේ නැහැ කියල නම් අමතක කරන්න එපා…

3.හැමතිස්සෙම නිහඬවෙලා ඔයා මවන්නේ නැති සමගියක්…

නිහඬ වෙලා සිටියා කියල ඔයාගේ වත් අනෙකාගෙවත් ප්‍රශ්න විසඳෙනවද? ඒක “අළු යට ගිනි පුපුරක් වගේ රැඳිලා තියෙනවා විතරයි”…කොයි වෙලාවක හරි ආයිමත් මතුවෙනවා..අන්න ඒ නිසා කතාකරල විසඳුමක් ගන්න එක නේද හොඳම? එහෙමයි කියල කෑ ගහල නම් කිසිම ප්‍රශ්නයක් විසඳගන්න බැරි බව ඔයාල දෙන්නම මතක තියාගන්න ඕනේ…ඒකට තමයි ශිෂ්ට සම්පන්න බව කියල එකක් තියෙන්නේ…ඉවසීම,සුහදවිම තුල ඔබේ ගැටලුව අහන්න..”අපි මේකට ගන්න ඕනේ විසඳුම මොකක්ද?දෙන්නම හොඳින් කතාකරල මේවා විසඳගමුකෝ…ඇයි අපි බිල්ලෝ වගේ ඉන්නේ දන්නේ නැති ය වගේ… කියල ටිකක් විහිළුවක් කරලා සුහදව කතාබහ කරන්න…ඔබ දන්නේ නැතුවම ප්‍රශ්නෙත් විසඳෙයි…හැබැයි අමතක කරන්න එපා වැදගත්ම කරුණු දෙක.. “ඉවසීම” සහ “සුහදශීලි බව”….

හැමතිස්සෙම නිහඬවීම ඇත්තටම ඉවසීමක් නෙමේ…ඒක එක්තරා අනුවණ ක්‍රියාවක්..මොකද එතුල අපට ඇතිවන ප්‍රශ්නයක විසඳුමක් සොයන්න බැරි නිසා..විසඳුමක් හොයන්න කතාකරන්න ඕනේ..මොකද ඔබේ සහ ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය අතර ප්‍රශ්න විසඳාගත යුත්තේ ඔබ දෙදෙනාම නිසා.නිහඬතාවය ඕනෑවට වඩා තිබීම තුල තුන්වෙනි පාර්ශවයක් වුනත් ඔබ අතරට මැදිහත් විය හැකියි.ඉන් ප්‍රශ්නය විසඳීම කෙසේ වෙතත් ප්‍රශ්නය වැඩිවීමක් වෙන්න ඉඩකඩත් ගොඩක් වැඩියි..මොකද ඔබ කතානොකරන නිසා….ඒ නිසා හැමවෙලේම නිහඬ නොවී අවශ්‍ය තැනදී කතාකරන්න…යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද නේද?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here