මව්පදවිය අහිමි ඇය ඉදිරියේ ඔබේ මාතෘත්වය ගැන උදම් අනන්න එපා

mother-worried-without-kids

දියණියක ලෙස මෙලොවට ජනිත වන්නේ යම් දිනෙක කාන්තාවක සිය ජීවිතය තුළ ලබන උත්තරීතර මව්පදවියෙන් පිදුම් ලබන්නට සිටින ඇයයි. කාන්තාවකගේ ජීවිතය අංග සම්පූර්ණ වන්නේ මව්පදවියේ කිරුළත් සමග බව සැබවි. ඒත් ඒ හැකියාව අප අතරේ සිටින යම් කාන්තාවකට නොමැති නම්… එනම් මවක වීමට ශාරීරික සුදුසුකම් නැති කාන්තාවක් නම් ඇය සමාජයේ ගැරහුමට ලක් විය යුතුද ?

දියුණු වෙමින් පවතින දහසකුත් එකක් දේ ඔස්සේ නව තාක්‍ෂණික දැනුම සමගින් ඉදිරියට ගියද අද වන විටත් ඇතැමුන්ගේ මනස නිසි ආකාරව සැකසී නොමැති බව පෙනී යන එක් අවස්ථාවකි මේ. මවක වීමේ උතුම් අවස්ථාව හමුවේ යම් කාන්තාවක් සතුටු වේද ඒ හා සමානවම මවක වීමේ හැකියාවක් නොමැති කාන්තාවක් දුකට පත් වනු ඇත.

දියණියක නිසි වයසට පැමිණීමටත් පෙර ඇයගේ විවාහය පිළිබඳ විමසන අපේ සමාජය විවාහ වූ විගස ඇයගේ දරුවෙකු ගැන විමසයි. එක් දරුවෙකු සිටින විට ඇයගෙන් දෙවෙනි දරුවා පිළිබඳව විමසයි. අයෙකු සිය පෞද්ගලික ජීවිතය තුළ ගන්නා තීන්දු තීරණ පිළිබඳව පිටස්තරයන් ලෙස මේසා සොයා බලන්නේ ඇයි දැයි විටෙක වටහා ගත නොහැකිය. දියණියන් සිටින නිවසකට පුතෙකු සිටියොත් හොඳයැයි සිතෙන්නේ අපේ වටපිටාවේ සිටින පිරිසටය. පුතෙකු සිටින නිවසට දියණයක අවශ්‍ය යැයි සිතෙන්නේද ඔවුන්ටමය. මෙවැනි කාරණා එතරම් වැදගත් නොවුණද තාම බබෙක් නැද්ද යනුවෙන් සමාජයෙන් නැගෙන ගැටලූවට පිළිතුරු දීමට නොහැකිව අසරණ වන කාන්තාවන් මේ කාලය වන විට වැඩිවෙමින් පවතින බවක් දැකගත හැකිය. කෙසේ වුවද දරු සුරතල් බලන්නට නොහැකි ඇයට අවමන් කිරීම කිසිසේත්ම සුදුසු නැත. එය සමාජයේ ගැටලූවක් බවට පත් විය යුතුද නැත. ඇය දෙස මානූෂීය ඇසකින් බලන්නට පුරුදු වීම වඩාත් අගනේය.

දරුවෙකු මෙලොවට බිහිකිරීම ජීව විද්‍යාත්මක කාරුණක් වුවත් ඒ හා සමගම පවුල තුළ, සමාජය තුළ කාන්තාවකට විශාල ගරුත්වයක් හිමිවේ. දරුවන් නොමැති කාන්තාවන් සමාජයෙන් කොන් වීමට හේතු වන්නේ මේ තත්ත්වයයි. ඇතැම් කාන්තාවන් දරුවන් සෑදීමට කැමැත්තක් නොදක්වන අතර අපේ සමාජය තුළ එවැන්නන් අවම වන අතරම බොහෝ විට සිටින්නේ ජීව විද්‍යාත්මක කරුණු මත දරුවෙකු පිළිසිඳ ගත නොහැකි කාන්තාවන්ය. දරුවෙකු වෙනුවෙන් බලා සිටින මව්පදවියේ වාසනාව අහිමි එවන් කාන්තාවක දෙස බැලිය යුතු වන්නේ ඇයගේ සිත නොරිදෙන පරිදිය. ඇය ඉදිරියේ ඔබේ මව්පදවිය ගැන උදම් ඇනීම කිසිසේත්ම සුදුසු නැත.

“ඇයි ඔයාලට බබාලා නැත්තේ…”, සියලූ බලාපොරොත්තු බිදී ගිය ඇය ඔබගේ මේ ගැටලූවට පිළිතුරු දිය යුතුද? සිතන්න ඇයගේ හිතට කොයිතරම් නම් අසරණ බවක් දැනෙනවා ඇතිද කියා. හිත හදාගන්න, ඔබේ මේ වදන් ඇයට ජීවිතයේ සියලූ දේ අහිමි බව පවසනවා නොවේද? “දරුවෙක් නැතිව පවුලක් සම්පූර්ණ වෙන්නේ නෑ”, නැත. එසේ ඇයගේ සිත තලා පෙලා බිම දමන්නට උත්සාහ නොකරන්න. දරුවෙකු නොලද මුත් ඇයට ඇයගේ අනෙක් ආදරයන් අහිමි නොවනු ඇත. දරුවො නැතිව කොහොමද මේ දේවල් තේරෙන්නේ, යමෙකුගේ අවබෝධය හෝ සංවේදීභාවය දරුවන් ලැබීම මත පමණක් වර්ධනය නොවන නිසා මේ කතාවේ අදාලත්වයක් නොමැත. දස මසක් කුස දරා ජීවිතය දෙන තම කිරිකැටියා මහමග දමා යන මව්වරුන් සිටින යුගයක තමන්ගේම කුසින් දරුවෙකු බිහි කළ නොහැකි වුවද ඇය තුළ අන් අයෙකුගේ දරුවෙකු වෙනුවෙන් අදරය දැක්වීමේ හැකියාව උපරිම විය හැකිය.

ඔබ මවක විය හැකිය. ඔබේ මාතෘත්වයේ ජයග‍්‍රහණය ඒ වාසනාව අහිමි අයෙකුගේ කාණගාටුවට හේතුවක් වන්නට කිසිවිටෙකත් ඉඩ නොතබන්න.

 

About The Author

Previous articleටෙලි…මෙගා ටෙලි…
Next articleවැඩිහිටියන් ලෙස ඔබත් ඔබගේ දරුවන් හට අවශ්‍ය දේ පිළිබඳ හොඳින් දැන සිටියාද ?
අධ්යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here