ගෙදර හැමෝටම එකට සිට නැරඹීමට හැකි , මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය 06ක්

0
5626
teledrama

ඇත්තටම අපි පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන පිරිසක්. ඉතින් අපේ සංස්කෘතිය, සදාචාරය වගේම අපේකමත් රැක ගන්න ඕන අපිමයි. අපි අපේ දේ සුරකිනවා වගේම අපේ ඉතිහාසය වගේම අපිට වැදගත් කියලා කියන අනිත් දේශ දේශාන්තර වලත් ඉතිහාසය දැනගෙන සිටීම අපේ දැනුම තව තවත් මුවහත් කරවනවා.
ඇත්තටම අද වෙද්දි අපේ සංස්කෘතිය සදාචාරය  අපේ මිනිසුන් තුලින් ඈත් කරමින්  මාධ්‍ය ආයතන වලින් ලොකු මෙගා ටෙලිනාට්‍ය රැල්ලක් බිහි කිරීමට සමත් වෙලා තිබෙනවා. මෙන්න මේ ඇතැම් මෙගා ටෙලි නාට්‍ය තුලින් ඇතැමුන්ගේ ජීවිත පවා වෙනස් කරවන්න තරම් හැකි තත්වයක් උදා වෙලා තිබෙනවා. ඇත්තටම අපේ ගොඩක් දෙමාපියන් තම දරුවනුත් පෙරටු කොට ගෙන ඇබ්බැහි වුන මේ මෙගා නාට්‍ය තුලින් දරුවන්ගේ ජීවිත වලට පවා ලොකු බලපෑමක් සිදු වෙනවා කිව්වොත් නම් මම නිවැරැදි.  බොහෝමයක් දෙනා ඉන්දීය මෙගා නාට්‍ය වලට  ඇබ්බැහි වුනත් ඇතැමුන් දොස් නගන්නේ මෙම ඉන්දියානු ටෙලි නාට්‍ය තුලින් අපේ කාන්තාවන්ගේ මානසික මට්ටම වෙනස්ම පැතිකඩකට හරවනවා කියලා.

ඔව්’ ඇතැම්  ඉන්දියානු ටෙලි නාට්‍ය කිසිසේත් අපේ රටට අපේ සංස්කෘතියට වගේම දරුවන් සමඟ නරඹන්න පුළුවන් මට්ටමේ ටෙලි නාට්‍ය නොවන බව මම ද පිළිගන්නවා. මොකද පොඩි ළමයාගේ පටන් වැඩිහිටියා දක්වා  නැරඹිය හැකි  ඉන්දියානු ටෙලි නාට්‍යත් අපට දැක බලා ගත හැකි අතර ඇතැම් ටෙලි නාට්‍ය තුලින්  සම්පූර්ණයෙන් ළමා මනස මෙන්ම වැඩිහිටියන්ගේ ඇතැම් ක්‍රියා කලාපයන් වෙනස්ම මඟකට දැනටමත් යොමු කරලා තියෙනවා. ඉතින්  මෙන්න මේ මෙගා ටෙලිනාට්‍ය රැල්ලෙන් මිදිලා  ගෙදර දරුවනුත් එක්ක වැඩිහිටි ඔබ සියලු දෙනාට එකට සිට නැරඹිය හැකි ටෙලි නාට්‍යයත් මේ වන විට එක් එක් මාධ්‍ය නාලිකා වල විකාශය වෙනවා. ඉතින් මොනවද මේ  හැමෝටම එකට ඉඳන් නරඹන්න පුළුවන් ටෙලිනාට්‍ය.

සිඳු 

සතියේ දින පහේම රාත්‍රි 7.30ට දෙරණ නාලිකාව මගින් විකාශය කරන සිඳු ටෙලි නාට්‍ය අද වන විට ලොකු කුඩා ගොඩක් දෙනා අතර  ජනප්‍රිය වුන ටෙලිනාට්‍යයක්.  මෙහි එන සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය ‍බොහෝමයක් දෙනා වසඟයට පත් කරලා හමාරයි. පොඩි දරුවන්ගෙ එකමුතු බව වැඩිහිටි අපටත් ආදර්ශයක් ගෙන දෙන පන්සල හා අපේ දේ එක්ක බැදුන මෙම ටෙලිනාට්‍ය  ලොකු පොඩි හැමෝටම එකට සිට නැරඹිය හැකි ගොඩක් ආදර්ශමත් ටෙලි නාට්‍යයක්.

සල් සපුනා 

පවුලක් තුල ගොඩනැගෙන සම්බන්ධතාවයන් එකිනෙකට පුළුල් ලෙස විග්‍රහා කරන සල් සපුනා ටෙලි නාට්‍ය  ජීවිතයට එන බාධක මැඩගෙන ඉදිරියට යන විදිය අපූරුවට කියා දෙනවා. ඒ විතරක් නෙවෙයි  සිය කුටුම්බයෙහි ඇති බැඳීම් පවත්වා ගෙන යන අයුරු හා බැඳීම් ආරක්ෂා කර ගැනීමට තමාගෙන් විය යුතු මොනවාද යන්නත්  සමාජීය හා  දේශපාලන වටපිටාව හරි අපූර්වතම පෙන්වන මෙම ටෙලිනාට්‍ය සතියේ දින වල රාත්‍රි  8.25ට සිරස ටීවී  නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි. ඉතින් ගෙදර හැමෝටම එකට ඉඳන් නැරඹිය හැකි ටෙලි නාට්‍ය අතර සල් සපුනා ටෙලි නාට්‍යයද  හදුන්වා දෙන්න පුළුවන්.

අධිරජ ධර්මාශෝක 

අපි අපේ ඉතිහාසය වගේම අපිට වැදගත් අනිත් රාජ්‍යයන් වලත් ඉතිහාසය දැන සිටීම වැදගත්. විශෙශ්ෂයෙන්ම අපේ දරුවන්ගේ පාසල් විෂය නිර්දේශයන්ට අයත්  ආගම,ඉතිහාසය, සමාජ අධ්‍යායන වැනි විෂයන් යටතේ කතා කරනු ලබන ඉන්දියානු  ගුප්ත හා මෞර්යය රාජධානි පිළිබඳවත් එහි සිටි අසහාය පාලකයකු වු ධර්මාශෝක රජුගේ ජීවිතය ඇසුරින් නිර්මාණය කරන ලද අධිරජ ධර්මාශෝක   ටෙලිනාට්‍ය මාලාව සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රී 8.30ට දෙරණ නාලිකාව තුලින් ඔබට නැරඹිය හැකියි. ඉතින් ඉන්දියානු මෙගා ටෙලි නාට්‍යයන් වලට විශාල අභියෝගයක් එල්ල කරමින්  වින්දනය, දැනුම වගේම නායකයකු බිහි කිරීමට අවශ්‍ය සුදුසුකම් පවා මැනවින් පෙන්වා දෙන මෙම ටෙලිනාට්‍ය බාල මහළු කාටත් එකට සිට නැරඹිය හැකි  ඉන්දියානු මෞර්යය රාජ වංශය ගැන කියවෙන විශේෂිත ටෙලිනාට්‍යයක්. දරුවන්ගේ දැනුම බුද්ධිය වර්ධනයටත් මෙම ටෙලිනාට්‍ය තුලින් විශාල සහයක් ලැබෙන බව නම් කිව යුතුමයි.

සකී 

සතියේ දින වල සවස 6.30ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වෙන සකී ටෙලි නාට්‍ය තුලින්  ඔබට මට වගේම අපේ පාසල් යන දරුවන්ටද ගැනීමට හැකි ආදර්ශයන් බොහෝය. නිවසේ ඇති ආරවුල් සමඟ  බාධක මැද ඉගෙනුම ලබන දිරිය දියණියකගේ ජීවිත කතාව සකී තුලින් ඔබ වෙතට ගෙන එනු ලබයි.ඉතින් දරුවන්ට ද ආදර්ශමත් මෙම ටෙලිනාට්‍ය සියලුම දෙනාට එකට ඉඳ නැරඹිය හැකි ආදර්ශමත් ටෙලිනාට්‍යයක්.

දේවිය සුගලා

ඉතිහාසයේ විශිෂ්ටතම වීර කාන්තා චරිතයක් පාදක කර ගනිමින් කැලුම් පාලිත මහිරත්න විසින් නිර්මාණය කරන ලද මෙම දේවිය සුගලා ටෙලි නාට්‍යය සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි රාත්‍රි 8ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඔබට නරඹන්න පුළුවන්. විජයබා රජුගේ මිනිබිරිය පසුව පොළොන්නරු රාජධානියේ විශිෂ්ට පාලකයකු වූ පරාක්‍රමබාහු රජුගේ නැන්දනිය නිසාත් දේවිය සුගලා සුවිශේෂී  කතාවක් වේවි. ඉතින් පාසල් අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ දැනුම වගේ අපේ රටේ රාජකීය ඉතිහාසය පිළිබඳවත් දැන ගන්න ඔබට හා දරුවන්ටත් පවුලේ අනික් වැඩිහිටි පිරිසටත් එකට සිට නැරඹිය හැකි ටෙලි වෘත්තාන්තයක් ලෙස දේවිය සුගලා හදුන්වා දෙන්න පුළුවන්.

ගැමුණු මහරජ 

සෑම සෙනසුරාදා හා ඉරිදා දිනයකදීම රාත්‍රී  8.30ට හිරු ටීවී නාලිකාව තුලින් ඔබ වෙතට ගෙන එන ගැමුණු මහරජ ටෙලිනාට්‍ය  අපේ රටේ වීර රජකු ලෙස කටයුතු කළ දුටුගැමුණු රජුගේ ජීවන සන්ධිස්ථාන අලලා නිර්මාණය වූ ටෙලිනාට්‍යයකි. රාජධානි අතර පැවති බල වීර පරාක්‍රමයන් හා අපගේ ඉතිහාසය පිළිබඳව නොදත් සියල්ල මැනවින් අවබෝධ කර ගැනීමට ලොකු පොඩි ඔබ සැමට හැකියාවක් මෙම ටෙලිනාට්‍ය මගින් ලබා ගත හැකිය.

ඉන්දියානු මෙගා ටෙලිනාට්‍ය රැල්ලෙන් ඔබ්බට ලොකු පොඩි බේදයකින් තොරව එකට සිට නැරඹිය හැකි මෙම ටෙලි සිත්තම් 06 ජීවිතය,සමාජය, දේශපාලනය, එකමුතු බව, අභියෝග ජය ගැනීම හා බාධක  මැඩගෙන ඉදිරියට යෑම ඔබ සැමට මනා ලෙස අවබෝධ කරලන සියලුම දෙනාට එකට සිට නැරඹිය හැකි අගනා ටෙලි සිත්තම් පෙළකි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here