ආදරවන්තයින්ටත් අයිති නැති වැලන්ටයින්

love

වැලන්ටයින් දිනය කියන්නේ හැම අවුරුද්දකම පෙබරවාරි 14 වෙනිදා සැමරෙන ආදරවන්තයින්ගේ දිනයයි.මල්,හදවත්,සුබපැතුම්පත්,ස්වීට්ස්…මේවා විතරද ඇත්තටම වැලන්ටයින් කියන්නේ?නැහැ ඉන් එහාට තියෙන තේරුමක් තියෙනවා.හැබැයි කවුරුත් එය අවබෝධ කරගන්න කැමති නැහැ.අන්න ඒ ගැනයි මේ කතාව….

වාර්ෂිකව වැලන්ටයින් දිනයේදී ආදරය කරන්නන් අතර සුබපැතුම් පත් හුවමාරු වෙනවා.මෙය නත්තලට පසුව වැඩියෙන්ම සුබපැතුම්පත් හුවමාරු වන දිනය ලෙසත් සැලකෙනවා.ඒවගේම තමන් ආදරය කරන්නන්ට චොක්ලට් සහ වෙනත් මතක සැමරුම් තිලින කර ආදරය ප්‍රකාශ කරන්න මතකයේ තියාගන්න දිනයක් විධියටත් බොහෝ ආදරවන්තයන් මෙය දකිනවා.ඒත් මේ පිටුපස තිබෙන්නේ ඔබ නොදැන ඔබව විකුණන කූට වෙළඳාමක් බව ඔබට සිතෙන්නේ නැද්ද?
වර්තමානයේ ලංකාවේ පමණක් වැලන්ටයින් දිනය තුලදී තරුණියන් 10, 000 කට පමණ කන්‍යාභාවය අහිමි වීම් සිදුවෙන බව වාර්තා වෙනවා.මෙයට මූලික හේතුව කුමක්ද?හේතු ගණනාවක් තිබෙනවා.ඉන් එකක් නම් ආදරය යනු කුමක්දැයි හරිහැටි අවබෝධයක් නොතිබීමයි.ආදරය සහ ආකර්ෂණය එකිනෙක පටලවා ගෙන ඒ තුල ජීවිතය සොයන්නට කාමර ගානේ රස්තියාදු වන තරුණ තරුණියන් වැලන්ටයින් සමරන්නේ මහත් ඉහලින්.එහෙත් සැබෑ ආදරයට වැලන්ටයින් යනු අතිශය සාමාන්‍ය දිනකි.මාධ්‍යකරුවන් සහ වෙළෙන්දන් සිය වෙළඳ උපක්‍රම භාවිතා කරමින් වැලන්ටයින් වෙනුවෙන් විවිධ packages පවා  ඔබට ලබාදෙන්න උත්සහ කරනවා. මේවා මිලදී ගැනීමේ හෝ තෑගී දීමේ වරදක් නොමැති වුනත් ඔබට තමන් ආදරය කරන පුද්ගලයා ට ත්‍යාගයක් දෙන්න අවශ්‍ය වැලන්ටයින් දිනයමද?නැත්නම් ආදරය හඳුනාගන්න අවශ්‍ය වැලන්ටයින් දිනයමද?අවුරුද්දේ අනෙක් දවස් 364 ම රණ්ඩු කරගන්නා පෙම්වතුන් සහ තමන්ගේ විවාහ සංවත්සරයවත් මතක නැති ස්වාමි බිරින්දෑවරුන් වැලන්ටයින් දිනයට පමණක්  තෑගි හුවමාරු කරගන්නේ ඇයි? මිල අඩු නිසාද?එසේනම් ඔබ නොදැනුවත්වම වැලන්ටයින් ඔබේ අයිතිය අහිමි කර ඇති බවක් හැඟෙන්නේ ද?

වැලන්ටයින් දිනයට වඩා ආදරය ගැන කියාදෙන්න,හඳුනාගන්න බොහෝ කරුණු දැනගත යුතු කාලයකි මේ.විවාහයට පෙර ලිංගික සම්බන්ධතා වලට තරුණ තරුණියන් එළඹීමේ සම්භාවිතාවය මේ වන විට වැඩිවී ඇත්තේ ද මෙවන් වූ වෙළඳ උපක්‍රම හේතුකොට ගෙන ය.උලුප්පා දක්වන ව්‍යාජ වැලන්ටයින් දිනය සැබෑ ආදරය යැයි හඳුනාගන්නා ඉතා ලාබාල  දරුවන් නිසි වයසටත් පෙර පවා ආදර සම්බන්ධතා ඇතිකරගනිමින්  සිය පෙම්වතා හෝ පෙම්වතිය තමන්ගේ දෙමව්පියන්ටත් වඩා වටින්නේ යයි සිතාගෙන අම්මා තාත්තා දෙන  පන්ති සල්ලි එකතු කර ඉගෙනීම කපාහැර වැලන්ටයින් දිනයේ තෑගි මිලටගන්නේ සිය අනාගතයම අඳුරු වේ යන බියක් හෝ නැතුවය.එය ගිනි දැල්ලට  ලං වන පළඟැටියෙකු වැනිය.පළඟැටියා සිතන්නේ එය කදිම අවස්ථාවක් ලෙසයි.එහෙත් වෙන්න ඕනේ දේවල් සිදු වූ පසු “ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහ කණාමැඳිරි එළියටත් බයයිනේ” කියා නම් කිසිදු පලක් නොමැත.
ආදරය කිරීම සමාජ සම්මත විවාහය දක්වා දුරදිග යාම ඉතා වැදගත්ය.සැබෑ ආදරය යනු එකිනෙකා ගේ ජිවිත ගැන තීරණය කරන්නට ලැබෙන මැජික් කෙවිටක් නොවේ.අපගේ ජිවිත වල තීරණ ගත යුත්තේ අපිමය.ආදරේ නාමයෙන් කියා කාම සේවනයේ යෙදෙන තරුණ තරුණියන් සිතන්නේ ආදරය එයයි කියාය.ඉතින් වැලන්ටයින් නේද කියමින් කාමර වලින් ආදරය සොයන පෙම්වතුන්  ආදරය  ලිංගිකත්වය ලෙස දැකීම  පුදුමයට කරුණක් නොවේ.”සැබෑ ආදරයක් ඇති අයකු කිසිදා සිය පෙම්වතා හෝ පෙම්වතියට අවැඩක්,අවනම්බුවක්,කරදරයක් හෝ අපහසුතාවයක් ඇතිවන ආකාරයේ  කිසිදු දෙයක් යෝජනා හෝ කරන්නේ නැත” යන සරල වුවත් වැදගත්ම කරුණ තේරුම් ගන්නට තරම් වත් අද සමාජය බුද්ධිමත් නැත කියා කීම සම්පුර්ණයෙන්ම නිවැරදි නැත.ඇත්තටම සිදුවන්නේ එය තේරුම්ගැනීමට උත්සහ ගන්නේ නැතිකමය.ඉතින් අවසානයේ මේවා කෙලවර වන්නේ අම්මා තාත්තා නොදක මියයන පුංචි දරුවන්ගෙන්  සහ  විවිධ සමාජ රෝග වලින්ය.

විශේෂයෙන්ම කිවයුතු තවත් කරුණක් ඇත.කන්‍යාභාවය අහිමි වීම පවතින්නේ වැලන්ටයින් දිනය මත පමණක් නොවේ.වැලන්ටයින් නොවුනත් හැම දිනකම සිය පවිත්‍රත්වය ස්ව කැමැත්තෙන්ම අහිමි කරගන්නා තරුණියන් තරුණයන් ඕනෑතරම් සිටියි.ඒවාටම සැදුම්ලත් කූට වෙළෙන්දන් ද මීළඟ බිල්ල කවුදැයි කියා බලාගෙන සිටියි.ඔබ සැබෑ ආදරය හඳුනාගන්න දිනයට  ඔබේ පවිත්‍රත්වය ද ආරක්ෂා  වනු ඇත.සිතන්න,වැලන්ටයින් නමින් ඔබ සමරන්නේ සැබෑවටම ඔබ හඳුනාගත් ආදරය ද? වෙළෙන්දන්ගේ වාණිජ දිනයක්ද? තීරණය ඔබට භාරයි.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here