සුන්දර ඇල්ල පුරවරය

0
8585
travel

විදේශිය සංචාරකයන් අතර ප්‍රසිද්ධ සංචාරක පුරවරයක් තමයි ඇල්ල කියන්නේ. විශේෂයෙන්ම කඳු නගින්නන් අතර (හයිකින්, ට්‍රෙකින් වලට) ඇල්ල ප්‍රසිද්ධයි. දැන් දැන් ලංකාවේ තරුණ පිරිස්නුත් හයික් යන්න ඇල්ල තෝරාගන්න  බව ෆේස්බුක් බැලුවම පේනවා.

බදුලු කෝච්චියෙන් වගේම බස් එකෙනුත් ඇල්ල නගරය වෙත ලගා වෙන්න පුළුවන්. කෝච්චියෙන් යන ගමන නම් බොහොම සුන්දරයි ඒත් පුරා දවසක්ම කෝච්චියේ ඉන්න වෙන නිසා ඒ ගමන ටිකක් වෙහෙසකරයි. ගාල්ල, මාතර පැත්තේ ඉන්න කෙනෙක්ට නම් වැල්ලවාය හරහා බස් එකේ ඇල්ලට ලගා වෙන එක ලේසියි.

මේ කාලය ලංකාවට විදේශීය සංචාරකයන් පැමිණෙන කාලය නිසා බොහොමයක් හෝටල් සහ නවාතැන් පොළවල්  විදේශිකයන්ගෙන් පිරිලා.ඒ නිසා ඇල්ල යන්න කලින් නවාතැනක් බුක් කරලා යන එක නුවණට හුරුයි.

පහුගිය දීර්ඝ සති අන්තයේ මමත් ඇල්ලේ සුන්දර තැන් බලන්න ගියා. ලංකාව මේ තරම් සුන්දරයිද කියලා හිතෙන තරම්ම සුන්දර ස්ථාන වලින් ඇල්ල නගරය පිරිලා.

මේ තියෙන්නේ ඇල්ලේ බලන්න පුළුවන් ස්ථාන කිහිපයක් ගැන විස්තර.

පුංචි සිරි පාදය

ඇල්ල හන්දියෙන් නමුනුකුල පාරේ 2km ක්  විතර දුර ගියාම පුංචි සිරි පාදයට යන පාර හමුවෙනවා. (පොඩි තේ වත්තක් මැදින් යන්නත් තියෙන නිසා අවට පරිසරයේ ලස්සන බලන්න පුළුවන්)  ඔයාට පාර හොයාගන්න අමාරු නම් පුංචි සිරි පාදයට යන මාර්ගය ඕන කෙනෙක්ගෙන් අහගන්න වුනත් පුළුවන්. 98 acres හෝටලය තියෙන්නෙත් මේ අවටමයි. එන ගමන් හයික් එකේ මහන්සිය නිවාගන්න 98 Acres හෝටලයෙන් මොනවහරි බොන්නත් ඔයාට පුළුවන්. මීටර් 1141 උස මේ කන්ද පැය භාගයක් පැයක් වගේ කාලෙකින් නගින්න පුළුවන්. ඇත්තෙන්ම මේ පුංචි කන්ද නගින එක එතරම් දුෂ්කර නැහැ. කන්ද මුදුනේ වතුර බෝතලයක්වත් ගන්න කඩයක් නැති නිසා වතුර බෝතලයක් අරන් යන්න මතක ඇතිව.

ඇල්ල රොක්

ඇල්ල රොක් කියන්නේ පුංචි සිරී පාදයට වඩා ටිකක් විතර නගින්න අමාරු කන්දක්.පැය එකහමාරක් වගේ කාලයක යනවා කන්ද නගින්න. කිතල් ඇල්ල දුම්රිය ස්ථානය පහලින් තියෙන පාරෙන් තමයි ඇල්ල රොක් කන්ද නගින්න පාර තියෙන්නේ. ඇල්ලේ ඉදන් රේල් පාර දිගේ එන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඇල්ල නගරයේ තියෙන පොඩි බිම්ගේ ලග උඩට යන්න තියෙන පාරෙන් වුනත් කිතල් ඇල්ල දුම්රිය ස්ථානයට යන්න පුළුවන් ( ඒත් මේ පාර ටිකක් දුරයි).

කිතල් ඇල්ල ස්ටේෂන් එක ලග බෝ ගහක් තියෙනවා එතනින් උඩට ගියහම තමා කිතල් ඇල්ල හම්බෙන්නේ. හැබැයි අවාසනාවට දැන් කිතල් ඇල්ලේ වතුර ගොඩක්ම අඩුයි. එතන පොඩි පාලමක් තියෙනවා එතනින් උඩට තමා ඇල්ල රොක් වලට යන පාර තියෙන්නේ. ගොඩක්ම විදේශිකයන් තමා ඇල්ල රොක් නගින්න එන්නේ. මෙතන පහල ඉන්න මග පෙන්වන්නේක්ගෙන් වුනත් පාර අහගන්න පුළුවන්.මුලදී පොඩි පදුරු, තේ පදුරු අතරින් යන්න වුනාට ටික දුරක් යද්දී ෆයිනස් කැලයක් මැදින් තමා උඩට නගින්න වෙන්නේ. පොඩි පොඩි පාරවල් ගොඩක් තියෙන නිසා අතරමං වෙන්න තියෙන ඉඩත් වැඩියි.උඩටම නැග්ගම ඇල්ල වට පිටාව හොදින් නරඹන්න පුළුවන්. ඇල්ල රොක් මුදුනේ වයසක සීයා කෙනෙක් වතුර බෝතල්, තේ විකුණන පොඩි කඩයක් තියෙනවා. ඇල්ල රොක් නගින්න යනවනම්  හයිකින් වලට ගැලපෙන සපත්තු දෙකක් දාගෙන යන්න.

ඇල්ල රොක් කෑම්පින් වලටත් ප්‍රසිද්ධයි. ඒත් ඒ සඳහා ෆොරස්ට් ඩිපාට්මන්ට් එකෙන් අවසර ගන්න ඕන කියලා පහල හිටපු ගයිඩ් කෙනෙක් අපිට කිව්වා.

දෙමෝදර ආරුක්කු නාමයේ පාලමත් ඇල්ලේ නරඹන්න තියෙන සුන්දර ස්ථානයක්. පාලම බලන්න යනවානම් දුම්රියක් පැමිණෙන වෙලාව ස්ටේෂන් ඒකෙන් අහගෙන ඒ වෙලාව කිට්ටු කරලා යන්න.  දෙමෝදර රේල් ගටයත් නරඹන්න ලස්සන ස්ථානයක්. මෙතනටත් යන්න ඕන කෝච්චියක් එන වෙලාවට තමයි.

ඇල්ල නරඹන්න ගියාට කමක් නැහැ පොලිතින් ප්ලස්ටික් පරිසරයට විසි කරලා පරිසරය අපවිත්‍ර කරන්න නම් එපා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here