ඇයගේ සුවපත් බව වෙනුවෙන්මයි…. සුවනාරී

cancer

කාන්තාව ලොව ජනිත වූ සොඳුරුතම නිමැවුම යැයි පැවසීමේ කිසිදු වරදක් නැත. බිළිඳියක ලෙස මෙලොවට බිහිවන ඇය උපතේ සිට මේ ජීවිතයේ අවසානය තෙක් ජීවන ගමන් මගේ චරිත ගණනාවකට පණ පොවන්නීය. එනම් විටෙක දියණියක, සොයුරියක වන ඇය තවත් විටෙක ජීවිතයෙන් තවත් ජීවිතයකට පන පොවන සදාදරණීය මවකි. මේ ආකාරයෙන් දුක සතුට වේදනා මැද දෝලනය වෙමින් නොබියව ජීවිතය හා සටන් වදින්නට අවැසි ශක්තිය ඇය උපතින්ම රැගෙන එනු ඇත. කාන්තාව යනු පවුලක ප්‍රධානතම චරිතය ලෙස හැඳින්විය හැකිය. ඇයගේ සිනහව පවුලේ අනෙක් සැමට ද සිනහවක් වනවා සේම ඇයගේ කඳුළ අනෙක් අයට ද කඳුලකි. ඇයගේ සවිය අනෙක් අයට ධෛර්යයකි. එසේ නම් ඇයගේ වටිනාකම මෙතෙකැයි පැවසිය හැකිද? එවන් වූ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයේ පවත්වා ගැනීම මුළු පවුලේම සුබසිද්ධිය වෙනුවෙන් කළ යුත්තකි.

කාන්තාවන් වෙනුවෙන් සුවනාරී සායනයක් අවශ්‍ය ඇයි දැයි ඔබ දන්නවාද?

දැරියක වැඩිවිය පැමිණීමත් සමගම සිරුර තුළ සිදුවන හෝමෝන වෙනස්කම් හේතුවෙන් කාන්තාවන් රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩි වේ. ඒ යටතේ හෘද රෝග, අධිර රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග ඇති විය හැකිය. මෙවැනි රෝග තත්ත්වයන් මූලික අවස්ථාවේදීම හඳුනාගැනීම ඉතා වැදගත් වන්නේ අවශ්‍ය ප්‍රතිකාර වෙත ඉක්මණින් යොමුවීමට හැකි නිසයි. සුවනාරී සායනය හරහා මෙවැනි රෝග තත්ත්වයන් කල් තියා හඳුනාගැනීමට අවස්ථාව සැලසෙන අතරම රෝග තත්ත්වය අනුව අවශ්‍ය ස්ථාන කරා කාන්තාවන් යොමු කිරීමද සිදු වේ. සුවනාරී සායනය සෑම කාන්තාවකටම වැදගත් වන්නේ එබැවිනි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් ප්‍රජනන සෞඛ්‍ය සංකල්පය යටතේ දීප ව්‍යාප්ත සුවනාරී නමින් සායනික සේවාවක් අරඹා ඇත්තේ කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීමේ අරමුණ පෙරදැරි කරගනිමිනි. වයස අවුරුදු 35 සම්පූර්ණ වූ කාන්තාවන්ට ඕනෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් හරහා සුවනාරී සායනික සේවාව ලබාගැනීමේ පහසුකම් ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්ය මණ්ඩලය ක්ෂේත්‍ර හා ආයතනයන් තුළදී මෙන්ම රෝහල් මගින්ද මෙම සායනික සේවාව කාන්තාවන් වෙත ලබාදෙන අතරම මේ සඳහා පළපුරුදු කාර්ය මණ්ඩලයක උපරිම සුහදශීලී සේවාව නොමිලේම ඇයට හිමිවේ.

සුවනාරී සායනයේදී මූලිකවම සිදුවන්නේ
  • කාන්තාවන් අතර බහුලව පවතින පියයුරු පිළිකා හා ගැබ්ගෙළ පිළිකා තත්ත්වය මුල් අවස්ථාවේදිම හඳුනා සාර්ථකව ප්‍රතිකාර කරා යොමු කර රෝගය පැතිරීම අවම කිරීම හා සම්පූර්ණයෙන් රෝගයෙන් මිදීමට අවස්ථාව සලසාදීම
  • මුල් අවධියේදී රෝග ලක‍ෂණ පෙන්නුම් නොකරන අධික රුධිර පීඩනය හා දියවැඩියාව වැනි බෝ නොවන නිධන්ගත රෝග තත්ත්වයන්ද සායන පරීක්ෂාවන් හරහා ඉතා පහසුවෙන් හඳුනාගැනීම.
සුවනාරී වෙතින් ඔබට සැලසෙන සේවාවන් අතරට
  • පියයුරු පරීක්ෂාව සහ ස්වයං පියයුරු පරීක්ෂාව සඳහා දැනුම ලබාදීම
  • පැප් පරීක්ෂාව (ගැබ්ගෙල ශ්‍රාවී පටල පරීක්ෂාව )
  • පියවි ඇසින් ගැබ්ගෙල පරීක්ෂාව
  • රුධිර පීඩන පරීක්ෂාව
  • මුත්‍රාවල ප්‍රෝටීන හා සීනි පරීක්ෂාව
  • පවුල් සැලසුම් සේවාව
  • සාමාන්‍ය කායික පරීක්ෂාව
  • නිරෝගි මත් දිවියකට අවැසි සෞඛ්‍ය අධ්‍යාපනය
  • ආර්ථවහරණය හා ඔසප් වීම සම්බන්ධ ගැටලූ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවීම

වයස අවුරුදු 35 ක් වූ සෑම කාන්තාවක්ම අදම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත ගොස් මෙම  සේවාව ලබාගැනීමට උනන්දු වන්න. එමගින් ඔබගේ නිරෝගී බව පිළිබඳව වාර්තාවක් ලබාගත හැකි අතරම යම් රෝග තත්ත්වයක් වේ නම් ඒ සඳහා අවශ්‍ය ස්ථාන කරා ඔබව යොමුකිරීම සිදු වේ. එසේම ඔබට ඇති විය හැකි රෝග තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීම හේතුවෙන් මුල් අවධියේ සිටම ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර සඳහා යොමු වීමට ද අවස්ථාව සැලසේ.

කාන්තාවනි, දහසකුත් වැඩ රාජකාරී අතරේ සිටිය ද ඔබ වෙනුවෙන් යම් කාලයක් වැය කොට ඔබේ සුවපත් බව තහවුරු කරගන්න.

බුලත්සිංහල, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනි අයිරාංගනි ගගලගමුව මහත්මිය සමග සකසන ලද ලිපියකි 

 

About The Author

Previous articleරූමස්සල අසිරිය සමඟ දවසේ චාරිකාවක
Next articleදරු ප්‍රසූතියෙන් පසුව ඔබත් මෙම දේවල් වලට හුරු වන්න
අධ්යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here