අනේ කෝ වෙලාවක්…

අනේ කෝ වෙලාවක්…කොටින්ම කිව්වොත් හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. අද හැම දෙනාම ගයන මේ සම්ප්‍රදායික මන්තරය ඔබට හොදින් හුරු පුරුදු ඇත. එහෙත් මේ තත්වය තුළ එතරම් සාධාරණත්වයක් නැත. ඔරලෝසු පැය අනුව දවසට පැය ඇත්තේ විසිහතරකි. මේ සීමිත කාලයට අනුව අපි දවස ගලපා ගත යුතුය. අතීතයේ පැවැති සරල ජීවන රටාවට වඩා අද කාර්යබහුල බව සැබෑය. එහෙත් එදාට වඩා වැඩ පහසු කරන උපාංගයන්ගෙන් අපි සන්නද්ධව ඇත.

කැලයට ගොසින් දර සොයන්න, දුම් ගසමින් ලිප දල්වන්න, මිරිස්, පිටි කොටන්න දැන් අවශ්‍ය නැත ඒ වෙනුවෙන් වූ තාක්ෂණය නිවසේම ඇත. එහෙත් අනේ කෝ වෙලාවක් යැයි අපි කියමින් හැම යුතුකමකින්ම මග අරින තත්වයක් ඇත. මේ නිසා ඔබ දවස සැලසුම් කරන්න. උදේ කාර්යන් උදයේම අවසාන කරන්න. රෑ නින්දට පෙරාතුව මුලුතැන්ගෙය අස්පස් කොට පිරිසිදු කරන්න. එය පසුදින උදයට ඉතිරි කරන්න එපා. අපේ කාලය පිළිබඳ බොහෝ ගැටලු ඇති වෙන්නේ අද කළ යුතු දෙය හෙටට තල් දැමීම නිසාය. එබැවින් ඔබ මේ තත්වයෙන් මිදෙන්න. කාලය ඔබට නොදැනම ඉතිරි වේ.

සමාජයේ පවතින් සමාජ සම්බන්ධතාවයන් වෙනුවෙන් කාලය නැතැයි කිසිම දිනක මග හරින්න එපා. කිසිම දිනක අපට තනිව ජීවත්විය නොහැක. අවශ්‍යතාවය ඇත්තේ නම් කාලය උපයා ගත හැක. සමාජගත සම්බන්ධතාවයන්හිදී මංගල්‍යන්, උත්සව, දාන පිංකම් සහ අවමංගල්‍යන් වැනි විවිධ අවස්ථාවන් සඳහා ඔබට ආරාධනාවන් ලැබෙනු ඇත. මෙයින් පූර්ව සැලසුමක් නොමැතිව සිදු වෙන එකම සිද්ධිය අවමංගල්‍යක් පමණි. ඒ හැර සෙසු සියළු ආරාධනාවන් ඔබට කල් තබා ලැබෙනු ඇත. මේ නිසා එම අවස්ථාවන් වෙනුවෙන් සහභාගිත්වය ලබා දීමට පූර්ව සැලසුම් සකස් කරන්න. සියලුම සිද්ධින් ඉදිරියේ අනේ කාලයක් නැහැ…යන මැසවිල්ල ඉදිරිපත් නොකරන්න. කාලය ගලපා ගත යුත්තේ අවශ්‍යතාවය සමග පමණි.

හඳ අල්ලන්න ගියොත් තරුවක් හෝ ලබා ගත හැකි බව ඇත්ත. එහෙත් තමාට ඔරොත්තු නොදෙන ඉලක්ක වෙනුවෙන් හඹා යෑම එතරම් ප්‍රඥාගෝචර නැත. නිතරම මේ ඉලක්කය මට ජය ගත හැකිද යන්න ගැන තර්ක විතර්ක කරන්න. විවිධ පැතිකඩ ඔස්සේ බලන්න. එම ඉලක්කය ජයගත නොහැකි අසීරු ඉලක්කයක් නම් ඒ තුළ පිහිටා ඔබගේ වපසරියට අනුව හැකියාවන් අධ්‍යනය කරන්න. එම වපසරිය මත පිහිටා කටයුතු කරන විට එම ඉලක්කය ජය ගැනීම එතරම් අසීරු නොවෙන අතරම ඔබගේ කාලය ඉතිරි කර ගැනීම අපහසු නැත.

ඔබ නිතර කරන කටයුතු නිසා ඇති වෙන ප්‍රමාදයන් හදුනා ගන්න. කාලය සහ මෙම ප්‍රමාදයන් ගලපන්න. ඇතැම් අවස්ථාවලදී මෙම ප්‍රමාද නිසා ඔබට ඉදිරියට යෑමට අපහසුතාවයන් ගොඩ නගනු ඇත. ඒ නිසා අත්‍යවශ්‍ය දෙයට මුල් තැන දෙන්න. අවශ්‍ය දේ දෙවැනි තැනටත් අවශ්‍ය නොවන දෙය අනාගතයටත් කල් තබන්න. බොහෝ විට අපි අනවශ්‍ය දේ වෙනුවෙන් කාලය ගෙවෙන අතර අත්‍යවශ්‍ය දේ අමතක හෝ අවධානයෙන් දුරස් කරනු ඇත. එහෙත් විය යුත්තේ එය නොවේ. නිරන්තරවම අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් මුල් තැන දෙන්න. කාලය ගැන මැසිවිලි නැගීමෙන් ඔබ නොදැනම මිදෙනු ඇත.

කාලය නිසි අන්දමින් කලමනාකරණය වූයේදැයි වූ තක්සේරුව ඔබටම අධ්‍යනය කළ හැක. දවස අවසානයේදී නැවතත් දවස මුලට යන්න. අද දවසේ ඔබ කළ දේ ගැන සිතන්න. බුදුරජාණන්වහන්සේ තරම් කාලකලමනාකරණය කරන ලද ශාස්තෘන්වහන්සේ කෙනෙක් තවත් නොමැත. මෙයින් ඔබටත් මනා ආදර්ශයක් ලබා ගත හැක. ඔබ දවස කාලසටහනකට ගලපන්න. එම කාලසටහනට අනුව දවසේ කටයුතු ඉදිරියට ගෙන යන්න. යම් හෙයකින් කාලසටහනේ කටයුතු ගිලිහී ඇත්දැයි ස්වයං අධ්‍යනයේ යෙදෙන්න. එසේ ගිලිහුන තැන් ගැන අවධානය දෙමින් නැවතත් එම ප්‍රමාසය ඇති නොවන තැනට කටයුතු කරන්න. එවිට අනේ කෝ…වෙලාවක්…..යන කටහුරු වචනයෙන් ඔබ දුරස් වෙනු ඇත.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here