පූජාට පුංචි කාලේ ඇගේ අම්මා කරපු හරි අපූරු දේ මොකක්ද?

0
9225
pooja_with_mom
මේ සන්ද්‍යා උමාශංකර්, පූජාගේ අම්මා. පුජා ගැන ඇගේ අම්මා කිව්වේ මේ විදියට,

පූජා හරිම හොඳ ළමයෙක්. බොහොම පිළිවෙළයි. යන ඕනෙම තැනක හැමෝම කිව්වෙත් හොඳම තමයි. මම කවමදාකවත්ම පූජාට ගහලා, බැනලා, කෑ කෝ ගහලා නම් නෑ. මේ පිළිවෙළ ගතිය පූජාගේ හැටි. අදටත් එයා ඒ විදියයි. ඒ වගේම එයා හරිම ත්‍යාගශීලී, ඕනෙම කෙනෙක්ට උදව්කරන දරුවෙක්.

පූජා කොහොමද රඟපාන්න යොමු වුණේ ?

මගේ අම්මාගේ අසනීප තත්ත්වයක් උඩ මට ලංකාවට එන්න සිද්ද වුණා. ඔය අතරෙදි තමයි චිත්‍රපට අධ්‍යක‍ෂවරයෙක් පූජාව දැකලා එයාට රංගනය කතා කරලා තිබුණේ.

ඔබ එදා ලංකාවට ආවෙ නැත්නම් පූජාට ඒ අවස්ථාව නොලැඛෙන්නත් ඉඩ තිබුණා. එහෙම නේද?

එහෙම කියන්න බෑ. එයාගේ දෛවයේ මේ දේ සටහන් වෙලා තියෙන්න ඇති. අපි කාගෙත් ජීවිත විසදෙන්නේ අපි අරන් එන විදියටනෙ.

ඔබට මොකද හිතෙන්නේ අද ඇය ඉන්න තත්ත්වය දැක්කම ? 

ඇත්තටම පුංචි කාලේ වුණත් පූජා නිසා මට දුක්වෙන්න හේතුවක් තිබුණේ නැහැ. ඇය ඇත්තටම හොඳ දරුවෙක් නිසා. ඒ කොහොම වුණත් අද එයා ඉන්න තත්ත්වය ගැන මම ආඩම්බර වෙනවා. හැමෝගෙම ආදරය දිනාගෙන ඇයගේ දස්කම් මැද ජීවිතය සතුටින් ගෙවන පූජාව දැක්කම මට හරි සතුටක් දැනෙනවා අම්මා කෙනෙක් විදියට.

ඇයගේ පියා ඇය රඟපානවට කැමතිද ?

තාත්තා නම් පූජා රඟපානවට කැමැත්තක් නෑ. ඉගෙනීම පැත්තෙනුත් පූජා දස්කම් පෙන්නපු දරුවෙක් නිසා ඔහු කැමති ඇති වෙන ක්ෂේත්‍රයක ඉහළට ගියා නම්. ඉතිං මම නම් පූජා අද ඉන්න තැන ගැන වරදක් දකින්නේ නෑ.

පූජාගේ පුංචි කාලේ අමතක නොවෙන අවස්ථා ඕනෙ තරම් ඔබට ඇති නේද ?

ඔව්….පූජාගේ තාත්තා සේවය කළේ වැවිලි ක්‍ෂෙත්‍රයට සම්බන්ධව. ඒත් ඒ හා සම්බන්ධ පාසැල් තිබුණෙ නෑ. ඉතිං අපිිට සිද්ධ වුණා පූජාට අවුරුදු හතරක් පහක් විතර වෙද්දි පූර්ණ ප්‍රඥා හින්දු පාසැලට පූජාවයි මල්ලිවයි ඇතුළු කරන්න. මොකද එතැන ගොඩක් හොඳයි වගේම අපිට නිතර එයාලව බලන්න යන්න පුළුවන්කමත් තිබුණු නිසා. මේ පාසැල නේවාසික පාසැලක්.

මම දැන් කියන්න යන්නේ හොඳම දේ.. පාසැලේ නිවාඩු දුන්නම පූජාත් මල්ලිත් ගෙදර එක්ක එනවා. ගෙදර ආවම මම හිතන්නෙම මේ මගේ දරුවොද කියලා. ඒ මොකද මෙයාලා නිවාඩුවට ගෙදර එද්දි කලූ වෙලා කැත වෙලා තමයි එන්නේ. පූජා වගේම මල්ලිත් හොස්ටල් එකේ ඉද්දි එයාලගේ වැඩ එයාලම තමයි තනියම කරගන්නේ. ඉතිං හරියට ඒ දේවල් ගැන තේරුමක් නැති නිසා වගේම අව්වේ නටලා අව්වට පිච්චිලාත් වෙන්න ඇති මෙහෙම වෙන්නේ.

මම ඉතිං මුලින්ම කරන දේ තමයි, උණු වතුරෙන් හොඳට නාවලා ඇඟේ යන්තම් තෙත ගතිය තියෙද්දිම ඇඟ පුරාම ග්ලිසරින් ගාන එක. දවසක් දෙකක් මෙහෙම කරද්දි අර පිච්චිලා අවපැහැ ගැන්වුණු හම ඉවත් වෙලා යනවා. ඔන්න එතකොට තමයි පූජාගේ අර තිබුණු ලස්සන ආයෙත් දකින්න පුළුවන් වෙන්නේ.

Pooja_Gauthami_Umashankar

පූජා කැමතිම අම්මා අකමැතිම දෙයක් තියෙනවද ? ඒ මොකද්ද ?

අපේ පූජා සත්තුන්ට හරිම ආදරෙයි. උන්ව වඩාගෙන තුරුළු කරගෙන හුරතල් කරන්න තමයි වැඩියෙන්ම ආස. පූජාගේ තාත්තාත් සත්තුන්ට හරිම ආදරෙයි. හැබැයි මම නම් සත්තු ගේ ඇතුළට ගන්න එකට හරිම විරුද්ධයි. පූජා මම ගෙදර නැති වුණාම තමයි එයාගේ සුරතලූන් ටික ගේ ඇතුළට අරගන්නේ.

අත්දැකීම් බහුල කාන්තාවක් ආදරණීය මවක් විදියට අද කාලේ තරුණ මව්වරුන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද ?

ඔව්.. මව්වරුන් විදියට අපි, අපි ගැන හිතන්න ඕනේ. ඇත්තටම අම්මා කියන්නේ ගෙදර සුන්දරම චරිතය. ඒ චරිතයට සාධාරණත්වයක් හැම කාන්තාවක් විසින්ම ඉටුකරන්න ඕනේ කියලයි මම හිතන්නේ. මම එක දෙයක්  කියන්නම් මම මගේ අම්මාගෙන් පුරුදු වුණු. මගේ අම්මා උදේ නැගිට්ට ගමන් කරන්නේ මුහුණ කට සෝදලා පිරිසිදු ඇඳුම් අඳින එක. අපි කවදාවත් අපේ අම්මාව දවල් වෙනකන් රෑ ඇඳුමෙන් නම් දැකලා නැහැ. ඉතිං මටත් ඒ පුරුද්ද තියෙනවා. මොකද ගෙදරට හැමදේම තීරණය වෙන්නේ අම්මා මත කිව්වොත් හරි. නිවසක සතුට සිනහවට හේතුව අම්මා. අන්න ඒ නිසාම තමයි දරුවන්ට සැමියට ප්‍රිය  උපදවන විදියට ගෙදර කාන්තාව සිටිය යුතුවන්නේ. මම ඕනෙ තරම් දැකලා තියෙනවා රෑ ඇඳුම පිටින් දවල් වෙනකම්ම ඉන්න කාන්තාවෝ. උදේ පාසැලට යන දරුවන්ට, රැකියාවට යන සැමියාට සුබ ලකුණක් විදියට අම්මා, බිරිඳ කියන චරිතය හඳුන්වන්න පුළුවන්. සුන්දර බිරිඳක් ගෙදර ඉද්දි කවදාකවත් සැමියෙකුට වෙනත් කාන්තාවන්ගේ සුන්දරත්වය ගැන හිතෙන එකකුත් නෑ. කාන්තාවෝ විදියට අපි මේ දේවල් ගැනත් හිතන්න ඕනේ.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here