මැරෙන්න හිතන ඔබ වගේම හැමදෙනාම මඳක් නවතින්න ….. කියවන්න…

depression_girl

පසුගිය දිනවල ශ්‍රිලංකාවේ ද  විවිධ ප්‍රදේශ වලින් සියදිවිහානි කරගැනීම පිලිබඳ වැඩි වශයෙන් සිදුවීම් වාර්තා වුණා ඔබට මතක ඇති නේද? මින් පෙරත් සියදිවි හානිකරගැනීම පිලිබඳ අප කතාකලද සිදුවීම් වල එතරම් අඩුවක් වුණේ නැහැ. මෙවර ලෝකයේ ම අවධානය සිය දිවි නසාගැනීම් කෙරෙහි යොමුවී තිබෙද්දී ත් පුද්ගලයන් මෙතරම් සිය ජීවිතය සෘණාත්මක ව දකින්න තරම් පෙළඹෙන්නේ ඇයි යන්න පිලිබඳ අවධානය යොමුකරන්න ට අද womanly.lk තුළින් අපි සිතුවෙමු.

ලෝක සෞඛ්‍ය දිනය හැම වසරකම අප්‍රියෙල් 7 වැනිදා සමරනු ලබනවා. මෙවර එහි තේමාව වී ඇත්තේ ‘Depression Let’s Talk’ යන්නයි. නැතිනම් මෙවර තේමාව ගොඩනැඟී ඇත්තේ මානසික අවපීඩන තත්වය මත යි.පසුගිය දශකය තුල බලද්දී ලොව පුරා ම මානසික අවපීඩනය මත ඇති වූ සියදිවි නසාගැනීම් සියයට
20කින් වැඩිවී තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ සුළු මානසික පීඩනයක් ‘අවපාතයක්’ බවට පෙරළීමෙන් ඇති වූ ව්‍යාකුලතත්වය යි. 2005 වසරේ සිට බැලූ විට මානසික ව්‍යාකුලතා 18% කින් වැඩිවී තිබෙන්නේ පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි එතරම් අවධානයක් පුද්ගලයා විසින් ම ලබා නොදී සිටීම බව හෙළිව තිබෙනවා. මෙය ඉතාම බැරෑරුම් තත්වයක්.
පේනවා නේද? අපි අපේ සම,කොණ්ඩය, නියපොතු සහ මුහුණ ගැන කොච්චර හිතනවා ද? ඒත් සිරුර ගැන, සිරුරේ නිරෝගීබව ගැන හිතන්නේ කීයෙන් කි දෙනෙක්ද? එහෙම හිතන අයගෙන් වුණත් මානසික සෞඛ්‍යය ගැන හිතන්නේ කී දෙනා ද? වැඩිම වුණොත් මානසික වෛද්‍යවරුන් නම් ඒ ගැන හිතනවා ඇති නේද? හිත සැනසීමක් නැතිනම් ගත කොයිතරම් හොඳ වුණත් වැඩක් නැහැ. ඇත්තටම සිතේ සතුට සහ සැනසීම නැහැ කියලා අපට ඕනෙම කෙනෙකුගේ බාහිර පෙනුමින් සහ හැසිරීමෙන් කියන්න පුළුවන්. වෙනදා ආ පිළිවෙල ක්ෂණයෙන් වෙනස් වීම සහ ඒ වෙනස සෘණාත්මක ව සිදුවීම තමයි මෙහි මූලික ලක්ෂණය වෙන්නේ.

මට මා විසින් ම ඩිප්රේෂන් හඳුනාගන්න හැකියාවක් නැද්ද ?

මේ තත්වය හැමෝටම පොදුයි. මට ඔයාට විතරක් නෙමේ. මේ තත්වය ලෝකේ මිලියන 322 ක ජනතාවට තියෙනවා. එහෙනම් ඇයි ඒ හැමෝම සියදිවි නසන්නේ නැත්තේ? අන්න එතනයි විශේෂත්වය තියෙන්නේ. මානසික ව්‍යාකුලතා ඇතිවෙන විට එදිනෙදා අපි කරගෙන ආව සහ අපේ කැමති දේවල් ටිකෙන් ටික අඩු වෙලා යනවා. අපිට කිසිදෙයක් කරන්න හිතෙන්නේ නැහැ. අර හිතේ තියෙන ප්‍රශ්නේ හැමතිස්සෙම වැඩකරනවා, මතුවෙලා පෙන්න ගන්නවා, අපේ වැඩ සියල්ල ම ඒ ප්‍රශ්නයෙන් වහල දානවා. ඉතින් අපිට අත්‍යවශ්‍ය දේවල් මොනවද කියන එකවත් පෙන්නේ නැහැ. ඒක අතිශය සාමාන්‍ය දෙයක්.මෙතනින් තමයි අපි ඩිප්රේෂන් තත්වය අපි විසින්ම හඳුනාගත යුත්තේ. මෙතැනදී හුඟක් දෙනෙක් මෙන්න මෙහෙම හිතනවා. ‘මට පිස්සු කියල මිනිස්සු හිතයි’ මම මේ ප්‍රශ්න කිව්වොත් අනික් අය මට හිනාවෙයි. මට දොස්තර කෙනෙක් චැනල් කරයි පිස්සු කියල.

මෙහෙම හිතන්නේ ඔබේ වරදින් නෙමේ. ඇත්තටම මේක සමාජයෙන් ම කරපු වැරද්දක්. මානසික අවපිඩනයක ඉන්න හැම කෙනෙක්ව ම සමාජේ දකින්නේ පිස්සෙක්, ළමා මානසිකත්වයක් තියෙන කෙනෙක් ගාණට. එහෙම බලද්දී අපි හැම කෙනෙක්ට ම මොන යම් මොහොතකදී පිස්සුවක් ඇතිවෙලා තියෙන්න පුළුවන් නේ. ප්‍රශ්න නැති කෙනෙක් මේ ලෝකේ නැති නිසා.ඒ නිසා ප්‍රශ්නයක් ආවම අපේ හැසිරීමෙන් ම අපිට අඳුරගන්න පුළුවන් අපි ඉන්නේ මොන තත්වේ ද කියලා. මෙන්න මේකයි ඩිප්රේෂන් හඳුනාගැනීම කියන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය දකින ඩිප්රේෂන් තත්ත්වය

මොවුන්ට අනුව මානසික අවපාතය එක් දිනකින් ඇතිවන්නක් නොවේ. එය සුළු සුළු මානසික අසහනයන් සහ ව්‍යාකුලතා දිනෙන් දින වර්ධනය වීමෙන් ඇතිවන අවසන් අවස්ථාවයි.මධ්‍යස්තව හෝ සුළුවෙන් හෝ පැවති විවිධ මානසික ගැටළු ඔඩුදුවා යද්දී එහි උච්ඡතම අවස්ථාව ලෙස මානසික අවපාතය දැකිය හැකියි.  මෙයට ඇබ්බැහි වීම තුල අවසානයේ මෙය රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වන අතර විවිධ හැසිරීම් රටා පුද්ගලයා තුලින් දක්නට ලැබෙනවා. ඒ අනුව අවසානයේ ඔහු හෝ ඇය සියදිවි නසාගන්නා තත්ත්වයට හෝ අවම තරමින් තම සිරුර ට ම හානි කරගන්නා තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් සිදුවෙනවා. ඇතැම් අයට මෙහි ප්‍රතිඵල ලෙස දියවැඩියාව, හෘද රෝග ආදී තත්ත්වයන් ද ඇතිවිය හැකියි.

මින් මිදිය හැක්කේ කොහොමද ?

අර මම ඉහත කිව්වා වගේ ලොවේ මිලියන 322 ක ජනතාව විවිධ මානසික අවපීඩනයන්ට ලක්වුවත් සුළුතරයක් සියදිවිනසා නොගෙන හෝ සිය සිරුරට හෝ අනුනට පීඩාවක් නොකරගෙන හෝ මතට ඇබ්බැහි නොවී හෝ වරදෙහි නොයෙදී හෝ සිය ජීවිත අතිශයින් සාර්ථක කරගන්නවා. මෙය සිදුවන්නේ කෙසේ ද?

ඩිප්රේෂන් තත්ත්වයේ සිටින ඕනෙම කෙනෙක් පහසුවෙන් මුලින්ම කළයුතු දෙයක් තිබෙනවා, ඒ තමයි විශ්වාසවන්ත ම අයකු හා ඔබේ ප්‍රශ්නය කතා කිරීම. මේ දේ නොකරන නිසා තමයි බොහෝදෙනෙක් සිය ජීවිතය පවා අහිමි කරගන්නේ. මෙවැනි  සිද්ධීන් වල අවසානයේ  සිය  මරණයේ හෝ සිරුරට හෝ අනුන්ට හෝ හානි සිදුකරගැනීමේ  වගකීම අන් අයෙකු ට  පවරන්නේ ද අර මානසික ව අවපීඩනයට ලක්ව ඇති පුද්ගලයා විසින්ම වීම පොදු ලක්ෂණයක්.

මෙහි රෝග ලක්ෂණ :

මේ තත්ත්වය සුළු, මධ්‍යම සහ බරපතල ලෙස වර්ග කල හැකියි.

පුනරාවර්තන මානසික අබාධය :  මේ තත්ත්වය පුද්ගලයා සිය රුචීන් පසෙක ලා අලසව සිටීම, ඉක්මනින් කේන්ති ගැනීම, අන් අය හා තරහ වී සිටීම, හුදෙකලා ව සිටීමට උත්සාහ කිරීම, දවසේ වැඩි වේලාවක් නිදාගැනීම ට පුරුදු වීම ආදිය සති දෙකක් තිස්සේ සිට හෝ දකින්න ලැබෙන තත්ත්වයක්.

ද්විධව රෝගී ආබාධය : මේ තත්වය මඳක් වෙනස්. පුද්ගලයා සාමාන්‍ය මනෝභාවයක සිටිනු දකින්න හැකි වුණත් යම් යම් අවස්ථා වලදී ඔහු හෝ ඇය කණස්සල්ලට පත්වනු හෝ දැකිය හැකියි. එහෙත් එලෙස ඔවුන් දුක්වන බව අන් අයට  පෙන්වන්න  උත්සාහ කරන්නේ නැහැ. තමා සතුටින් සිටින බව පෙන්වීමට උත්සාහ දැරීමක් මෙහි දී ඔවුන් සිදුකරනවා. මෙය ඉතාම බැරැරුම් තත්ත්වයක් වන්නේ බොහෝ දෙනෙක්ට  මරණයට පත්වන තුරු හෝ හානියක් සිදුකරන තුරු හෝ අදාළ පුද්ගලයා මෙම රෝගී තත්ත්වයෙන් සිටින බව හඳුනා ගැනීමට නොහැකි වීමයි.

වයස අවුරුදු 13-15 අතර සෑම දරුවන් හතර දෙනෙකු අතරින් එක් අයෙක් ඩිප්රේෂන් තත්ත්වයේ පසුවනවා. මෙය තරුණ තරුණියන් සිට වැඩිහිටියන් දක්වා ම පැතිරගොස් තිබීම වර්තමානයේ නොවැලක්විය හැකි කරුණක් වනවා. මෙය අප සුළුකොට තැබිය යුතු තත්ත්වයක් ද නොවේ. මේ නිසා මඳක් සිතන්න

1.) ඔබට යම් ගැටළුවක් තිබේනම් ඔබේ දෙමව්පියන් හා කතාකරන්න, ඔවුන් තරම් ඔබට විශ්වාස කල හැකි අය තවත් නැති තරම්. එසේ නැත්නම් විශ්වාසවන්ත ඕනෙම කෙනෙක් එක්ක කතාකරන්න. නැතිනම් වෛද්‍යවරයෙකු හමුවන්න. කතානොකර කිසිම ප්‍රශ්නයක් විසඳගන්න බැහැ  කියලා ඔබ මතක තියා ගන්න.

2.) ඔබ එවැනි තත්ත්වයක  සිටින අයකු ට ඇහුම්කන් දෙන්නෙක් නම්… වැඩි වගකීම ඇත්තේ ඔබ සතුව බව මතක තබා ගන්න. මන්ද අත්‍යවශ්‍ය ම දෙය තමයි ඇහුම්කන් දීම සහ එයට හැකිතාක් යහපත්, ධනාත්මක ප්‍රතිචාර දැක්වීම බව ඔබ මතක තියාගන්න.

අනාගතයට ඔබේ ජීවිතය අවශ්‍ය බව ඔබ සිතට ගන්න…..
ප්‍රශ්න වලින් පැනලා යන්න එපා…
එයට මුහුණ දී ජයගන්න ….

මොකද ලෝකයේ ප්‍රශ්නයක් ආව පළමු කෙනාවත් අවසන් කෙනාවත් ඔබ නොවේ. අපි කාපු දේවල් දිරවගන්න ජොගින් කරන අතරේ වතුර ටිකක් හොයාගන්න හැතැප්ම ගණන් දුවන මිනිස්සුත් ලෝකයේ ඉන්නවා කියල හිතන්න. දවසින් දවස කන්න බොන්න නැතුව හාමතේ මැරෙන්න ඉඳලත් ජීවිතය ජයගත්ත මිනිස්සු ගැන  අද ලෝකය ම කතාකරනවා කියලත් මතක් කරගන්න. ඒනිසා වීරයෙක් වෙන්න පුළුවන් ප්‍රශ්න වලින් පැනල ගිහින් නෙමෙයි. ප්‍රශ්න වලට මුහුණ දීලා කියල අමතක කරන්න එපා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here