හිස තෙල් සත්කාරය ගැන කොතරම් දුරට දැනුවත් දැයි ඔබ දන්නවාද?

පංච කල්‍යාණය කියන්නේ කාන්තා රූප සම්පත්තිය පිළිබඳ විස්තර කිරීමේදී සැලකිල්ලට ගන්න ප්‍රධාන තවත් එක් අංගයක්. කේශ කල්‍යාණය ගැන සඳහන් කිරීමේදී කෙස් කළඹ සඳහා කරනු ලබන සත්කාර අතුරින් මුලිකත්වය ගන්නේ හිස තෙල් ආලේප කිරීම, නැතහොත් හිසකෙස් සඳහා කරන්නාවු තෙල් සත්කාරයයි. හිසේ ආලේප කරනු ලබන තෙල් වර්ග පිළිබඳව සඳහන් කිරීමේදී මුලිකත්වය ගනු ලබන්නේ පොල්තෙල්ය. කාන්තා කෙස් කළඹේ සුන්දරත්වය මෙන්ම නිරෝගීතාවය පිණිස ඉතා ඈත අතීතයේ පටන්ම යොදාගනු ලැබ ඇත්තේ පොල්තෙල්ය. එදිනෙදා ජීවිතයේදී අපිට ඉතාමත්ම සමීපවූ පොල් වලින් පොල්තෙල් ලබා ගැනීම සිදු කරන බව සියලු දෙනා දන්නා කරුණකි.

Cocos nucifera නම් උද්භිද විද්‍යාත්මක නමින් හඳුන්වන පොල් වලින් හිසකෙස් සත්කාරය සඳහා පොල්තෙල් සාදාගනු ලබයි. වියළි හිසකෙස් වලට මනා දීප්තිමත් බවක් ලබදීම හා හිස් කබලෙහි හටගන්නා වියළිබව මඟහරවා ගැනීමට පොල්තෙල් වලින් ලැබෙන දායකත්වය ඉමහත්ය. හිස ආශ්‍රිතව හටගන්නා බලවත් පීඩාවක් වන ඉස්හොරි හා උකුණන් වඳ කිරීම සඳහා පොල්තෙල් වලින්ද මනා පිටුවහලක් ලැබේ. පොල්තෙල් වලට එක්කල හැකි හිසකෙස් සඳහා යෝග්‍ය ඖෂධ වර්ග රැසක් ආයුර්වේදයේ සඳහන් වේ. මේ අතර සුවඳ කොට්ටන්, සැවැන්දරා හා නෙල්ලි වැනි ඖෂධීය ශාක වලින් හිසකෙස්වල නිරෝගීතාව හා සුන්දරත්වයට ලැබෙන දායකත්වය මෙතෙකැයි කිව නොහැක.

පුරාණයේ සිටම හිසකෙස් සත්කාර සඳහා ගනු ලබන තෛල වර්ග සඳහා සැවැන්දරා යෙදීම සිදු කරයි. සැවැන්දරා කුඩා තණ පඳුරු ස්වාභාවයෙන් ඇති ශාකයකි.  එම ශාකයේ සුගන්ධවත් මුල් ඖෂධ පිණිස භාවිතා කරයි. සැවැන්දරා අයත් වනුයේ poaceae කුලයටයි. සැවැන්දරා මඟින් හිසට මනා සිසිලක් ලබාදෙයි.  හිසේ දැවිල්ල, ඇස් දැවිල්ල ආදී වේදනා නැති කිරීමේ හැකියාවද සැවැන්දරාවල පවති. හිසකෙස් වලට ප්‍රාණවත් බවක් හා දීප්තිමත් බවක් සැවැන්දරා නිසා ලැබේ.  මෙම ශාකයේ ගුණය පුරාණයේ සිටම අත්විදී ඇති නිසා හිස සත්කාරයට තෙල් සෑදීමේදී සැවැන්දරා මිශ්‍ර කිරීම අනිවාර්යය ලෙස සැලකේ.

පලතුරක් ලෙසට දන්නා නෙල්ලි හිසකෙස් වල හා හිස් කබලෙහි පිරිසිදු බව සඳහා උදව්වන ද්‍රව්‍ය අතරින් ප්‍රමුඛස්ථානයක් ගනී. හිසකෙස් වලට මනා කළු පැහැයක් ලබා දීමට නෙල්ලි වලට හැකිය. අකාලයේ හිසකෙස් පැසීමද මෙමගින් අවම කරයි. වෙනත් ඖෂධ මඟින් ඉවත් කිරීමට නොහැකි ඉස්හොරි තත්වය මඟහරවාලීමට ද නෙල්ලි වලට හැකියාව පවති. හිසකෙස් වල වියළීම, අප්‍රාණිකබව නෙල්ලි නිසා පහසුවෙන් මඟහරවා ගත හැක. හිසකෙස් වල නීරෝගීබව ලබා ගැනීම පිණිස භාවිතා කලයුතු මුලික ද්‍රව්‍යයක් ලෙසට ආයුර්වේදයේ හඳුන්වා දි ඇත.

තෙලක් මනා ලෙස සුවඳවත් වු විට එය ආලේප කිරීමට ප්‍රිය උපදවයි.  මේ නිසා තෙල් වලට එකතු කරන තවත් ආයුර්වේද ද්‍රව්‍යයක් ලෙස සුවඳ කොට්ටන් නම් වූ ඖෂධීය ශාකය හදුන්වා දීමට හැක. ඉන්දියාවේ හිමාලය හා කාශ්මීරය ආශ්‍රිතව ඇති මෙම ශාකයේ සුගන්ධවත් මුල් මෙම තෙල් වලට එකතු කරනු ලබයි. තෙලේ සුගන්ධවත් බව මෙන්ම හිසකෙස් වර්ධනය සඳහා ද සුවඳ කොට්ටන් උපකාරී වේ.

එබැවින් හිසතෙල් සත්කාරය සඳහා ඖෂධීය තෙලක් භාවිතා කිරීමේදී එම තෙලට එක් කරනු ලබන හිසකෙස් වල නීරෝගීතාවය පිළිබඳ බලපෑම් කරන ද්‍රව්‍යය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්ය. මෙම තෙල් සත්කාරය සඳහා පොල්තෙල් වලට නෙල්ලි, සැවැන්දරා, සුවඳ කොට්ටන් වැනි ද්‍රව්‍ය සේම නිල් අවරිය, කීකිරිඳිය වැනි ඖෂධ එකතු කිරීමද ඉතා වැදගත්ය.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here