සතුටින් දිවිගෙවන්න සැමියාගෙන් ලැබුණු වටින කියන උපදෙස් 11

වයසින් මුහුකුරා යත්ම ජීවිතය පිලිබඳ යම්තාක් දුරකට දැනුවත් බවක් අපට හිමිවේ. එසේම ජීවිතය පිලිබඳ නියම ස්වභාවය ම හඳුනා ගත්තේ මගේ සැමියගෙනි.ඒ, ඔහු විසින් එක් එක් අවස්ථාවලදී එක් එක් සිද්ධීන්වලදී ලබා දුන් දැනුවත් කිරීම් නිසාමය. සැබවින්ම ඔහු බොහොම නිහඬ චරිතයකි. දහසක් දෙනා වුවද කතාබහ කරන ස්ථානයක නිහඬව තම කර්තව්‍යයේ නියැලීමට ඔහු සමත්ය. කිසිඳු විටෙක වහෙනොරෝ කතා බස් ඔහු ළඟ නැත. කියන දේ අදාළ තැනැත්තාගේ මුහුණට පවසන ඔහු, ඒ ගැන නැවත නැවත කැකැරෙමින් කාලය මිඩංගු කරන්නේද නැත. කවරෙකු හෝ යමක්  කළා යැයි, තමාද ලෝකයට පෙනෙන්නට ඒ දෙය කල යුතුයැයි යන මානසිකත්වයක් ඔහුට නැත. නොයෙක් ගැටළු හමුවේ, මානසිකව කඩා වැටෙන මට නම් මේ තත්වය සැබවින්ම ගෙනෙන්නේ ප්‍රශ්නාර්ථයකි. නමුත් වයසින් මුහුකුරායත්ම ජිවිතයට අත්දැකීම් දවසින් දවස එකතු වෙද්දී මට සිතුනේ ඔහුගේ සිත කොයි තරම් නම් නිදහස් ඇතිද කියාය. මා මේ ඔබ සමග බෙදා හදා ගන්නේ මා ඔහුගේ ජිවිතයෙන් ලද අත්දැකීම් කිහිපයකි.

  1. අනිත් මිනිස්සු කියන කරන දේවල් මත ඔයාගේ ජීවිතය හැඩගස්සවා ගන්න මහහන්සි වෙන්න එපා

තාම ගෙයක් නැද්ද? ඇයි ගෙයක් හදන්නේ නැත්තේ, දුවල විතරක් මදි, පුතෙකුත් හිටියනම් හොඳයි නේද? ඇයි බබාල ප්රියිවට් ස්කූල් එකකට දැම්මේ, කරගන්න අමාරු නැද්ද?

මේ සමාජයෙන් අප වෙත යොමුවන ගැටලුයි. එවැනි අවස්ථාවලදී මීට වසර පහ හයකට කලින් නම් මම පැහැදිලිකිරීම් සමග පිළිතුරු ලබාදීමට බැඳී සිටියේ එය මට අනිවාර්ය රාජකාරියක් ලෙස සිතා මෙනි. මෙවැනි අවස්ථාවලදී මේ පිළිබඳව සැමියා සමග පවසමින් මම මගේ දුක පිටකරගත් අතරම සෑම  මොහොතකම ඔහුගේ පිළිතුර වුයේ ”ඇයි ඔයා ඕවට උත්තර දෙන්න යන්නේ?” කියලයි. එත් එදවස මා සිතුවේ එසේ පිළිතුරු නොදී කෙසේද ලෙසයි. නමුත් අද වන විට මා වටහාගත් පරිදි අපි ඔවුනට පිළිතුරු දීමට අවශ්‍ය නැත. ඔවුන් එසේ ඇසුවා කියා එකවරම නිවසක් සැදීම කල නොහැකියි. දරුවා රජයේ පාසැලකට යැවිය නොහැකියි. දුවක් සිටින නිවසට පුතෙකු ගෙන ඒම කල නොහැකියි. මේ කිසිවක් කඩයකින් බඩුවක් මිලදී ගන්නාක් මෙන් කළ හැකි දේවල් නොවේ.

  1. කියන වචනයේ නොකී අර්ථය සොයා තැවෙන්න එපා

කෙලින් කතා කරන්න තරම් ආත්ම ශක්තියක් නැති මිනිස්සුන්ගේ කතා ඔස්සේ යන්න යන්න, අපි මානසිකව ඇද වැටෙනවා. ඔවුන් වහෙන්නොරෝ කියන බොහෝ දේහි අර්ථය සොයන්න අපි වෙහෙසෙනවා. ඔහු අසන්නේ ඒ ඇයි කියාය. කවුරුන් වුවද තමාට හොඳක් හෝ නරකක් කියනවනම් එය තේරෙන භාෂාවෙන් පැවසිය යුතු බව එහි අදහසයි. එසේ නොවන ආත්මශක්තියක් නොමැති මිනිසුන්ගේ කතාබහ අපි නිය පොත්තෙන් උඩට ගත යුතු නැත සැබවින්ම එය සත්‍යයකි. ඔහු කියන පරිදි ඒවා මේ කනෙන් අසා අනෙක් කනෙන් පිට කළ යුතුමය.

  1. දාහකගේ වැදගැම්මකට නැති අපහාස කන වකෙමින් වුවද ඇසිපිල්ලමක්වත් වැඩිපුර නොගසා ඉන්න පුරුදු වෙන්න.

ජිවිතයේ මේ ගමන්මග තුල බොහොමයක් ගැටුම්කාරී තත්වයන් පසු කර ඇති අතරම එවැනි තත්වයන් මත හඬා වැටිමට දැන් අපිට කාලයක් නොමැත. ඒ දරුවන්ගේ මෙන්ම රාජකාරි කටයුතු හේතුවෙන් කර්ය බහුල ජිවිත ගත කරන නිසාවෙනි. එක් එක් පුද්ගලයන්ගේ සිතුවිලිවලට අපේ ජිවිතවල දුක සතුට තීරණය කරන්නට ඉඩදිය යුතු නොවේ.

  1. කිසිවෙකු හෝ වෙනුවෙන් කල කැප කිරීමක් හේතුවෙන් ඔවුන් සදකලිව අප හා බැදීමකින් සිටීයැයි නොසිතන්න

මේ ජීවිතය තුල කාටත් තවත් අයෙකුගේ අවශ්‍යතාවය, සහයෝගය අත්‍යවශ්‍ය වන අවස්ථා ඕනෑ තරම් තිබේ. හිතන්න, අපි යමෙක් වෙනුවෙන් යම් කැපකිරීමක් කළා යයි කියා. ඒ කාලය තුල ඔබ සමග ඔවුන් විශාල බැඳීමකට යටත්ව සිටිය හැකියි. නමුත් ගෙවෙන හැම තත්පරයක් පසාම ඔවුන්ගේ මතකයෙන් එය කෙමෙන් මැකී යයි. සත්‍යය එයයි. ඔබ කල යුත්තේ ඔබ ඉටු කල යුතුකම් හෝ ඔබ ලබාදුන් දෙය පිළිබඳව එතනින් එහා සිහිනොකිරීමයි. නමුත් ඔබ වෙනුවෙන් යමෙක් කල කුඩා දේ වුවද හැමදාම මතකයේ රඳවා ගන්න. ඒ පුද්ගලයට ස්තුතිවන්ත වෙන්න අමතක රන්නත් එපා. ඒ වගේම  කුමන විදියේ කෙනෙක්ට වුවද කළහැකි යමක් වේ නම් ඒ ගැන දෙපාරක් හිතන්න එපා.

5. තමන්ගේ මට්ටමට සුදුසු අය සමග ගැටෙන්න.

මේ ආර්ථිකමය හෝ අධ්‍යාපනික අතින් හෝ නොව. මේ මානුෂිය අතින් පමණි. මනා ගුණදම් ඇති කිසිවෙක් කිසිදු විටක අනුවණ දේ නොකරයි. අනෙකාගේ හිත තලන්නට උත්සාහ නොකරයි. සැමවිටම තමා ගැන පමණක් නොසිතයි. එවැනි පිරිස් සමග දුක සැප බෙදා ගැනීම නුසුදුසු වන්නේ, අපේ අඩුපාඩු වලින් අපිටම ගසා දැමීමට තරම් ඔවුන් කිසිදු විටෙක නොපැකිලි වන නිසයි. හිතන්න, ඔබ ඔබේ සැමියා ගැන කුමක් හෝ පැවසුවා කියා. යම් අවස්ථාවක එය ඔබ ඉදිරියේම ඔබේ සැමියාට අපහාස කරන්නට අවස්ථාවක් කරගත හැකියි. අන්න ඒ නිසාම ඔබේ බොහෝ දේ ඔබ තුලම තියාගන්න.

  1. වැඩිහිට්යෙකුට වඳින්න, ගරුකරන්න දරුවන්ට කියල දෙන්න.

මගේ නිවසට උදවුවට එන කාන්තාව නිවසින් පිටවෙත්ම දරුවන් දණගසා වඳින ආකාරය මට බොහොම හුරුපුරුදු දසුනක්. කිසිම දවසක ඒ සඳහා මා විරුද්දතාවයක් දක්වා නැහැ. මගේ සැමියාද එසේමයි. ඔහු පවසන්නේද ”ඒ වැඩිහිටි කාන්තාවක්, ඉතින් වැන්දම මොකද වෙන්නේ” කියාය. එයා ඒදේ  ලබලා තියෙන නිසා අපේ දරුවන් ගෙන් ඒක එයාට ලැබෙනවා. අලුත් අවුරුද්දටවත් වැදුම් පිදුම් ලබන්නේ නැති කොයි තරම නම් වැඩිහිටියෝ ඇතිද? ඒ ඔවුන්ගේ වැඩිහිටියෝ කියා දුන් ආකාරයයි. කිසිවෙකුගේ වැදුම් පිදුම් බලාපොරොත්තු වෙන්න හොඳ නැ. ඒත් අපි වගේම අපේ දරුවන්ටත් ඒ පුරුදු පුරුදු කරන්න. ඒක ගෙදර අම්මගේ යුතුකමක්.

  1. පන්සල් දේවාලවල කාලය ගතකරන්න වෙහෙසෙන්න එපා

අපෙන් කාටවත් කරදරයක් නැ. දුකක් නැ. ගෙදර බුදුපිලිමෙට මල් තියලා වැන්ඳා කියලා ඒකට අගයක් නැති වෙන්නේ නැ. ඒක අපි කරන්නේ භක්තියෙන්. පින් දහම් කරන්න පන්සලටම යන්න ඕනේ කියලා හිතන්න එපා. පින් දහම් කරන්න ඕනේ තරම් දේවල් තියෙනවා. අරයා පන්සල් යනවා, මෙයා පන්සල් යනවා කියල අපිත් දුවන්න ඕනේ නැ. පන්සල් යන එක හොඳයි, ඒත් අනිවාර්ය බල කිරීමක් වගේ කොහොම හරි පන්සල් දුවන්න ඕනේ නැ. අපි ජිවත් වෙන ජීවිතය ඇතුලේ අපේ අතින් කාටවත් වරදක් වෙන්නේ ඉඩ නොතැබීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ.

  1. අපිට කොහොම සැලකුවත් ඒ ඒ පුද්ගලයා සිටින වට පිටාව ඒ තැනැත්තාගේ මානසිකත්වය පිලිබඳ සිතා කියන කරනදේට ප්‍රතිචාර දැක්වීමෙන් වලකින්න.

ඇතැම් අවස්ථාවලදී අසන්නට ලැබෙන නොයෙකුත් ආකාරයේ කතා අපේ සිත්වලට ගෙනෙන්නේ පිඩාවක්. නමුත් ඒ සියල්ල හමුවේ තර්ක කිරීම හෝ එකට එක කීම බුද්ධිමත් බවේ ලක්ෂණයක් නොවේ. ඒ ඒ පුද්ගලයාගේ, අධ්‍යාපන මට්ටම, ඒ පුද්ගලයා සතු මානුෂිය ගුණාංගවල ස්වරුපය එහෙමත් නැත්නම් ඒ පුද්ගලයාගේ පීඩනය පිටකරගැනීමට ඇති හොඳම කෙනා ඔබ විය හැකියි. ඇතැම් විට ” මම එයාට හොඳට කිව්වා” ඒ පුද්ගලයාගේ සිතුවිල්ල විය හැකියි. කෙසේ වුවද නිහඬව, ප්‍රතිචාර නොදක්වා සිටීම අත්‍යවශ්‍යය. ඒ පුද්ගලයා තමා ජයග්‍රහණය කල යැයි සිතුවද ඔහු/ඇය ඔබගේ නිහඬ ප්‍රතිචාරය හමුවේ සිතින් පරාජය වී හමාරය.

  1. ඕනෙම දරුවෙක් ගැන තමන්ගේ දරුවන් ගැන හිතන විදියටම හිතන්න.

කාගේ දරුවත් එකයි. ඒ අපේ අනාගතය. ඒ නිසාම ඕනෙම දරුවෙක්ට අම්මා වෙන්න පුළුවන් මනසක් කාන්තාවකට තියෙන්න ඕනේ. දිනන්න ඕනේ අපේ දරුවෝ විතරක් නෙවෙයි. හැම දරුවෙක්ම දිනවන්න අපිට පුළුවන්.

  1. ගෙදරට අපු කෙනෙක්ට හැකි උපරිමයෙන් සලකන්න

තමන්ට මොන දේ කලත් මොන තරම් හිත රිද්දුවත්, හින්ට් පාස් කලත් ඒ තැනැත්තා අපේ ගෙදරට ආවම ඔයා එයාලව සතුටෙන් පිළිගන්න. හැකි උපරිමයෙන් සලකන්න. එයාලා එක්ක සතුටෙන් ඉන්න. දුක සැප බෙදා ගන්න. හැකි උපරිමෙන් සංග්‍රහ කරන්න. කිසිදු අවස්ථාවක නිවසට එන අයෙක්ට දුකෙන් පිටවෙලා යන්න ඉඩ තියන්න එපා.

  1. කොටින්ම පුළුවන් තරම් පාඩුවේ ඉන්න.

තාක්ෂනය දැන් හරිම දියුණුයි. ඉතින් ලෝකයම අපේ ළඟ වගෙයි. එහෙමයි කියලා FB එකේ, viber එකේ chat දාන්න හැම කෙනෙක්ම තෝරාගන්න එපා. තමන්ම තේරුම් ගන්න වගේම මේ ක්‍රියාදාමය ගැන තියෙන නොදන්නාකම නිසාත් හිත පලුදු වීම් නොහොඳ නොක්කදඩු  වීම් ඇති වෙලා තියෙන හිතවත්කමුත් නැතිවෙන්න පුළුවන්. අන්න ඒ නිසාම හැකිතරම් පාඩුවේ ඉන්න උත්සහ කරන්න. එතකොට සම්බන්දතා හිතවත්කම් පලුදු වෙන්නේ නැහැ.

About The Author

Previous articleහිස තෙල් සත්කාරය ගැන කොතරම් දුරට දැනුවත් දැයි ඔබ දන්නවාද?
Next articleඔබ අනවශ්‍ය රෝම ඉවත් කරනවාද?
අධ්යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here