ලොවක් දකින අගේ නිරුවත කාන්තා පරපුරේම අභිමානයට කැළලක් වෙන්නේ මෙහෙමයි

0
4898

වර්තමානයේ සිදු වන දූෂණ පිලිබඳව රටක් වශයෙන්,රජයක් වශයෙන්,සමාජයක් වශයෙන් අප ගත යුතුම පියවරන් ගත යුතු කාලයක් අද අපි ගත කරමින් සිටී. ගැහැනියට අද සමාජ වටිනාකමක් සහිත පසුබිමක් ලාංකික සංස්කෘතිය තුල එම සමාජය විසින් නිර්මාණය කර දී ඇත්ද යන්න ප්‍රෙහෙලිකාවකි.අද වන විට ස්ත්‍රීයකගේ ලිංගිකත්වය සමාජය තුල ගැටලුවක් වෙමින් පැවතීම ඔබත් මමත් දන්නා පොදු රහසකි. සමාජය තුල කාන්තාවට යම් තැනක් හිමිව තිබුණද අද වන විට කාන්තාව විසින්ම එම තැන නැති කර ගැනීමට උත්සහා දරති. කෙසේ වුවද කාන්තාවක් යනු පරපුරක් බිහි කිරීමට මෙලොව සිටින වටිනා වස්තුවක් වූ නමුත් ඇතැම් කාන්තාවන්ගේ පමණක් ක්‍රියා කලාපයන් සමාජය තුල තම ගෞරවය රැක ගෙන සිටින අනෙක් කාන්තාවන්ටද තරයේ බලපෑම් එල්ල කරනු ලබයි.

අද වන විට නිරූපණ කේෂ්ත්‍රය යන නම ඉදිරියට දමා කාන්තාව තම නිරුවත ලෝකයාට පෙන්වීමට තරම් පහතට වැටී ඇත. මෙමගින් සමාජයේ වෙසෙන කුඩා දියණියගේ පටන් මහළු වියෙහි පසු වන කාන්තාවගේ ජීවිතය දක්වාම බලපෑම් එල්ල වන බව මුදල් වලට නිරුවත් වන කාන්තාව මොහොතකට වත් නොසිතන්නට ඇති. සැබවින්ම කාන්තාව සමාජය තුල භූමිකා කිහිපයක් රඟ දක්වන චරිතයක් වුවත් කාන්තාව ලෝකයා ඉදිරියේ මෙන්ම සමාජය ඉදිරියේදි ද යම් සීමාවක් තබා ගෙන සිටින චරිතයක් වුවත් අද වන විට කාන්තාවකගේ සීමාවල් ඉක්මවා යන ලෙස තවත් කාන්තාවන් කටයුතු කිරීම සැබවින්ම ඛේදජනකය. දියණියක්, සහෝදරියක්, බිරිඳක්, මවක් ලෙස සමාජයේ පැති කිහිපයක් හොබවන කාන්තාව සමාජය තුල යම් යම් සීමාවන් මත දිවි ගෙවුවද අද සමාජය තුල මුදලට කාන්තාවකගේ සියල්ල ලෝකයාටම පෙන්වීමට තරම් පහත් මානසිකත්වයෙන් යුතු කාන්තාවන් සිටීම සැබවින්ම කාන්තාවක් ලෙස ලැජ්ජාවට කරුණකි.

මාගේ මතයට අනුව ගැහැනියක් නිරුවත් විය යුත්තේ තම සැමියා ළඟ පමණි. ගැහැනිය පමණක් නොව පිරිමියාද ඇඳුම් අඳින්නේ ලැජ්ජාවට විලි වසා ගැනීම උදෙසාය.නමුත් එක් පිරිමියෙක් පමණක් දැකිය යුතු කාන්තාවකගේ නිරුවත මුදලට ලෝකයාටම පෙන්වීම මා දකින ලෙස විහිළුවකි. ගැහැනියකට හිරි ඔතප්ප පිරිමියෙකුටත් වඩා තිබිය යුතුය. නමුත් අද සමාජයේ වෙසෙන ඇතැම් ගැහැනුන් කාන්තාව යන නමටත් කැළලකි.

ඇතැම් විට ඔබ දියණියන් සිටින මවක් වෙන්න පුළුවන් , සහෝදරියන් සිටින සහෝදරයෙකු සහෝදරියක වෙන්න පුළුවන්. මොහොතක් සිතා බලන්න. ඔබ ඔබගේ නිරුවත මුදලට අලෙවි කළද යම් දිනක ඔබගේ එම ක්‍රියා කලාපය නිසාම ඔබගේ දියණියට, සහෝදරියට, මවට, බිරිඳට මානසික ආබාධ ඇති අයගෙන් පවා බලපෑම් එල්ල වීමට තිබෙන ඉඩකඩ වැඩි වෙන්න පුළුවන්. කෙනෙක්ගේ නිරුවත දැක එයට ලොල්ව තවත් ගැහැනියක් කෙලෙසීමට බලා සිටින මන්දමානසික මිනිසුන් අප සමාජයේ නැතිවාම නොවෙති. ඉතින් එයට ඉඩ දී තව තවත් සමාජයට වැරදි වලට පෙළඹවීමට ඔබත් සහාය දක්වන්නෙහිද.

සමාජය තුල කාම අපරාධ වැඩි වීමට බොහෝවිට හේතු වන්නේ කාන්තාවගේම නොමනා හැසිරීමය. කාන්තාව මුදලට තම නිරුවත ලෝකයාට පෙන්වීම කාම අපරාධකරුවන් සමාජයට දායාද කිරීමේ පළමු පියවරය.කෙසේ වෙතත් කාන්තාව තම ස්ථානය කුමක්ද යන්න නිසි අයුරින් වටහා ගෙන සමාජය තුල කාන්තාවට ඇති ගෞරවය රැකෙනා පරිදි ජීවත් වීම සිදු කල යුතුය. ඔබ ඔබගේ නිරුවත ලෝකයාට පෙන්වීම යනු පිරිමියා තුල ගැහැනියට ඇති අගය අඩු වීමට මුලික කරුණකි. ඉතින් කාන්තාවක් ලෙස ඔබත් ඔබේ ගෞරවය හා අභිමානය මුදලට පාවා නොදි උතුම් ලෙස ජීවත් වීමට වග බලා ගත යුතුය.

කාන්තාවන් ලෙස කාන්තාවක් සතු සීමාවන් හොඳින් වටහා ගෙන හොඳ මවක් ලෙස තම දරුවන්ට ආදර්ශමත් කාන්තාවක් වීමට නිරතුරුව උත්සහා දරන ලෙස හැසිරෙන්න යන්න womanly.lk  අපගේද එකම ආයාචනාවකි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here