දරුවන්ගේ මානසික ගැටලු හදුනා ගැනීම වැඩිහිටි ඔබගේ යුතුකමකි

ළමා වියේදී ඇතිවන විවිධ මානසික ගැටලු අතර හඳුනාගත යුතු බොහෝ ගැටලු දක්නට ලැබේ. වැඩිහිටියන් අතර වැළඳෙන මානසික රෝග දරුවන් අතරේ වැඩි වශයෙන් දක්නට නැති වුණද ඒවා හඳුනාගෙන ඊට අදාළ පියවර ගැනීම දරුවන්ගේ යහපත් මානසික සෞඛ්‍යයට බෙහෙවින්ම වැඩදායක ය.

සමහර දරුවන් බුද්ධිමය වශයෙන් පසුබෑමකට ලක් වේ. නොයෙක් හේතු මෙයට බලපා තිබිය හැකිය. සමහර විට මෙයට ප්‍රතිකාර තිබිය හැකි වුවද ඇතැම් විට සීමා සහිතය.කෙසේ වුවද දරුවකු වැඩීමට, කතා කිරීමට, ඇවිදීමට හා අන් අය සමඟ ආශ්‍රය කිරීමට මැළි වේ නම්, නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අතිශයින්ම වැදගත් බව සිහි තබා ගත යුතු වේ. මානසික රෝග විශේෂඥ සේවා පැවැත්වෙන ඕනෑම මහරෝග්‍ය ශාලාවකින් ළමා මානසික රෝග පිළිබඳ උපදෙස් ලබා ගත හැකිය.

තවද ඇතැම් දරුවන් පාසල් යෑමට මැලි බවක් දක්වන අතර මෙය දරුවන් අතර ඉතාම සුලබ ගැටලුවකි. මේ සඳහා නොයෙක් මානසික හේතුන් මුල් වේ. මවගෙන් වෙන්වීමට ඇති අකමැත්ත, පාසලේ දී බලපාන විවිධ අසීරුතා මෙන්ම අධ්‍යාපන කටයුතුවලට ඇති දුර්වලතා ආදිය හේතු වේ. එම හේතුව සොයා බලා හඳුනාගෙන ඊට පිළියම් යෙදිය යුතුය. ඒ වගේම පාසල් ක්‍රියාකාරකම්වලදී දරුවා දුර්වල බවක් පෙන්වයි නම්, ඒ ඇයි යන්න විමසා බලා දරුවාගේ දුර්වලතාව ඇත්තේ කිනම් විෂයයන් සඳහා ද යන්න සෙවිය යුතුය.එහෙත් දරුවාගේ බුද්ධි මට්ටම ඇගැයීමට ලක් කිරීම වඩා වැදගත් ය. උදාහරණයක් ලෙස දරුවා කියවීමට පමණක් දුර්වල නම් ඒ පිළිබඳ සැලකිලිමත් වීම අන් ඒවාට වඩා වටින්නේය.

සමහර ළමයින් කතා කිරීමේදී ‘ගොත ගසන’ බවක් පෙන්වයි. වයස අවුරුදු 5 – 6 පිරෙනවාත් සමඟම බොහෝ විට මෙය මඟ හැරී යනු ඇත. එහෙත් සමහර දරුවන් තුළ මේ තත්ත්වය දිගටම පවතී. එයට ප්‍රතිකාර වශයෙන් නිසිලෙස කතාව පුහුණු කිරීමේ විශේෂ අභ්‍යාස ක්‍රම ඇත.

එමෙන්ම සමහර දරුවන් කුඩා කළ සිටම බොරු කීම, සොරකම් කිරීම, සතුන්ට වද දීම, හිංසා කිරීම වැනි නොමනා ක්‍රියාකාරකම් වල යෙදේ. මේවා ඔවුන් වැඩිහිටියන්වූ පසුද පෞරුෂ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබයි. මේ හැසිරීම් කෙරෙහි මාපියන් දක්වන ප්‍රතිචාර මත මෙය මඟහරවා ගත හැකිය.

තවද  ළමා වියේ දී දොම්නස් බවින් යුතුව දරුවකු කාලය ගත කිරීමට විවිධ හේතු බලපෑ හැකිය. මවගෙන් වෙන්වීම, පවුලේ අසමගිය, අපචාරයන්ට ලක්වීම ආදිය හේතු තිබිය හැකිය. අලස ගතිය හා නින්ද නොයෑම, ආහාර ප්‍රිය නොවීම, සෙල්ලම් කිරීමට අකමැති වීම, ආදී රෝග ලක්ෂණ ද පෙන්නුම් කරයි. මේ නිසා බොහෝ විට දරුවන්ගේ අධ්‍යාපනය දුර්වල වීම, කඩාකප්පල් වීම ආදිය ඇතිවන ශෝචනීය ප්‍රතිඵලය.

තවද, දරුවකු වයස අවුරුදු 5 ඉක්මවූ පසුවද මුත්‍රා පහවීම සිදුවේ නම් එය කායික රෝගයක්ද යන්න නිශ්චිත වශයෙන්ම සොයා බැලිය යුතු වේ. එසේ නොවේ නම් ඒ සඳහා විශේෂිත ක්‍රම අනුගමනය කළ හැකිය. නිතර නිතර දරුවන් නින්දෙන් භිය වී අවදි වීමද දරුවන්ට ඇති තවත් ගැටලුවක් විය හැකිය. එම නිසා නිතර නිතර දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන දෙමාපියන් ලෙස ඔබ සොයා බැලීම අත්‍යවශ්‍යමය.

මේ ආකාරයට තම දරුවකු හට කිසියම් වූ අසාමාන්‍ය මානසික ගැටලුවක් ඇතැයි සැකයක් ඇත්නම් වෛද්‍යවරයකුගේ උපදෙස් පැතීම වඩාත් යෝග්‍ය ක්‍රමයයි. එවිට අවශ්‍ය නම් විශේෂඥ සේවා පැවැත්වෙන සායනයක් වෙත ද යොමු කෙරෙනු ඇත.

දරුවකු වැඩිහිටි වූ පසු ඔහුගේ ඇයගේ පෞරුෂත්වය රඳා පවතින්නේ කුඩා වියේ දී ලබන අත්දැකීම් මතය. එම නිසා දරුවන් කෙරෙහි මෙවැනි ගැටලුවකදී වඩාත් සංවේදීව කටයුතු කිරීම වැඩිහිටියන්ගේ යුතුකමක්ද වන්නේය

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
මේ මල්ෂි. පරිගණක ඩිප්ලෝමාධාරිණියක් වන ඇය ප්‍රධාන පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක දැනට පරිගණක උපදේශකවරියක් ලෙස කටයුතු කරන අතර පුවත්පත් මාධ්‍යවේදිනියක් ලෙසට ක්‍රියා කරනවා. සියලුම අංශ ආවරණය වන පරිදි රසවත් ලිපි ඇයගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

NO COMMENTS

LEAVE A REPLY