සමාජයට අනුව කාන්තාව රැකියාවක් කිරීම තම පවුල් දිවියට පටහැනිද ?

0
9517
working_woman

කාන්තාව කියන්නෙ ඉතින්, සමාජෙ ජීවත් වෙන මිනිස්සු අතර නිතර අවදානයට ලක්  වෙන කෙනෙක්නෙ..මේ නිසාම විවිධ චෝදනා වලට ලක්වීම, දෝෂාරෝපණයට ලක්වීම, තාඩන පීඩන වලට ලක්වීම ,නින්දාවට පත්වන කෙනෙක්.

ඒ වගේම ඈත අතීතයේ ඉඳන්ම කාන්තාව, එහෙමත් නැත්තම් ගැහැනිය මුල් කරගෙන විවිධ දේවල් නිම වෙලා තියෙනවා. කලා නිර්මාණ බොහෝමයක් පාසා කාන්තාවගේ මූලිකත්වය මත ,කාන්තාව මුල් කරගෙන නිම වෙලා තියෙනවා. කවි කතාන්දර වගේම විවිධ ආප්තෝපදේශ පවා කාන්තාවන් වෙනුවෙන් කියැවිලා තියෙනවා.. මේ විදියට කාන්තාව මේ අපේ රටේ, මේ සමාජය ඇතුලේ විවිධ භූමිකා තුළින් ඉස්මතුවෙලා තියෙනවා. අදටත් එය එසේමයි.

කොහොම නමුත් මොන මතය ඉදිරිපත් වුනත්, තමන්ගෙ පවුල රැකගන්න, දරුවන්ට සැපවත් ජීවිතයක් ලබා දෙන්න, ජීවිතේ ගෙවන්න තමන්ගෙ සැමියාට හයියක් වෙන්න, මේ වගේ නානාවිධ හේතු මත කාන්තාවෝ රැකියා කරන්න පෙළඹෙනවා . අතීතයේ ඉඳන් අපේ කාන්තාවෝ තමන්ගේ ජීවන වෘතිකාව විදියට, එහෙම නැත්තම් තමන්ගෙ පවුලේ සුගතිය වෙනුවෙන් විවිධ දේවල් කර තිබෙනවා. මුදල් ඉපැයීම වෙනුවෙන් ඔවුන් පැදුරු විව්වා, ලණු ඇඹරුවා, ගොයම් කපන්න, එළවළු විකුණන්න, කිරි විකුණන්න,  ආදි නොයෙකුත් දේවල් කලා. ගමේ ලොකු වලව් වල වැඩ කරන්න, කෑම බීම වර්ග හදන්න  අපේ කාන්තාවෝ අතීතයේ සිටන්ම පුරුදු වෙලා හිටියා.

අතීතයේ.. ඒත් අද වෙද්දි ලෝකෙ හුඟාක් දියුණු වෙලා තිබෙනවා.මිනිස්සුන්ගෙ සමාජ ක්‍රමේ නොයෙකුත් වෙනස්කම් වෙලා තියෙනවා. අධ්‍යාපන ක්‍රමය, ජීවන රටාව බොහෝ සෙයින් දියුණුවට පත් වෙලා තියෙනවා. මේ නිසා එදාට වඩා අද තත්වය වෙනස් වෙලා තියෙනවා. අද සමාජයේ පිරිමි ළමුන් මෙන්ම සමව ගෑනු ළමුනුත් අධ්‍යාපනය අතින් ඉදිරියටම යන අතරම, දෙපාර්ශවයම රැකියා ඉලක්ක කරගෙනම ඉගැනීමට පුරුදු වී තියෙනවා. යම්තාක් දුරට ස්වාධීන වෙන්න උත්සාහ කිරීමත් මෙයට හේතුවක් වෙන්න පුළුවන්.රජයේ ආයතන වල, පෞද්ගලික ආයතන වල, කර්මාන්තශාලා වල ආදී ,බොහෝ රැකියා ස්ථාන වල කාන්තා පාර්ශවයේ සහභාගීත්වයක් දැකගන්න පුළුවන්. උගත්කම අතින් ඉදිරියට යන්න උත්සාහ කරන වත්මන් කාන්තාව රැකියාව ලෙසත් උසස් ආයතන ,සමාගම් වල සේවයට පෙළඹිලා තියෙනවා.

ඒත් වර්තමානෙ සමහරුන්ගෙ මතයක් තමයි, කාන්තාවක් රැකියාවක් කිරීම පවුල් සංස්ථාව බිඳවැටෙන්න, දරුවන්ගෙ සෞඛ්‍ය තත්වය, අධ්‍යාපනික මට්ටම,සමාජීය සම්බන්ධතා ආදිය දුර්වල වෙන්න හේතුවක් කියන මතය.

ඇත්තටම ගෙදරක අම්මා රැකියාවකට යනවානම්, දරුවන්ට ඉටුවෙන්න ඕනෙ සමහර යුතුකම් පැහැර හැරෙන්න ඉඩ තියෙනවා. නමුත් එයින් දරුවන් තමන්ගෙ වැඩ කටයුතු තමන් තනිව කරගන්න හැකියාව වර්ධනය කරගැනීමත් සිදුවෙනවා.හැම දේකම දෙපැත්තක් තිබෙන නිසා, මමනම් හිතන්නෙ හොද නරක දෙකම මෙයින් සිදුවෙනවා කියන දෙයයි. නමුත් දරුවෙක්ට අම්ම කෙනෙක්ගෙ රැකවරණය උණුසුම ආදරය ඕනෑම අවදියකදි , අම්මා දරුවන්ගෙන් ඈත් වෙලා සල්ලි හොයන්න අරගල කරන එකනම් ටිකක් අර්බුධකාරී තමා. නමුත් වෙන විකල්පයක් නොමැතිනම් සියළුම දේ දරුවන්ගෙ අනාගත අභිවෘද්ධිය තකා නම්, එතනදි එය සාධාරණය කරන්නත් පුළුවන් නේද?

සමහර ස්වාමිපුරුෂයා අහිමි වුනු ,දරුවන් එක්ක මේ ලෝකෙ තනිවුනු කාන්තාවන්ට වෙනත් පිළිසරණක් නැති තැන ඔවුන් රට රැකියාවක් තෝරගන්න පෙළඹෙන්න පුළුවන්. දරුවන්ට උගන්වන්න, වේලක් නෑර බත් කටක් කවන්න ඔවුන්ගෙ ඒ දහඩිය මහ්න්සියෙන් උපයන සල්ලි වලට පුළුවන්. කන්ද උඩරට වතුකර ජනතාවට වේලක් ඇර වේලක් බඩ පුරවගන්න නම් , අම්මායි තාත්තායි දෙන්නා විතරක් නෙවෙයි, දරුවන්ටත් වතු වල වැඩ කරන්න වෙන අවස්ථා ඇති. බොහොමයක් දුෂ්කර පළාත්වල වැඩිදුර ඉගනත්තෙ නැති, පහසුකම් නැති දුප්පත් පවුල්වල  ගෑනු ළමයි ගාමන්ට් වල රැකියා හොයාගෙන කොළඹ එන්නෙ ආසවට නොවෙන්න පුළුවන්.. ඉගනගන්න නංගි මල්ලිට උදව්කරන්න, අම්මා තාත්තාට වේලක් කන්න හයියක් වෙන්න ඇඳුම් මහන්න කොළඹ ආපු ගෑනු ළමයි ඕනෙ තරම් මේ රටේ ඉන්නවා.

තමන්ට, තම්න්ගෙ පවුලට, ජීවිතේට හානියක්, නරකක්, අවැඩක් නොවෙන ඕනෙම රැකියාවක් අවබෝධයෙන් ගෞරවයෙන් කරලා සල්ලි හම්බ කරන් ජීවත් වීම කාන්තාවකට අකැප දෙයක් නෙවෙයි. නමුත් කාන්තාවකට පුලුවන් නම් තම්න්ගෙ පවුල් ජීවිතය, දරුවෝ රැකගෙන,දරුවන්ගේ ස්වාමියාගෙ කටයුතු පැහැර නොහැර, සියලු දේ කළමණාකරනය කරගෙන සහයෝගයෙන් වැඩ කරන්න…..,  මම හිතන්නෙ ඒ තමා කාන්තාවකගේ ජයග්‍රහණය.

සියලුම දේ පවතින්නෙ තමන්ගෙ ක්‍රියාව මතයි. තමන් තමන්ගෙ ජීවිතේ ප්‍රතිපත්ති රැකගෙන, ගෞරවයෙන්, අවංකව කටයුතු කරන්න ඕනෙම කෙනෙක් දන්නවානම්, මම හිතන්නෙ කාන්තාවක් වුනත් , පුරුෂයෙක් වුනත්, කිසිම බේදයකින් තොරව ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here