අපි අලුත් ගෙට ගෙවදුනා …

0
14884
house_warming_couple

හිසට සෙවනක් කියන්නේ තවත් පැත්තකින් බැලුවොත් හිතට නොමද වූ අස්වැසිල්ලක්. මේ නිසාම විවාහයෙන් පසුව තමන්ගේම දරු මල්ලන් සමග දෙයියනේ කියල එකම වහලක් යට සැනසීමෙන් සිටීම කාගේත් පොදු හීනයක්. මේ හීනය මල්ඵල දකින්නේ තමන්ගේම නිවසක පදිංචිය ලැබූ දිනකයි.

අලුත් තැනක අලුත් බලාපොරාත්තු සමග පදිංචිය ලැබීම ජීවිතයේ සුවිශේෂී කඩඉමක්. ඒ සුබ මොහොත නිසා ජීවිතයටත් සුබවාදී ගමනක් ඇති විය යුතුයි. අලුත් නිවසක පදිංචිය සමග සමහර උදවිය කියන්නේ “අනේ අපිට නැති කරදර දැන් ඇති වෙලා….මේ සේරම අපේ අලුත් ගෙට ගෙවදුනාට පසුවයි..” කියල වුනත් මේ විදිහට හිතුවිලි ඇති නොවන විදිහට මානසිකව සුබවාදීව නිවසකට ගෙවදින්නේ කොහොමද… මේ ගැන අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ ජ්‍යොතිෂවේදී බෝගමුවේ ඉන්දරතන ස්වාමින්වහන්සේ….

නිවසකට ගෙවදීමට පෙරාතුව ඒ වෙනුවෙන් සුබ වේලාවක් සකස් කර ගැනීම අවශ්‍යයි. මේ සඳහා නිවසේ පදිංචිය ලබන ස්වාමිපුරුෂයා, බිරිඳ, දරුවන් යන හැම දෙනාගේම ජන්ම පත්‍ර පරීක්ෂා කරල ඒ හැම දෙනාටම ගැලපෙන සුබ මොහොතක් සකස් කර ගන්න අවශ්‍යයි.

ගෙට ගෙවදීමේදී අනුගමනය කළ යුතු වත් පිලිවෙත් අවස්ථා හතරකට වෙන් කර පෙන්විය හැකියි.

  • නිවසට ඇතුලුවීම
  • කිරි ඉතිරවීම
  • ලිපගිනි මෙලවීම
  • ඉඳුල් කිරීම

ගෙට ගෙවදින දිනට පෙරාතුව නිවස ඇතුලත වගේම , ගෙවත්ත පිරිසිදු කිරිම වැදගත්. ඒ වගේම නිවසේ ඇතුල සෝදා පිරිසිදු කරනවා. ඒ වගේම මල් පහන් පූජා කිරීමට ස්ථානයක්, ගේ මැද කිරි ඉතිරවීමට තැනක්, මුලුතැන් ගෙයි කිරි ඉතිරවීමට තැනක් සූදානම් කර ඒවා පිරිසිදු කර කහ දියර ඉසින්න. සමහර උදවිය කිරි උතුරවන්න සකස් කළ ලිපේම කිරිබතත් පිළියෙල කරනවා.

නිවස ඉදිරිපිට මල්පැලක් තැනීම

මල්පැලේ  පහන් දල්වා, තෙරුවන් වෙනුවෙන් මල්, පහන්  සුවඳ දුම් පූජා කර විෂ්නු, කතරගම, ගම්බාර, සුමන, සමන් දෙවියන්, පත්තිනි ආදි සියලු දෙවිවරුන්ට පිං පෙත් දී මෙම නව නිවසේ තමන්ට සෙත් ශාන්තිය ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා. පහන දැල්වීමට පස්තෙල්, එළගිතෙල් යොදා ගන්න.

නිවසට ඇතුලු වෙන විට රැගෙන යා යුතු දේ කිපයක් තිබෙනවා.

  • බුදුපිළිමයක්
  • සුදු මල් වට්ටියක්
  • එළකිරි කළයක් හෝ බෝතලයක්
  • වතුර පිරවූ අලුත් කළයක්
  • අළුත් මුදල් නෝට්ටු කීපයක්
  • කුල්ලක්
  • වී, සහල් , වැනි ධාන්‍ය
  • මිරිස් , කහ වැනි තුනපහ
  • පළතුරු
  • එළවළු කීපයක්පොල් ගෙඩියක් හෝ දෙකක්
  • මල්, සුවඳ දුම්
  • ලිප මෙලවීමට කපුරු පෙති සහ කිරි ඉතිරවීමට අවශ්‍ය දේ

මුලින්ම ගෙට ඇතුළු වෙන්නේ පවුලේ වාසනාවන්ත හෙවත් ලැබීම තියෙන තැනැත්තා. සමහර විට දරුවෙක් වෙන්න පුලුවනි. සුබ වේලාව සකස් කරන විට මේ ගැන කියාවි. සමහර විට රුව ලස්සන තැනැත්තාටත් මේ අවස්ථාව ලැබෙනවා. සුබ වේලාවට දොර ඇරල ඒ තැනැත්තා නිවසට ඇතුලු වෙනවා. බුදුපිලිමය , එළකිරි කළය ඔහු නිවසට රැගෙන යන්න ඕන. ඊට පසුව සෙස්සන් නිවසට ඇතුළු වෙනවා.

නිවසේ තබා ඇති බුදුපහන දල්වලා , මල් පූජා කරල සුවදදුම් අල්ලන්න

දැන් කිරි ඉතිරවීමට සකස් කරන ලද සුබ වේලාවක් අනුව කිරි උතුරවන ලිප ඒ වේලාවට නියමිත දිශාව බලා ලිප මොලවනවා. මේ වෙනුවෙන් කිසිම විදිහකට භුමිතෙල්, හෝ වෙනත් දෙයක් යොදා ගන්නේ නැහැ. හොදින් වියලා ගත් දර, සහ කපුරු පෙති වලින් ලිප ගිනි මොළවනවා. මේ වේලාවට පිරිත් සජ්ජායනා කිරීම සිද්ධ වෙනවා. කිරි ඉතිරෙන විට ප්‍රාර්ථනාවන් සිහිපත් කළ හැකියි. මේ ඉතිරෙන කිරි වගේ අපේ නිවසට සමගිය, සාමය සහ සෞභාග්‍ය්‍ය ලැබේවා කියල හැම දෙනාම ප්‍රාර්ථනා කරන්න ඕන. කිරි මුට්ටිය ඉතිරී යන විට පැඟිරි හෝ  අඹ ,කොහොඹ ඉත්තක් උතුරන කිරෙන් පොඟවා ගෙන ගෙයි ඉසින්න. මේ වේලාවටත් තමන් හිතෙන් ප්‍රාර්ථනාවන් ගොඩ නගා ගැනීම අවශ්‍යයි. අපිට සෙතත් , ශාන්තියක්ම මේ අලුත් නිවහන වෙතින් උදා වේවා කියල…

එයින් අනතුරුව මුලුතැන් ගෙයි ලිප දල්වන්න. එය සකස් කරන්නේ මුලුතැන්ගෙයි. කිරි උතුරුවන ලිප ‍නිවසේ ආලින්දයේ වැනි තෝරා ගත් තැනක. මුලුතැන්ගෙයි ලිප උතුරට හෝ නැගෙණහිරට සකස් වෙනවා. මේ ලිප දල්වා එයින් කිරිබතක් පිසින්න. පිසින ලද කිරිබතේ මුල්ම කොටස බුදුරජානන්වහන්සේට පූජා කරන්න ඕන. එයින් පසුව කිරිබත් සමග නිවසට රැගෙන ආ කැවිලි, පළතුරු තබා අලංකාර සහ වර්ණවත්ව සකස් කරන ලද ආහාර මේසය පවුලේ සියළු දෙනා එක්ව ඉඳුල් කිරීම සිද්ධ වෙනවා.

සමහර අය මේ දිනයේම හවසට ස්වාමින්වහන්සේලා වඩමවාගෙන සෙත් පිරිත් සජ්ජායනා කරනවා. ඒ අවස්ථාව එදාටම නොහැකි නම් ගෙට ගෙවැදීමෙන් පසුව තමන්ට පහසු දිනයකදී සංවිධානය කර ගැනීමට පුලුවනි.

ඒ වගේම එදා දවසේ දොර වහන්නේ නැතුව තිබුනොත් හොදයි. ගවදුන ගෙට වෙනත් බඩු බාහිරාදිය පසුව ගෙනෙන නිසා දොර නොවසා සිටින්න පුලුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here