කෑම කන්න අදිමදි කරන පුංචි පොඩිත්තන් වෙනුවෙන්ම වෙන් වුන රසම රස මෙනු එකක්

0
19027

ඇත්තටම අද ඉන්න පොඩි ළමයින්ට කෑම කවන්න අම්මලා විදින දුක නම් සුළුපටු නැහැ. මොකද දැන් ඉන්න අපේ පොඩ්ඩොන්ට බත් කනවා කියන්නෙ අපායට එක්කන් යනවා වගේ වැඩක්. කටට රසට කන්න පොඩි ළමයි හොයන්නෙ ටුවිස් කෑම ජාති නේ. ඇත්තටම එළවළු කන්න අකමැති දරුවන්ට එළවළු මිශ්‍ර කරලා පෝෂ්‍යදායි විදියට වෙනස්ම විදියෙ කෑම ජාති හදලා දෙන්න අපේ අම්මලට බැරි කමක් නෑ නේද.  වෙනස් විදියට ගුණදායක ලෙස රසට ආහාර වර්ග හදලා දුන්නොත් නම් අපේ පොඩ්ඩො එපා නොකිය බඩ පුරවා ගනියි.

ඉතින් අද womanly.lk අපේ රස කෑම අතිරේකය වෙන් වන්නේ. ඔයාලා හැමදාමත් හදන කෑමවලට පොඩි වෙනසක් එකතු කරලා මේ විදිහට කෑම පෙට්ටිය පුරවලා බලන්න. පොඩ්ඩෝ හැමදාමත් ඉල්ලාවි.

සැන්විචර්ස්

පොඩ්ඩගෙ කෑම පෙට්ටිය පාට පාටින් තියෙන කොට තමයි ලස්සන. පොඩි පැටවුන්ට කෑම කන්න ආස හිතෙන්නෙත් එතකොට.

ඉතින් අපේ අම්මලාට පුළුවන් පොඩ්ඩගෙ කෑම පෙට්ටිය පාට පාට පිරුණු සැන්ඩ්විච් වලින් පුරවලා අරින්න. ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පෙති 08 ක් පමණ

තම්බාගත් කැරට් ගෙඩියක්

තම්බාගත් බීට්රූට් ගෙඩියක්

ඉදුණු අලිගැටපේර ගෙඩියක්

සිහින්ව ලියාගත් රටලූණු ගෙඩියක්

සිහින්ව ලියාගත් අමුමිරිස් කරලක්, දෙකක්

ගම්මිරිස් ස්වල්පයක්

ලුණු රස පදමට

බටර් අවශ්‍ය ප්‍රමාණයට

දෙහි ඉස්ම ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

කුඩා භාජන තුනක් ගන්න. එයට වෙන වෙනම පොඩි කරගත් කැරට්, බීට්රූට් සහ අලිගැට පේර දමන්න.

කැරට් භාජනයටම සිහින්ව කපාගත් රටලුණු, අමුමිරිස්, ගම්මිරිස් සහ ලුණු දමා හැන්දකින් කලවම්කර පසෙකින් තියන්න. දැන් පාන් පෙති දෙකක් ගෙන එක පැත්තක බටර් ගාන්න. අනෙක් පැත්තේ කැරට් මිශ්‍රණය තියා පාන් දෙක වසා ගන්න. තවත් පෙත්තක් ගෙන එහි බීට්රූට් මිශ්‍රණය තවරා එය සකසා ගත් පාන් පෙති මතින් තබන්න. බීට්රූට් තැවරූ පාන් පෙත්ත උඩ නැවත බටර් ගාන්න. තවත් පාන් පෙත්තක් ගෙන අලිගැටපේර මිශ්‍රණය ගා වසා ගන්න.

දැන් එක උඩ එක සිටින සේ පාන් පෙති හතරක් හදලා ඉවරයි. දැන් ඒ පෙති වටේ ඇති වාට් කපාගන්න. දැන් කැමැති හැඩයකට පාන් පෙති කපා කෑම පෙට්ටියේ අසුරා ගන්න.

පේස්ට්‍රි

පේස්ට්‍රි කිව්වාමත් ඉතින් කවුද නොදන්නේ, ඒ වගේම කන්න අකැමැති කෙනකුත් නැතිතරම්. නමුත් පේස්ට්‍රි හදන්න කොච්චර වෙලාවක් යනවද? උදේ තියෙන ගෙදර යුද්ධෙත් එක්ක පේස්ට්‍රි හද හද ඉන්න පුළුවන්ද? මේවා තමයි අම්මලාට දැන් එන ලොකුම ගැටලුව.

නමුත් ඒ ගැන හිතලා කරදර වෙන්න ඕනේ කාලේ ඉවරයි. දැන් වෙනකොට වෙළෙඳපොළේ පෆ් පේස්ට්‍රි ෂීට් හදලා අලෙවි කරන්න තියෙනවා. ඉන් පැකට්ටුවක් මිලදීගෙන ගෙදරදීම අම්මලාට ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතව පෆ් පේස්ට්‍රි හදාගන්න පුළුවන්. පේස්ට්‍රි කඩවල් ගානේ ගිහින් පේස්ට්‍රි ඉල්ලලා කරදර කරන පොඩි අයට මේක හොඳ විසඳුමක් නේද?

අවශ්‍ය ද්‍රව්‍ය

පෆ් පේස්ට්‍රි ශීට් පැකැට්ටුවක්

තම්බා පොඩිකරගත් අල කෝප්පයක්

පොඩි කරගත් සැමන් කෝප්පයක්

කුඩාවට කපාගත් රටලූනු ගෙඩියක්

තළාගත් සුදුලූනු සහ ඉඟුරු ස්වල්පයක්

කුඩාවට කපාගත් තක්කාලි ගෙඩි 1/2 ක්

කුඩාවට කපාගත් අමුමිරිස් කරල් 04 ක්

රම්පෙ, කරපිංචා, එනසාල්, කුරුඳු අවශ්‍ය පමණ

මිරිස් කුඩු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ටිකක්

කහ ස්වල්පයක්

තුනපහ ස්වල්පයක්

ලුණු හා දෙහි රස අනුව

අබ ස්වල්පයක්

පොල්තෙල්

බිත්තරයක්

සාදන ක්‍රමය

පළමුව භාජනයක් ළිප තබා එයට තෙල් දමා රත් කරගන්න. තෙල් හොඳින් රත් වූ පසු අබ ස්වල්පයක් දමා පුපුරවා ගන්න. දැන් ලූනු, සුදුලූනු. කරපිංචා, රම්පෙ, කුරුඳු, එනසාල් දමන්න. මේවා දුඹුරු පැහැ ගැන්වෙන විට මිරිස්කුඩු, කහ, ගම්මිරිස්, තුනපහ, ලුණු දමාගෙන තරමක් බැදගන්න. කර කරගන්න එපා. දැන් මෙයටම අල, මාළු, තක්කාලි, අමුමිරිස් ආදියත් දමා හොඳින් කලවම් කරන්න. මෙය මඳගින්නේ විනාඩි කිහිපයක් පිසගන්න. අවසානයේ ළිපෙන් බාගෙන දෙහි ඉස්ම එක්කර ගන්න.

දැන් පෆ් පේස්ට්‍රි පැකට් එක ගෙන එක් ශීට් එකක් මැදට කලින් සාදාගත් මිශ්‍රණයෙන් ටිකක් තබාගෙන ශීට් එක කැමැති ආකාරයකට නමා ගන්න. බිත්තරය ගෙන කඩා එහි සාරු පින්සලක් ආධාරයෙන් පේස්ට්‍රියේ උඩින් හොඳින් තවරන්න. එවැනි පේස්ට්‍රි කිහිපයක් සාදාගෙන ට්‍රේ එකක් මත තබා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 20 – 25 ක් පමණ බේක් කරගන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here