අම්මාට අප්පච්චිට හදන්න බැරි මං කොහොමද එයාව හදන්නේ…. ?

0
3154
husband_and_wife

විවාහයකින්  පසුව ස්ත්‍රි පුරුෂ දෙදෙනෙක් එක වහලක් යටතේ එක්තැන් වෙන්නේ මැරෙනාතුරුම ඒ සම්බන්ධතාවයෙන් දුක සැප බෙදා හදා ගැනීමට බව අපි දන්නවා. ඒත් අද බොහෝ දෙනෙකුගේ විවාහය ඉතාම ඉක්මනින් දෙදරා ගිහින් දෙන්නා දෙපොලකට යන තැනට පත් වෙනවා. ඔවුන් ඒ ගැන නිදහසට කරුණු ඉදිරිපත් කරමින් කියන්නේ විවාහය තුළ විඳවනවාට වඩා වෙන්වීම හොඳ බවයි.මේ විඳවීම එක් එක් අයගේ දෘෂ්ටිකෝනයෙන් වෙනස්. පිටතින් අපි බලන විට ඇතැම් ගැටලු නම් ඉතාම සරල සහ පහසුවෙන් විසඳා ගත හැකි වුනත් ඔවුන් ඒවා විසඳා ගෙන ඉදිරියට යෑමට තැමැත්තක් නැහැ.

විවාහයේදී ඔබ කිසිම දිනක මගේ බිරිඳ එහෙම නැත්නම් ස්වාමිපුරුෂයාගන් තොර ලෝකයක් නැතැයි සිතුවත් කාලයක් ගෙවෙත්ම මේ තත්වය නොදැනීම ඔබේ හදවතින් ඈත් වෙනවා. ඒ තත්වය ඇති කර ගන්නෙත් ඔබ දෙදෙනා විසින් බව අමතක කරන්න එපා.

තවත් කෙනෙකුට සමාන කරන්න එපා

කිසිම දිනක ඔබ බිරිඳ හෝ ස්වාමිපුරුෂයා වෙනත් කෙනෙකුට සමාන කරන්න එපා. සමාජයේ ජීවත්වෙන ඔබට වෙනත් අය වෙතින් බොහෝ සත්ගුණ පෙනෙනු ඇත. එය ඇත්ත වුනත් ඔබේ බිරිඳ එ‍සේ නොවෙන්නේ නම් ස්වාමිපරුෂයා ඔබේ ලෝකය බව හිතන්න. අයියාගේ එහෙම නැත්නම් අල්ලපු නිවසේ , කාර්යාලයේ ඔබ ඇසුරේ සිටින අනිත් අයගේ පවුලේ සහකරුවන් අතර තිබෙන ගුණ හුවා දක්වමින් ඔබේ සහකරු අවමානයට පත් කරන්න එපා.

කසාද බඳින්න ඉද්දී මං හිතුවේ මට හොඳට සලකන කෙනෙක් ගැන වුනත් මගේ සහකාරියගෙන් ඒ කිසිම දෙයක් මට බලාපොරොත්තු වෙන්න බැහැ. මේ විදිහට ඔබ උපකල්පන ගොඩ නගා ගැනීම වැරදියි.සෑම පුද්ගලයෙක් තුලම යම් යම් අඩුපාඩු අඩු වැඩියෙන් තිබිය හැකියි. ඒ ගැන එතරම් නොසිතා ඔවුන් තුළ තිබෙන හොඳ ගැන පමණක් හිතන්න. ඒ නිසා එම අඩුපාඩු උලුප්පා දක්වමින් විවාහ සංස්ථාව අප්‍රසන්න අත්දැකීමක් බවට පත් කර ගත යුතු නැහැ.

ඔබ තුලත් වැරදි ඇති

අපි නිතරම හිතන්නේ අපි කිසිම වැරැද්දක් නොකරන බවයි. ඒත් මිනිස් ගති පැවැතුම් තුළ අපිට ඒ විදිහට ස්වයං තක්සේරු ගොඩ නගා ගැනීමට බැහැ. මේ නිසා පුංචි වැරැද්දක් ඉදිරියේ වුනත් දණ්ඩෙන් පහර ලද සර්පයෙකු සේ කිපිම අවශ්‍ය නැහැ. වැරැද්දක් පෙන්වා දුන් විට එය පිලිගන්න. එය කිසිසේත්ම ඔබට අවමානයක් නොවනු ඇත.

ආදරය අලුත් කරන්න

බොහෝ අඹු සැමියන් අතර ඇති වෙන දුරස් බවට හේතු ව දරුමල්ලන් ලැබීමෙන් පසුව පෙරදා පැවැති ලෙන්ගතු බව නැති වීමයි. බොහෝ දෙනා කියන්නේ කසාද බඳින්න ඉස්සර හිටපු එක්කෙනාද මේ කියල ඇත්තටම තේරුම් ගැනීම පවා අපහසු බවයි. ඒත් ඔබ එසේ වෙනස් විය යුතු නැහැ. පවුල් බර කරට ගැනීමට වඩා සමීපව කටයුතු කිරීම ඉතාම වැදගත්.කාර්ය බහුල බව ඇත්ත වුනත් එය ලෙන්ගතුබව අඩුවීමට බාධාවක් නොවේ.

සීමාවන් අවශ්‍යයි

පවුලක් වුනොත් ඒ තුල යම් යම් සීමාවන් හෙවත් ස්වයං විනයක් අවශ්‍යයි. පවුලක ගැහැනිය පිරිමියා විය යුතු නැත. ඒ වගේම පිරිමින් විසින් අනවශ්‍ය විදිහට අණසක පැතිරීමද එතරම් සුදුසු නැත. පවුලක “මම” කියා නොව ජීවත්විය යුත්තේ “අපි” යන සංකල්පයයි. සැමියා නොවිමසා කිසිවක් කිරීම අනුමත කළ නොහැක. අඹු සැමියන් ලෙසින් ඔබ දෙදෙනා අතර කිසියම් සාකාච්ඡා මාර්ගයක් තිබීම ඉතා වැදගත්ය. දෙදෙනා ගමන් කළ යුත්තේ එකම මාර්ගයක මිස දෙපැත්තකට යන ගමනක් පවුලක් ලෙසින් එතැම් සුබවාදී නැත.

නම්‍යශීලි වෙන්න

විවාහයෙන් පසුව ඔබ තුළ කිසියම් නම්‍යශීලිත්වයක් තිබීම ඉතාම වැදගත් වේ. අම්මා , අප්පච්චිටත් හදන්න බැරි මම ඔහු / ඇයට කෙසේවත් හදන්න නම් බැරිය යන සංකල්පයේ සිටිය යුතු නැත. පුද්ගලයෙක් දෙවැනි වරට උපදින්නේ විවාහයෙන්ය. මේ නිසා අම්මා , අප්පච්චි සමග ගෙවන ලද ජීවිතයේ අඩුපාඩු වුනත් විවාහයෙන් පසුව නිවරැදි කර ගැනීම අගෞරවයක් නොවේ.

බත්හැලිය ඉදෙන තෙක් වත් අමනාප තබා ගන්න එපා

ඉස්සර කාලයේ කථාවට වුනත් කිව්වේ දෙන්නා දෙමහල්ලන්ගේ ගැටුම් බත් හැලිය ඉදෙන විට අවසාන බවයි. ඒත් අද ඒ තත්වයට වඩා ගැටුම් දුරදිග යන අන්දම අපේ අත්දැකීම් මගින්ම පැහැදිලි වේ. පුංචි සිදුවීම පවා කෙළවර වෙන්නේ උසාවියෙන් එසේත් නැත්නම් දික්කාසාදයෙන්. ඇත්තටම මේ තරම් දුරදිග යන ගැටුමක් එතැන නැතැත් පුංචි සිද්ධිය වටා එකතු වෙන අතුරු සිදුවීම් පාදක කර ගෙන මේ ගැන විවිධ පැතිකඩ ඔස්සේ සිතීම බොහෝ ප්‍රශ්න දුරදිග යෑමට හේතු වෙනු ඇත. පුංචි පුංචි මත ගැටුම් ඇති නොවන පවුලක් නැත .මේ හැම ගැටුමක්ම එතැනින් අවසාන කරන්න. එවිට ඔබේ පවුල් ජීවිතය තුළ සැමදා ආදරයෙන් සිටීම එතරම් අපහසු නැත.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here