ඔබේ වයස පෙන්වන කැඩපත මුහුණ රැක ගන්නේ කෙසේද?

0
11665
woman-mirror

ඔබටත් ඉන්නවා ඇති මොන්ටිසෝරියේ සිටම ඔබත් එක්ක එකටම සිටි යෙහෙළියෝ. දැන් එකට ඉගෙන ගෙන ජීවිතේ එකටම ආව අය. හිතන්න තව අවුරුදු 10 ක් එපිට අනාගතය. ඔබට ඔබව දකින්න ඕනේ කොහොමද? මුහුණේ රැලි වැටිලා , සමේ තැනින් තැන මෙලනින් නිසා තද පාට ලප වැටිලා , සම එල්ලා වැටිලා සැබෑ වයසට වඩා තවත් වයස වැඩි වෙලාද ? නැත්නම් අද ඉන්න විදිහටම සුන්දර සජීවී සමක් ඇතිව සතුටින් ඉන්න ඔබවද ඔබේ මතකයට ගන්න ඕනේ? කතා දෙකක් නැහැ ඔබට ඕනේ දෙවෙනි ස්වරූපයෙන් ඔබව දකින්න. දැන් හිතන්න ඔබේ අම්මා සහ අම්මගේ යෙහෙළියෝ. එතකොට ඔබට වෙනස තේරේවි. ඇතැම් අය තරුණියෝ වගේ ලස්සනට ඉන්න තමාගේ රුව බොහොම හොඳින් රැක ගත් උදවිය. ඇතැම් අය වයසට වඩා වැහරුන මුහුණෙත් යුතු අය.

ඔබ හිතන්නේ මේ වෙනස ඇති කලේ කුමක්ද? ලස්සනට තරුණබව රැකගෙන ඉන්න අයගෙන් ඇහුවොත් ඔවුන් කියාවි ඔවුන් අනුගමනය කළ යහපත් සිරිත් ඔවුන්ගේ රුව රැක දුන්නා කියල. ඒ වගේම එම සත්කාර කිරීම් පටන් ගත්තේ තරුණ වියේ සිය්ටම බවත් ඔවුන් කියාවි. මුහුණේ පෙනුම පිරිහෙන්න කලින් ඔබ මුහුණ රක බලා ගැනීම සහ සත්කාර කිරීම පටන් ගත යුතුයි. ඔබටත් වයස ගෙවෙද්දී වෙන්න ඕනේ රූමත් මුහුණක් ඇතිව සිටීම නම් මේ දේවල් ඔබේ ජීවිතේටත් අඩු නැතිව එකතු කර ගන්න හිතට ගන්න ඕනේ.

  • මුහුණේ සමට විශේෂ සත්කාර

නිරන්තරවම සිදුවන පරිසර දූෂණය නිසා අවට දූවිලි සහ දුම පිරිලා. එවැනි පරිසරයක ජීවත් වන, බස් වල ගමන් කරමින් පැය ගණනාවක් දුමට නිරාවරණය වෙන, කාර්යාලයේ AC එකට නිරාවරණය වෙලා සම තදින් වියලීමට ලක් වෙන, විෂ සහිත ආහාර ගැනීමෙන් ශරීරයට රසායන ද්‍රව්‍ය එකතු කරන වර්තමාන තරුණියෝ අපේ අම්මලාට වඩා දෙගුණයක් වැඩි වේගෙකින් වයස් ගත වෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා තමන්ගේ මුහුණේ සියුම් සම ගැන අන් කවරදාටත් වඩා සැලකිලිමත් විය යුතු යුගයක තමා අපි දැන් ඉන්නේ.

  • නිසි ලෙස සම පිරිසිඳු කිරීම

දිනපතා සම හොඳින් කුණු දූවිලි ඉවත් වෙන විදිහට පවිත්‍ර කරන්න. ඔබේ සමට ගැලපෙන අන්දමේ ෆේස් වොෂ් ( Face Wash) එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා. තෙල් සහිත සමට ගැලපෙන නිෂ්පාදන වියලි සමට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා නිෂ්පාදන ගනිද්දී හැම විටම ඒ ගැන පරිස්සම් වෙන්න. ඔබ නිරාවරණය වෙන කුණු, දූවිලි, දුම්, පමණක් නොවේ ඔබ විසින් ආලේප කරන මේක් අප් පවා සවසට හොඳින් සෝදා ඉවත් කළ යුතුයි. නමුත් දැඩි රසායන අඩංගු සැර නිෂ්පාදන භාවිතයෙන් වලකින්න ඕනේ.

ඒ වගේම ක්ලෙන්සර් කරලා ඇරුන රෝම කූප ටෝනර් එකක් මගින් හෝ අයිස් කැටයක් ඇතිල්ලීම මගින් නැවත වසා දැමිය යුතුයි. නැත්නම් අපේක්ෂිත ප්‍රතිපලය අත් වෙන්නේ නැහැ.

මසකට වරක් සැලුන් එකකට ගිහින් ක්ලීන් අප් එකක් කර ගැනීම ගොඩක් වැදගත් වෙනවා. හමේ තිබෙන අවහිර වුන රෝම කූප යතා තත්වයට ගැනීම සහ සම ඇතුලතින් ඉතාම හොඳින් පිරිසිඳු වීමක් මේ මගින් සිදු කරනවා. හැබැයි සැලුන් එකෙන් ක්ලෙන්ස් කරලා ඉවර වුන ගමන් එළියේ ඇවිදලා දුම දූවිලි ඇරුන රෝම කූප තුලින් ඇතුලට ගන්න එපා. ඒ වෙනුවට ගේ ඇතුලට වෙලා ඉන්න.

  • සමට තෙතමනය ලබා දීම

වියලි සමක් කියන්නේ පහසුවෙන් එල්ලා වැටීමට සහ වයසට යාමට සමත් සමක්. ඒ නිසා ඔබ ඔබේ සම වියලි නම් නිතරම Moisturizing ක්‍රීම් එකක් ආලේප කරලා තෙතමනය ලබා දෙන්න. ඒ වගේම ජලය පානය කිරීම මගින් සමේ වියලි බව අඩු වෙනවා.

සම ඇතුලතින් පෝෂණය කිරීම

සතියකට දෙපාරක් වගේ මුහුණට විශේෂ සත්කාරයක් කළ හැකි නම් එය ඉතාම වැදගත්. සම ඇතුලතින් පෝෂණය කිරීම එයින් අදහස් වෙනවා. මුහුණට දමන ෆේස් මාස්ක් මගින් තමයි මෙවැනි විශේෂ සත්කාර කරන්නේ. Clay mask, peel off mask , sheet mask වගේ විවිධ වර්ග වලට අයත් මාස්ක් තිබෙනවා. ශීට් මාස්ක් වගේ වඩාත් දියුණු සහ පහසු ක්‍රම වේද මේ වන විට ලෝකය තුල තිබෙනවා. එය සම තුලට කා වැදිලා වයසට යාම පාලනය කරන තත්වෙට තාක්ෂනයෙන් දියුණු නිෂ්පාදන වෙළඳ පොලට ඇවිත්. කවර මාස්ක් එකක් ගත්තත් හැම විටම එහි ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු බව තහවුරු කර ගැනීම අපි නිතරම නිර්දේශ කරනවා.

  • රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා ප්‍රමිතියෙන් යුතු දේ පමණක් අරගන්න

මුහුණේ ගාන ක්‍රීම්, ක්ලේන්සර් , ටෝනර් වගේ දේවල් විතරක් නෙවෙයි මේක් අප් ගනිද්දීත් ඔබ හැම විටම ප්‍රමිතියක් ඇති දේ පමණක් ගන්න. ලාභය තකා බාල බඩු ගන්න සුදුසු තැනක් නොවේ ඔබේ මුහුණට ගාන ආලේපන කියන්නේ. මොකද මුහුණ කියන්නේ ඔබේ වටිනාම අංගය. බාල නිෂ්පාදන නිසා එහි ලස්සන විනාශ වුනොත් එය සිද්ධ වෙන්නේ සදහටමයි.

  • සමබර ආහාර වේලක්

ආහාර කියන්නේ ඔබේ මුහුණේ සුන්දරත්වය රකින වැදගත්ම සාධකයක්. ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ ඔබේ තරුණ බව රකින්න හේතු වෙනවා. සමේ ඇදෙන සුළු බව පවත්වා ගැනීමටත් රැලි වැටීම් වල සීඝ්‍රතාවය අවම කිරීමටත් ප්‍රති ඔක්සිකාරක හෙවත් antioxidants අඩංගු ආහාර ඉතාම වැදගත් මෙහෙයක් ඉටු කරනවා. ඔබ සිරුරට නිසි ලෙස ආහාර ලබා දී පෝෂණය නොකරනවා කියන්නේ අකාලයේ වයස් ගත වෙන්න සහ මුහුණේ සුන්දරත්වය අහිමි කර ගන්න ලොකු හේතුවක්.

  • දිනපතා ව්‍යායාම කිරීම

වයස සමග අපේ පරිවුර්තීය ක්‍රියා මන්දගාමී වෙනවා. ඒ නිසා තරබාරු වීම පහසුවෙන් සිදු වෙනවා. ඔබ දිනපතා ව්‍යායාම පිණිස ඇවිදීම වගේ දෙයක් සොයා ගන්න. ව්‍යායාම කිරීම කියන්නේ තරුණ බව රකින හොඳ ඔසුවක්. ඒ වගේම ඔබ මහත් වුනොත් එහෙම නැත්නම් රුධිරයේ සීනි මට්ටම වැඩි වුනොත් මුහුණේ සමත් ඒ එක්කම විනාශ වෙනවා.

  • හිතේ පීඩනය අවම කරන ක්‍රියාකාරකම්

හිතේ පීඩනය කියන්නේ ඔබේ මුහුණේ ලස්සන වනසන නිහඩ හේතුවක් . පීඩනයට පත් වෙන්න ඕනේ තරම් දේවල් තිබෙන පරිසරයක ජීවත් වෙන ගැහණු අපි හිත සැහැල්ලු වෙන්න සංගීතයට සවන් දීම, භාවනා කිරීම, කිසියම් කළාකාමී ක්‍රියාකාරකමක් වගේ දෙයක් පුරුදු විය යුතුයි.  හිතේ පීඩනය නිසා කොර්ටිසෝල් ( Cortisol) මට්ටම ඉහළ යද්දී ඒ මගින් සමේ සෛල ඉක්මනින්ම වයසට යවනවා. ඒ නිසා ඔබේ සිත සන්සුන් කරවන ක්‍රියාකාරකමක් සොයා ගැනීම අනිවාර්යයි. එවිට ඔබේ මුහුණේ වයස හඟවන ලක්ෂණ මතු වීම පමා වේවි.

  • ඉර අව්වට මුහුණ නිරාවරණය කිරීම

සම අකලට වයසට යවන ප්‍රධානම සාධකය වන හිරු එළියෙන් ආරක්ෂා වෙන්න වග බලා ගන්න ඕනේ. UV කිරණට ලක් වීම කියන්නේ සමේ කොලජන් විනාශ කර ගැනීමට සහ සමට හානි කර ගැනීමට හේතුවක්. සමේ තරුණ බව රැක ගන්න නම් ඉර එළියෙන් ඔබ ආරක්ෂා වීම් කළ යුතුයි. හැකි හැම විටම අවුවට යද්දී කුඩයක්, තොප්පියක් සහ අවු කණ්නාඩි පැළඳීම ඉර එළියෙන් ආරක්ෂා වෙන්න හොඳ ක්‍රමයක්. ඊට අමතරව හිරු එළියෙන් සම ආරක්ෂා කරන ක්‍රීම් එකක් අවුවට යන්න පැය භාගයකට කලින් අලේප කිරීම කරන්නත් ඔබට පුළුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here