ගැහැණු දරුවට කුඩා අවධියේ සිටම මේ දේවල් කියා දෙන්න

0
5172
mother_talking_to_child

අප දේශීය සංස්‌කෘතිය අනුව කාන්තාවන්ගේ කාර්යභාරය අතිමහත්ය. පවුලක්‌ රැකීමට මවකගේ කාර්යභාරයද ඉමහත්ය. හැම නිවසකම ආහාර පාන, දූ දරුවන්ගේ කටයුතු, සැමියාගේ වගකීම් බොහෝදුරට ඉටු කරන්නේ භාර්යාවය/මවය. කාන්තාවන් මුහුණදෙන ප්‍රධාන අභියෝගයද මෙයයි.

මෙම අභියෝගය සඳහා මුහුණදෙන ආතතිය (Stress) දරා ගැනීමට මෙන්ම අනාගතයේදී තම කුස තුළ දරුවකු වර්ධනය කර නව පරපුරක්‌ ඇති කිරීමටද කාන්තාව ජීව විද්‍යාත්මකව හැඩ ගැසී ඇත. එබැවින් එකවරම වගකීම් කිහිපයක්‌ ඉටු කිරීමට කාන්තාව දක්‌ෂ වී ඇත. ඉතාම සියුමැලි ලෙස ලොවට බිහි වන දරුවාට ගැළපෙන ලෙස සහ දරුවා තුරුළු කරගෙන උපරිම සැප පහසුව ලබාදීම සඳහා සුමට ලෙස කාන්තාවන්ගේ සිරුර පරිණාමය වී ඇත.

කාන්තාවනට විශේෂයෙන්ම සමහර ග්‍රාමීය මෙන්ම නාගරික කාන්තාව මුහුණදෙන ප්‍රධාන අභියෝගය පුරුෂාධිපත්‍ය අනවශ්‍ය ලෙස භාවිතය, කාන්තාවන් තාඩන පීඩනවලට භාජනය වීමයි. මෙය පවුලක සමගිය සහ සංවර්ධනයට බාධාවකි. බීමතින් පැමිණෙන ස්‌වාමිපුරුෂයා තමා පාලනය කරගත නොහැකි බව පෙන්වා බියකරු පරිසරයක්‌ නිවස තුළ ඇති කිරීමට ඉඩ ඇත. කාන්තාව ඒ සඳහා බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. බුද්ධිය සහ උගත්කම දෙකකි. උගත් නොවූ කාන්තාවන් බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් තම සැමියා සහ දූ දරුවන් සමඟ සාමකාමීව, සංවර්ධනය කරා යන ආකාරය අප ග්‍රාමීය මට්‌ටමෙන්ද බොහෝ සේ දැක ඇත. උගත් කාන්තාවන් තුළ මේ බුද්ධිමත් භාවය නොමැතිකමින් එම නිවස්‌ තුළ පවුල් ප්‍රශ්න බොහෝය. එයින් වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ දරුවන්ය.

තම සැමියාගේ දුර්වලතා හඳුනාගෙන ඒ සඳහා බුද්ධිමත්ව මුහුණ දිය යුතු කාන්තාව නිවසෙහි සාමයත්, දරුවන්ට සාමකාමී පරිසරයක්‌ නිවස තුළ ඇති කිරීම සිදු කළ යුතුය. බුද්ධිමත්ව කටයුතු නොකර වාද විවාදවලට කාන්තාව යැමෙන් ඇය තාඩන පීඩනවලට ලක්‌ විය හැකිය. මෙවැනි අවස්‌ථාවක කාන්තාව ඉවසීමෙන්, බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. කාන්තාවන් පොත් පත් කියවීමෙන්, ගුවන්විදුලි වැඩසටහන් සවන් දීමෙන් තම නිවසේ තිබෙන තත්ත්වයන්ට බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් අසරණ තත්ත්වයට පත් වන අවස්‌ථාවන් අවම කළ හැකිය. මව/ භාර්යාව තමන්ගේ දුර්වලතා ද හඳුනා ගෙන එය අවම කළ යුතුය.

ශ්‍රී ලාංකික කාන්තාව මැද පෙරදිග රටවල බැල – මෙහෙවර සඳහා යවා විදේශ මුදල් උපයන රටක්‌ වීම අපගේ කනගාටුවට කරුණකි. වෘත්තීය සුදුසු පුහුණු වීම් සහිතව වැදගත් ලෙස විදේශීය රැකියා කර තම පවුල දියුණු කිරීමට කටයුතු කළ හැකිය. උදාහරණයක්‌ ලෙස හෙදියන්, ළදරු හා ළමා අධ්‍යාපන ගුරුවරියන් සඳහා විදේශීය රටවල විශාල ඉල්ලුමක්‌ පවතී. එසේ වුවද තම දරුවන් කුඩාකල තනි කර දමා වෘත්තිකයකු ලෙස වුවද විදේශගත වීම තම දරුවන්ගේ, පවුලේ අනාගතය වෙනුවෙන් සිතා කළහ. එය තම දරුවන්ට සහ තරුණ සැමියාට කරන අසාධාරණයකි. දරුවාගේ ස්‌වභාවික වර්ධනය සඳහා මව දරුවන් සමඟ සිටීම අත්‍යවශ්‍යයි. මවුබස තම දරුවා ලබා ගන්නේ මවගෙනි. මවුබස යනු දරුවාගේ බුද්ධිය මෙන්ම ආචාර ධර්ම, ගුණ – ගරුක භාවය දියුණු කිරීමට තම මව විසින්ම තැබිය යුතු තවද තම සැමියා තරුණ කල ඔහුව තනිකර දමා යැමද ජීව විද්‍යාත්මක නොකළ යුතු දෙයකි. මෙමගින් ඔහු නොයෙකුත් අකටයුතු දේ සඳහා පෙළඹිය හැකිය.

මවගේ මෙම වැදගත් පදනම තම දරුවාට නොදීම සමාජයේ බොහෝ ප්‍රශ්නවලට මූලික හේතුවක්‌ වේ. මුල් වසර 10 තුළදී දරුවෙකුට මවු භාෂාව, තම රට ගැන පදනම නොදැමීමෙන් සහ දෙමාපියන් දරුවන් සමඟ එකමුතුව නොසිටීමෙන් දරුවන්ට සමාජය කෙරෙහි දැක්‌ම යහපත් නොවේ. යහපත් ගුණ – නැණ නොලැබේ. උගතුන් අතරද මුදලට ගැඹුරු බවක්‌ දක්‌වන්නේ ගුණ – නැණ කුඩා කල හරියාකාරව නොලැබීම තුළිනි.

පිටරටවල විවාහ වන අවස්‌ථාවලදී සහ දරුවන් ලැබෙන අවස්‌ථාවලදී සැමියා සහ බිරිඳ අතරද මව සහ පියාගේ වගකීම් පිළිබඳව දැනුවත් කිරීම්, පුහුණුව ලබා දේ. එමගින් සමගි පවුල් ඉදිරියට යැම බොහෝ විට සිදු වේ. අප රටෙහිද එවැනි දැනුවත් කිරීම සඳහා කාලය පැමිණ ඇත. කාන්තාවන් මෙන්ම පිරිමින්ද තම වගකීම් ඉටු කිරීමට නොකැමැතිය. විවාහ වීම සහ දරුවන් ලැබීම දෙවරක්‌ සිතිය යුතුය.

මෙම තත්ත්වය අවම කිරීමට පවුලේ මව සහ පියා එකමුතුව, මව විසින් තම පවුලේ පියාගේ කාර්යයකට අතහිත දී මෙහි නිර්භීත, ඉවසිලිමත් දැනුමකින් සන්නද්ධ විය යුතුය. එබැවින් කාන්තාවන්/ දරුවන් නිවසින්, පාසලෙන් සහ ආගමික ස්‌ථාන මගින් ශක්‌තිමත් කළ යුතුය. සියලුම ආගම් සඳහා ගරු කිරීමට පුරුදු විය යුතුය. ප්‍රධාන වශයෙන් ප්‍රාථමික අධ්‍යාපනය මේ සඳහා වැදගත් වේ. කාන්තාව සහ පුරුෂයා දෙදෙනාම සමගියෙන්, සාමකාමීව එකිනෙකා අවබෝධ කරගෙන කටයුතු කළ යුතුය. මෙය දැනුම තුළින් සහ ඉවසිලිවන්තව කළ යුතු කරුණකි. ඒ සඳහා කාන්තාව දැනුමෙන් ශක්‌තිමත් කළ යුතුය.

අපගේ ලාංකීය සංස්‌කෘතියට අනුව ගෙදර දොරේ කටයුතුවල නායකත්වය මව විසින් දරන අතර ගෙදරින් පිට මෙන්ම ආරක්‌ෂාව පිළිබඳ නායකත්වය පියා විසින්ද දරනු ලැබේ. මෙවැනි ශ්‍රම විභජනයක්‌ නොමැති විට සියලු කටයුතු අවුල් වන බවට අපට ඕනෑ තරම් අත්දැකීම් තිබේ. බටහිර සංස්‌කෘතියේද මේ සඳහා නිවැරදි උදාහරණ ඕනෑ තරම් තිබෙන නමුත් අප සමාජය එය තේරුම් ගෙන ඇත්තේ පවුලක මව සහ පියා හැමවිටම සම සමව නායකත්වය දැරිය යුතු යෑයි වැරදි අර්ථ දැක්‌වීමක්‌ සහිතවය.

තම නිවසෙහි සහ පවුලෙහි ජීවන බර දරන ගමන් තම දෙමවුපියන්, සහෝදර, සහෝදරියන්ගේ බරද ඉසිලීමට කාන්තාවන්ට බොහෝදුරට සිදු වේ. මෙය පුරුෂයනටද ඇති විය හැකි පොදු තත්ත්වයකි. මෙය අපේ සංස්‌කෘතියත් සමඟ එන්නකි. දෙමවුපියන් වයෝවෘද්ධ වූ විට නිරෝගී ජීවිතයක්‌ ගත කිරීමට මුදල් අවශ්‍යය. බටහිර රටවල මේ සඳහා රක්‌ෂණ ක්‍රමයක්‌ සෑම පුද්ගලයකුටම ඇත. සෑම දෙනාම තරුණ කල සිටම දායක වීම අත්‍යවශ්‍යය. මෙය අප රටෙහිද දැන් ඇත. ඒ සඳහා සෑම කෙනෙකුම දායක වීම අත්‍යවශ්‍ය කළ යුතුය. විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව මේ සඳහා දැනුවත් කළ යුතුය. එවිට තරුණ කාන්තාවට එම අභියෝගයෙන් පහසුවෙන්ම ජය ගත හැකිය. තම දරුවන්ට කුඩා කල සිටම හරි වැරදි සහ යුතුකම්/වගකීම් ආදර්ශවත් ලෙස පෙන්වාදී හොඳ ගතිගුණ පුරුදු කළා නම් එවැනි දරුවන්, දෙමාපියන් රැක බලා ගැනීම සිදු කරයි. කාන්තාවන් මුහුණදෙන තවත් එක්‌ අභියෝගයක්‌ නම් තනිවම ගමනක්‌ බිමනක්‌ යැමට විශේෂයෙන්ම රාත්‍රි කාලයෙහි ආරක්‌ෂක තත්ත්වයන් නොතිබීමය. පුරුෂාධිපත්‍ය කාන්තාවන්ට ගෞරව කිරීම, පිරිමි දරුවන්ගේ මනසෙහි කුඩා කල සිටම ස්‌ථාපිත කළ යුතුය. කාන්තාව සෙල්ලම් බඩුවක්‌ යෑයි නොසිතිය යුතුය. කාන්තාවද සෙල්ලම් බඩු තත්ත්වයට පත් නොවිය යුතුය. විශේෂයෙන්ම සුරූපී දියණියන්ට බුද්ධිමත් ලෙස කටයුතු කිරීමට මව අවවාද කළ යුතුය. කුඩා කල සිටම දියණියන්ට සරිලන ආකාරයට ඇඳුම් පැළඳුම් සකස්‌ කර දිය යුතුය. කාන්තාවක්‌ වශයෙන් මව විසින් තම පුත්‍රයන්ට නිවැරදි ආකල්ප ලබාදී තිබුණා නම් එවැනි පුත්‍රයන් අනික්‌ කාන්තාවන්ටද ගෞරව කරනු ඇත. දරුවාගේ ආචාර ධර්ම, හැදියාව කෙරෙහි වැඩි බලපෑමක්‌ කෙරෙනුයේ මව සහ පියාගේ ආදර්ශය තුළිනි.

වෘත්තීය කාන්තාවන්ට මුහුණදිය යුතු විශේෂ අභියෝග ඇත. එනම් කාර්යාලයේදී පුරුෂාධිපත්‍ය, අසාධාරණ ලෙස බලධාරි/ නිලධාරි මහතුන්ගේ ක්‍රියා කලාපය දැක්‌විය හැකිය. මෙය සෑම තනතුරකටම සිදු විය හැකිය. කාන්තාව ස්‌ථානෝචිත ප්‍රඥවෙන් දැනුමෙන් ශක්‌තිමත් කිරීම තුළින් මෙය අවම කර ගත හැකිය.

තම ගැහැනු දරුවා ආචාර ධර්මවලින් පිරිපුන් කිරීමද මව සතු විශාල කාර්යභාරයකි.සමාජයක්‌ ලෙස කාන්තාව ඉතා සංවේදීය. එබැවින් ඉක්‌මනින් ආවේගශීලීව ක්‍රියා කිරීමට පෙළඹේ. මෙය අප කාන්තාවන්ට තිබෙන අවාසි දායක ලක්‌ෂණයකි. මෙය ජීව විද්‍යාත්මකව කාන්තාවන්ට ලැබී ඇත. එනමුත් බොහෝ කාන්තාවන් ඉතාමත් ධෛර්යවන්තය.

කාන්තාවන් විශේෂයෙන් ග්‍රාමීය කාන්තාවන් දැනුම තුළින් ශක්‌තිමත් කිරීමෙන් ඔවුන් මුහුණදෙන අභියෝග බොහෝමයක්‌ ජය ගැනීමට හැකි වෙනවා නියතය. එබැවින් කුඩා අවධියේ සිටම ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනයට ඔවුන්ට අනාගතයේ මුහුණපෑමට ඇති අභියෝග හඳුන්වා ඒ සඳහා දැනුවත් කළ යුතුය. අධ්‍යාපනය යනු විභාග සමත් වීම පමණක්‌ නොවන බව තම දරුවන්ට දෙමවුපියන් විසින් තේරුම් කර දිය යුතු වේ. ජීවිතය යනු මුදල්ම නොවේ. ජීවිතය අවසානයේ තමන් රටට යමක්‌ කරා යන සතුට සහ සමාජයෙන් තමන්ට ගෞරවයක්‌ ලැබේ නම් එය ජීවිතයේ සාර්ථකත්වයයි.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here