රසම රස තිබ්බටු මාළුවක් හදාගන්නෙ මෙහෙමයි

0
6790
thibbatu_curry

එළවළු, පලතුරු, පලා වර්ග, අල භෝග, ඇට වර්ග ආදී බොහෝ ආහාර එකකට එකක් වෙනස් රසයන්ගෙන් යුතුයි. ඒවා ආහාරයට පිළියෙළ කරගැනීමේදී විවිධාකාර ක්‍රමවලට විවිධ රසයන්ට සකස් කර ගැනීමේ අරුම පුදුම ආහාර තාක්ෂණයක් අපට හිමියි. අපි ඒවා භාවිතයට ගැනීමට හුරුවීමෙන් නිරෝගී ජාතියක් නැවතත් අපට ඇතිකර ගැනීමට හැකියාව ලැබේවි. ගෘහණියක්වන ඔබටයි මෙහි වැඩි වගකීමක් පැවරෙන්නේ. අපෙන් ගිලිහී යන දැනුම සංරක්ෂණයකර අපේ මතු පරපුරට ලබා දිය යුතුයි.

වෙළෙඳපොලේ මිල අධික එළවළුවක් ලෙස තිබ්බටු හඳුන්වා දිය හැකියි. ගමේ අපිට නම් මේවා නොමිලයේම ලබාගන්න පුළුවන්. ගෙවත්තේ සහ අවට වටාපිටාවේ මෙම ශාකය සරුවට වැඩේ. අමුතුවෙන් මහන්සිවීමට අවශ්‍ය නොවේ. මෙම තිබ්බටු විවිධ ආකාරයෙන් සකස්කර ආහාරයට එක්කර ගැනීමට ගෘහණියන් බොහෝ දෙනෙක් දැනුවත්. මාළුව, මැල්ලුම ඔය මොන විදිහකට හැදුවත් රසවත්. එසේ රසවත් තිබ්බටු මාළුවක් හදන විදිහ මම අද කියලා දෙන්නම්.

අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:

  • තිබ්බටු ගෙඩි ග්‍රෑම් 200 ක්
  • හාල්මැස්සන් 25 ක්
  • අමු මිරිස් කරල් 5 ක්
  • රතුලූනු ගෙඩි 10 ක්
  • මිරිස් කුඩු තේ හැඳි 1 ක්
  • කහ කුඩු තේ හැඳි 1/2 ක්
  • තුනපහ කුඩු තේ හැඳි 1 ක්
  • රස අනුව ලුණු
  • සුදුලූනු බික් 4 ක්
  • අබ ඇට ස්වල්පයක්
  • රම්පෙ, කරපිංචා ටිකක්
  • පොල්තෙල් මේස හැඳි 3 ක් සපයා ගන්න

ඉන්පසු , තිබ්බටු ටික වංගෙඩියක දමා තරමක් කොටාගෙන කහට ගතිය ඉවත්වීමට සෝදා ගන්න. ඉන්පසු ඇතිලියක් ගෙන මෙම තිබ්බටු ටික, සෝදා පිරිසුදු කරගත් හැල්මැස්සන්, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු කලවම් කර තම්බාගන්න. ඉන්පසු තෙල් තාච්චියක් ළිප තබා රත් වූ පසු අබ, සුදුලූනු, රම්පෙ, කරපිංචා කපාගත් රතුලූණු සහ අමු මිරිස් එයට දමා බැදීගෙන එනවිට කලින් සකස් කරගත් තිබ්බටු ටික එයට දමා රස අනුව ලුණු ද එකතුකර තෙම්පරාදු කරගන්න. වස විස නැති ආහාරයක් ඔබේ පවුලේ අයට ලබාදෙන්න ඔබටත් හැකිවේවි. ඉහත ආකාරයට සකස් කළ තිබ්බටුවලට ගාගත් පොල් ටිකක් එකතුකර ගැනීමෙන් තිබ්බටු මැල්ලුමක් ඔබට රස විඳින්න පුළුවන්. හාල්මැස්සන් වෙනුවට කූණිස්සන් එකතුකර ගන්නත් පුළුවන්. තෙල්, පොල් එකතු කරන්නේ නැතුව මිටිකිරි යොදා තිබ්බටු මාළුව සකස්කර ගත්තත් හරිම රසවත්.

තිබ්බටු, මඤ්ඤොක්කා කොළ මැල්ලුම සමඟ කොටා මලවා ගැනීම මඟිනුත් වෙනස්ම රසයක තිබ්බටු මැල්ලුමක් ඔබට ලැබේවි. ඒ වගේම කොස් ඇට සහ තිබ්බටු එකට ව්‍යාංජනයක් ලෙස පිළියෙළ කර ගැනීම ද වෙනස්ම රසයක් ලබාගත හැකි ක්‍රමයකි. එය ද පොල් එකතු කර මැල්ලුමක් ආකාරයට සකසා ගන්නත් පුළුවන්.

තිබ්බටු වටිනා ඖෂධයක්. බොහෝ රෝගවලට ගුණ දෙනවා. විශේෂයෙන් සෙම් රෝගවලට, කැස්සට තිබ්බටු කොළ මාළුව කදිම ඔසුවක්. කැඳ හදලා පානය කරන්නත් පුළුවන්. තිබ්බටු ඇඹුලත් කැකුළු හාල් බතට එක් කරන්නේ කදිම රසයක්. එය සකස් කර ගන්නේ මෙහෙමයි. තිබ්බටු ගෙඩි අවශ්‍ය පමණ ගෙන සෝදා පිරිසුදු කරගන්න. ඉන්පසු තාච්චියක දමා ළිප තබා තරමක ගින්දර යොදා දුඹුරු පැහැ වනතුරු කාල්ගාමින් බැදගන්න. ඉන්පසු අමු මිරිස්, රතුලූනු කපා එයට ලුණු, උම්බලකඩ කුඩු, මිරිස් කුඩු ටිකක් සහ දෙහි ඇඹුල් මිශ්‍රකර හොඳින් අනාගන්න.

තිබ්බටු කොළවලින් රසවත් මැල්ලුමක් හදා ගන්නත් පුළුවන්. කැස්සට, සෙමට අපේ ගම්වල මෙය බහුලව භාවිතයට ගැනෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය පහත සඳහන් වන ලෙස සපයාගෙන ඔබත් සකස්කර රස බලන්න. දරුවන්ගේ ආහාර වේල්වලට එකතු කරන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here