හිරු එළියෙන් ඔබේ මුහුණ ආරක්ෂා කර ගන්නා ක්‍රම 5ක්

0
9739
woman-prevent-sunlight

වසර පුරාම දැඩි හිරු එලිය වැටෙන අපේ රටේ සම ආරක්ෂා කර ගන්නවා කියන්නේ සෑහෙන්න බරපතල වැඩක්. හැබැයි ඉතින් ඉර එළියේ තිබෙන විකිරණශීලී පාරජම්බල (UV) කිරණ කියන්නේ කාන්තාවන් අකලට මහලු බවට පත් කරවන ප්‍රධානම සාධකය තමයි. UV කිරණ සමේ ඇති කොලජන් විනාශ කරලා සමේ ඇති කරන දාහය මගින් සෛල වල ඇති DNA ඍනාත්මක ආකාරයෙන් වෙනස් කරවනවා කියා විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර තිබෙනවා. ඒ නිසා ඔබට හිරු රැසින් සම ආරක්ෂා කර ගන්න නම් මේ දේවල් අකුරටම පිළිපදින්න ඕනේ. මේ ක්‍රියාමාර්ග තරමක් අස්වාභාවික බව ඔබට හිතෙන්න පුළුවන්. එහෙත් ඔබේ සුන්දර සම අකාලේ වයසට යවන්නේ නැතුව හැමදාම සුන්දරව තියා ගන්න නම් මේ දේවල් කරන්නම වෙනවා.

(01) කුඩය සහ තොප්පිය අනිවාර්යයි

නිකන් බස් නැවතුමේ හිටගෙන ඉන්න ටික වුනත් , ගේ ළඟ කඩේට ගියත්, ඔෆිස් එකේ ඉඳලා ලන්ච් ගන්න එලියට ගියත් කුඩයක් හෝ තොප්පියක් ගෙනියන්න. තොප්පිය ඔබේ ඇඳුම් ආයිත්තම් වල අංගයක් කර ගන්න.  Casual සහ Official ඕනෙම විලාසිතාවකට ගැලපෙන විදිහට ඉතාම ලස්සන තොප්පි වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. මොහොතකට වුනත් ඉර එලියට නිරාවරණය වීම ඔබේ සමට නරකක් මිස හොඳක් නම් කරන්නේ නැහැ.

ඒ වගේම ජනේල හරහා එන තද ඉර එළියේ වුනත් UV කිරණ ඇති තරම් තිබෙනවා. ඒ නිසා ගෙදර පවා අවුව එන විශාල ජනේල ඇත්නම් තිර රෙදි දාල ආවරණය කරන්න. සම තමයි ඔබේ මුහුණ ලස්සන කරන ප්‍රධාන සාධකය. එම නිසා කොයිම විදිහකින් වත් දැඩි හිරු එලියට නිරාවරණය වෙන්න එපා.

(02) සන් ප්‍රොටෙක්ශන් (Sun Protection) අඩංගු ක්‍රී‍ම් එකක් ගාද්දී මුහුණේ විතරක් නෙවෙයි බෙල්ලෙත් ගාන්න

සන් ප්‍රොටෙක්ශන් අඩංගු ක්‍රී‍ම් එකක් අපේ වගේ  රටකදී ඉර එළියෙන් බේරෙන්න හොඳ ක්‍රමයක්. ඒ වගේම හොඳින් ආලේප කිරීමත් එකසේ වැදගත් වෙනවා. මුහුණේ විතරක් නොවේ බෙල්ලේ පවා ඔබ අවුවේ යද්දී ලෝබ නැතුව ආලේප කළ යුතුයි. ඒ වගේම ඔබේ සමට ගැලපෙන සන් ප්‍රොටෙක්ශන් අඩංගු ක්‍රී‍ම් එකක් ගාන එකත් වැදගත්. නැත්නම් ඉරෙන් ආරක්ෂා වීම පැත්තකට ගිහින් කුරුලෑ, තෙල් සහිත වීම වගේ අනවශ්‍ය කරදර වලට ඔබට මුහුණ දෙන්න සිදු වෙනවා.

(03) වාහනේ පදවද්දී පරිස්සමෙන්

අපි බොහෝ දෙනෙක් ඉර එලියට නිරාවරණය වෙන්නේ මෙන්න මෙතැනදී තමා. අපේ රටේ කාර් වල වීදුරු අඳුරු කරන්නත් තහනම් නෙ. ඒ නිසා කාර් එකේ යද්දි හොඳ සන් ප්‍රොටෙක්ශන් අඩංගු ක්‍රී‍ම් එකක් ආලේප කිරීම සහ අතට ඉර එලිය වැටෙන්නේ නැති වෙන්න වැලමිට දක්වා කළු අත් වැසුමක් පැළඳීම හොඳම දේ වෙනවා.

(04) ජලයේ සහ වැල්ලේ ක්‍රීඩා කරද්දී

ඔබ මුහුදු වෙරළක වගේ සෙල්ලම් කරනවා නම් නැත්නම් පිහිනීමේ යෙදෙනවා නම් ගොඩක් මුහුණ ප්‍රවේශම් කර ගන්න ඕනේ. ඉතාම හොඳ තත්වයේ Sun Screen එකක් පාවිච්චි කරන්න ඕනේ විතරක් නෙවෙයි පැයකට වරක් නැවත අලේප කරන්නත් අමතක කරන්න එපා. වතුර සහ වැල්ල මගින් හිරු එළියේ ඇති අහිතකර කිරණ පරාවර්තනය කරනවා. එම නිසා ඒ මගිනුත් ඔබේ මුහුනෙ සම පිළිස්සීමට ලක් වෙන්න පුළුවන්. අවු කණ්නාඩි යුගලයක් පැළඳීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. එය ලස්සනයි ඒ වගේම ආරක්ෂිතයි. එය 99% ක් හෝ 100% UV උරා ගන්නා විශේෂ කාච සහිත නම් ඔබේ ඇස සහ අවට සියුම් සම ඉර එළියෙන් මනාව රැක දේවි.

(05) දවස පුරාම මිනරල් පවුඩර් ( Mineral Powder ) ආලේප කිරීම

ඔබ මේක් අප් දාන කෙනෙක් නම් නිතරම අවුවට යද්දී සන් ස්ක්‍රීන් දාන එක කරන්න බැරි වැඩක්. එවැනි වෙලාවට තමා SPF අඩංගු මිනරල් පවුඩර් ගොඩක් වැදගත් වෙන්නේ. මිනරල් පවුඩර් කියන්නේ ස්වභාවික ඛනිජ ද්‍රව්‍ය වලින් යුක්තව සාදා ඇති සාමාන්‍ය පවුඩර් වලට සමාන නිෂ්පාදනයක්. සාමාන්‍ය පවුඩර් වලට ඔබේ සම පෝෂණය කිරීමට හෝ හිරු එළියෙන් ආරක්ෂා කිරීමට නොහැකියි. එම නිසා ඊළඟ සැරේ පවුඩර් මිලට ගනිද්දී මිනරල් පවුඩර් එකක් කියලම ඉල්ලන්න අමතක කරන්න එපා. එය ඔබේ අත් බෑගයේ යන හැම තැනම රැගෙන යන්න. එලියට යන විට මේක් අප් වලට උඩින් ගාන්න.

ඉර එළියෙන් විටමින් D ලැබෙනවා කියන එක ප්‍රසිද්ධ කතාවක්. නමුත් ඉර එලියට නිරාවරණය වෙද්දී අහිතකර කිරණ වලට ලක් වෙනවා. එය ඔබේ ලස්සන නැති කරනවා විතරක් නෙවෙයි සමේ පිළිකා ඇති කිරීමේ අවධානම ඉහළට ගේනවා. නිරෝගී සමක් ලබන්න විටමින් D ගොඩක් වැදගත්. ඒ නිසා විටමින් D බහුල මෝර තෙල්, සැමන්, මැකරල්, ටූනා, බිත්තර , කිරි වගේ ආහාර බහුලව ලබා ගන්න.

පරීක්ෂණ වලින් පෙන්වනවා 78% පමණ හිරු එලියට සම පලුදු වෙන්නේ ඔබ විටින් විට කරන එලියට යාම් වලින් කියා. ඔබ ඇත්තටම හිතුවට එයින් හානියක් නැහැ කියල එය එසේ වෙනවා. අකලට වයසට යාම ඔබේ සිහිනයක් නොවේ. ඔබ වයසට ගියාම ඔබේ සම කොහොමද තිබෙන්න ඕනේ කියල හිතන්න. එවිට ඔබ වටහා ගනීවි විටින් විට උනත් ඉර එලියට නිරාවරණය නොවී පරිස්සම් වීම කොතරම් වැදගත්ද කියල.


About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here