මොනවද මේ ශීට් ෆේස් මාස්ක්? ( Sheet Face Mask)

0
6024
SWA-wlk

ශීට් මාස්ක් කියන නම ලෝකයට හඳුන්වලා දීල වැඩි කාලයක් නොගියත් බොහෝ කාන්තාවෝ දැන් දැන් තමාගේ රුව රැක ගැනීමේ සත්කාර අතරට ශීට් ෆේස් මාස්ක් එකත් ( Sheet Face Mask) එකතු කරගෙන හමාරයි. මේක ෆේස් මාස්ක් එකක් කීවට සාමන්‍ය මාස්ක් එකකින් ගොඩක් වෙනස් වෙනවා. සාමාන්‍ය ෆේස් මාස්ක් එකකින් කරන්නේ සම හොඳින් පිරිසිඳු කිරීම , තෙල් ගතිය ඉවත් කිරීම සහ පැරණි සම මුහුණෙන් ඉවත් කිරීමයි. නමුත් ශීට් ෆේස් මාස්ක් එක යොදා ගන්නේ මුහුණේ සම පෝෂණය කිරීමට සහ එමගින් අවශ්‍ය ප්‍රතිපල අත් කර ගැනීමටයි. සමේ තෙතමනය රැක ගැනීම , වයසට යාම පාලනය කිරීම, සමට දිදුලන පෙනුමක් ලබා දීම, පැහැදිලි සමක් ලබා ගැනීම වගේ ගොඩක් වැදගත් ප්‍රතිපල ඒ මගින් ඔබේ මුහුණට අත්කර දෙනවා. ඒ වගේම මේ නව නිෂ්පාදනය පාවිච්චියට ගොඩක් පහසුයි. සැලුන් යන්න අවශ්‍යය නැහැ. අඩු කාලෙකින් උපරිම ප්‍රතිපල අත් කර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ලේසියි. දාල ඉවර වෙලා සාමාන්‍ය ෆේස් මාස්ක් එකක් වගේ අත් දෙක හෝදන්න කොන්ඩේ හෝදන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඒ වගේම සාම්ප්‍රධායික ෆේස් මාස්ක් වල ඇති දුර්වලතා ගොඩක් මේ මගින් මගහැරෙනවා.

මැටි මාස්ක් ( Clay Mask) සමේ තෙල් උරා ගැනීමට මැටි සහ එහි අඩංගු මූලද්‍රව්‍ය මගින් නිපදවා තිබෙනවා. පීල් ඔෆ් මාස්ක් ( Peel off Mask) මගින් තාවකාලිකව සම තද කරනවා. ඒ වගේම මුහුණේ රුධිර ගමනා ගමනය වේගවත් කරනවා. මෙය වඩා සුදුසු වෙන්නේ පරිණත වුන වියලි සමකට. ජෙල්, ප්ලාස්ටික් , වැක්ස් හෝ පැරෆින් වැනි විවිධ ප්‍රබේධ මෙහි තිබෙනවා. උණුසම් මාස්ක් ( Thermal Mask) මුහුණේ ආලේප කළ පසු ටිකෙන් ටික රත් වෙනවා. එමගින් සම මතුපිට සෛල උණුසුම් කරලා සමට නිදහසේ හුස්ම ගන්න ඉඩ සලසනවා. ක්‍රීම් මාස්ක් ( Cream Mask ) සම සුමුදු කරවා ඔබේ මුහුණේ සම නැවුම්ව තබා ගන්න උපකාර කරනවා. ස්වභාවික මාස්ක් ( Natural Mask) කියන්නේ නැවුම් එළවලු පලතුරු වලින් හදන ෆේස් මාස්ක්.

ශීට් ෆේස් මාස්ක් එක ගැන ඔබ දැණුවත්ද?

මේ අපි හදන්නේ ඔබට ඒ ගැන හඳුන්වා දීමටයි. මේ මාස්ක් එක මුහුණේ හැඩය ඇති ශීට් එකකින් නිර්මිතයි. ඒ සමගම දියරයක් වෙනම තිබෙනවා. ඒ දියරයට කියන්නේ සීරම් (Serum)  එක කියා. මේ සීරම් එකේ නොයෙක් විටමින් , ඛනිජ ලවන වගේ මුහුණේ සමට ගුණ දායක දේවල් යහමින් අඩංගු වෙලා තිබෙනවා. බොහෝ ශීට් ෆේස් මාස්ක් වල කෙරෙන්නේ සීරම් එක සහ ශීට් එක වෙනම ඔබ අතට පත් වීමයි. ඇතැම් නිෂ්පාදන වල ශීට් එක සහ සීරම් එක එකටම දාල නිෂ්පාදනය කරලත් තිබෙනවා.

ශීට් මාස්ක් එක හදන අමුද්‍රව්‍ය මොනවද?

මේ ශීට් එක කඩදාසි, තන්තු , ජෙල්, රෙදි වැනි අමුද්‍රව්‍ය වලින් හදන්න පුළුවන්. නිෂ්පාදනෙන් නිෂ්පාදනෙට මෙය වෙනස් වෙනවා. ශීට් මාස්ක් එක අනික් මාස්ක් වලින් වෙනස් වෙනවා. එය භාවිතා කිරීම් පහසුයි. එක ඇසුරුමක් පාවිච්චි කළ හැක්කේ එක වරයි. හරියට සනීපාරක්ෂක තුවායක් වගේ. දෙවන වරක් පාවිච්චි කරන්න බැහැ.

සීරම් එකට බොහෝ විට භාවිතා කරන්නේ බහුලවම ගන්නා ශාක සාර. කස්තුරි කහ, වෙනිවැල් ගැට, සඳුන් වගේ අමුද්‍රව්‍ය මේ සීරම් වලත් යොදා තිබෙනවා. එය නිෂ්පාදනයේ අරමුණෙන් අරමුණට වෙනස් වෙනවා. බැක්ටීරියා හා දිලීර අසාධනය වීමෙන් වලක්වන්න අනුමත සමට හිතකර කල්තබා ගැනීමේ කාරක සීරම් එකේ යොදා තිබෙනවා. මේ සියල්ල කෙරෙන්නේ ඔබේ සමට ආරක්ෂා කාරක ලෙසයි.

ශීට් මාස්ක් එක පාවිච්චි කරන ක්‍රමය

ශීට් එක සහ සීරම් එක ආවරණය කඩා එලියට ගන්න ඕනේ. ඉන් පසු සීරම් එක ශීට් එක මතට දමා හොඳින් සීරම් එක ශීට් එකට උරා ගන්නා තුරු තබන්න ඕනේ. ඉන් පසු එය මුහුණ මත අතුරා විනාඩි 15  හෝ 20 කින් පමණ ඉවත් කර දමන්න ඔබටත් පුළුවන්.

ශීට් මාස්ක් එකේ වාසි මොනවද?

පළමුව කීවොත් ශීට් මාස්ක් එක පාවිච්චිය ඉතාම ලේසියි. සම්ප්‍රධායික මාස්ක් එකක් දානවා කියන්නේ ඉතින් පිළියෙළ කිරීම් වලට ලොකු වෙලාවක් සහ වෙහෙසක් වැය කරන දෙයක් නෙ. කාර්ය බහුල ජීවිත ගෙවන අපිට කොහෙන්ද වෙලාවක්? එහෙම කියල නොකර ඉන්නත් බැහැනේ. කවුද කැමති ඉක්මනින්ම වයසට ගිහින් වගේ පේන්න. ඒ නිසා අපේ ජීවන රටාව එක්ක ෆේස් මාස්ක් ගොඩක් පහසු ක්‍රමයක්. අපේක්ෂිත සත්කාරය සමට කර ගන්න අතරේ එය නොකඩවා පහසුවෙන් කර ගන්නත් පුළුවන්.

සාම්ප්‍රධායික මාස්ක් එකක් කරන්න සැලුන් යන එක කොතරම් වියදම් අධික වැඩක්ද? නමුත් ශීට් මාස්ක් එක මිල අධික නැහැ. එය ලාභයි. එම නිසා පර්ස් එකටත් කිසිම බරක් නැහැ.

සාම්ප්‍රධායික මාස්ක් එකකින් නම් ඔබේ සම වියලීමට ලක් වෙනවා ඔබ දැක ඇති. නමුත් ශීට් මාස්ක් එකේ නම් එම අහිතකර බව 100% ක්ම නැහැ කියලා තහවුරු කරන්න පුළුවන්.

වෙනත් ෆේස් මාස්ක් දැමීමේදී බලාපොරොත්තු වෙන්නේ සම ගැඹුරින්ම පිරිසිඳු කිරීම , පරණ සම ගලවා ඉවත් කිරීම වගේ දේවල් වුනත් ශීට් ෆේස් මාස්ක් එක මගින් කෙරෙන්නේ සම පෝෂණය කිරීම සහ ඒ මගින් සම වයසට යාම , වියලි බව සහ පලුදු වූ සම යථා තත්වයට ගෙන ඒමයි.

ඒ විතරක්ද ඔබට ශීට් මාස්ක් එක දාගෙන ගෙදර වැඩ කරන්න, සුද්ධ පවිත්‍ර කරන්න , මිදුලේ වැඩ කරන්න ඕනෙම දෙයක් කරන්න පුළුවන්. අපේ කාර්ය බහුල ජීවිතේ එක්ක කාලය ඉතුරු වෙනවා. සැලුන් එකට සහ නිදාගෙන සිටීමට වැය කරන කාලය අපිට වෙන වැදගත් යමක් වෙනුවෙන් යොදන්න පුළුවන්.

ශීට් මාස්ක් එකේ වටිනා ප්‍රයෝජන

ශීට් මාස්ක් එකක් මගින් සීරම් එකේ ඇති සියලුම විටමින්, ඛනිජ ලවන සහ වෙනත් පෝෂක වඩා හොඳින් සමට අවශෝෂණය කරවීමට සමත්.  දියරමය නිෂ්පාදන වල ඇති දුබලතා එයින් මග හැරී යනවා. එම නිසා එය රූපලාවන්‍ය සත්කාර අතර ලෝකයේ වැඩියෙන්ම පැතිරෙන නිෂ්පාදනයක් වෙලා ඉවරයි දැනටමත්. ඇමරිකාවේ කාන්තාවන්ගෙන් බහුතරයක් ශීට් මාස්ක් එක කෙරෙහි යොමු වෙලා. ඒ විතරද ඇතැම් සුපිරි නිලියෝ පවා ඔවුන්ගේ මුහුණට ශීට් මාස්ක් යොදවලා සමාජ ජාල වලින් ඔවුන්ගේ ප්‍රේක්ෂකයෝ එක්ක බෙදා ගන්නවා.

ශීට් ෆේස් මාස්ක් එකක් පාවිච්චි කරද්දී සැලකිය යුතු දේවල්

ඇතැම් බාල නිෂ්පාදන වල සීරම් එක උරා ගැනීමටත් පෙර ශීට් එක දියවෙනවා. එම නිසා පිළිගත් සමාගමකින්  නිෂ්පාදිත ශීට් මාස්ක් එකක් හැම විටම තෝරා ගන්න ඕනේ.

ඒ එක්කම කස්තුරි කහ, කොහොඹ, වෙනිවැල් , සුදු හඳුන් වගේ ස්වභාවික දේ වලින් නිෂ්පාදිත සීරම් එකක් සතිත ෆේස් මාස්ක් ගැනීම නුවනට හුරුයි.

ශීට් මාස්ක් එකක් සතියකට වරක් හෝ දෙවරක් යෙදීම ඔබේ රූපලාවන්‍ය සත්කාර අතරට එකතු කර ගැනීම ගොඩක් වැදගත් වෙනවා. ඒ මගින් සමට අතිරේක පෝෂණ සත්කාරයක් ලබා දීමට, සම ආලෝකමත් වීමට, හිරු රශ්මියෙන් වෙන හානි අවම කර ගැනීමට වගේම සම අකලට වයසට යන ලක්ෂණ පාලනය කිරීමත් සිදු වෙනවා. කාන්තා අපි බොහෝ විට දැඩි මානසික පීඩනෙන් ඉන්නේ. ඒ වගේම අවට පරිසරය අපිරිසිඳු දුම් දූවිලි වලින් පිරිලා. මේ සේරම නිසා එදාට වඩා අපේ සම ගැන එහි පෝෂණය ගැන අපිට සැලකිල්මත් වෙන්න වෙනවා. ඒ නිසා ඔබත් ශීට් මාස්ක් සතියකට වරක් හෝ දෙවරක් යෙදීම ඉතාම හොඳ සිරිතක් වේවි. ඒ මගින් ඔබේ සමට වඩා පැහැපත් , දීප්තිමත් සුන්දර පෙනුමක් ලබා දෙන අතරේ තරුණකම හැමදාම පවත්වා ගන්නත් ලොකු පිටුවහලක් වේවි.



About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here