පවුල් අවුල් කරන සැකය නිසා ඔබගේ දිවි ගමන දෙදරා යන්නට ඉඩ තබනවාද?

0
5405
husband-and-wife

පවුල් ජීවිත ගත කරන බොහෝ දෙනෙකුගේ පවුල් අවුල් තත්ත්වයට පත්ව තිබෙනු බව අපට නොයෙක්‌ වර අසන්නට, දකින්නට කියවන්නට ලැබේ. සමහර පවුල්වල අවුල් එළිපිටම දක්‌වති. තවත් සමහරු පවුල් – අවුල් නිසා නීතියේ පිළිසරණ සොයති. තවත් සමහරු ඒවා එළිපිට නොපෙන්වා මුළු ජීවිත කාලයම සෝ තැවුලෙන් ගෙවා දමති.

මෙවැනි අවුල් වූ පවුල් දෙස බලන තනිකඩයෝ පවුල් ජීවිතයට ඇතුළුවීමට බොහෝවිට මන්දෝත්සාහී වෙති. එනිසාම ජීවිතාන්තය දක්‌වාම තනිකඩ ජීවිත ගත කරන අය ද අනන්තවත් අපට හමු වී ඇත. ඒ ඔවුන් තුළ හටගත් කලකිරීම නිසාය.

මෙලොව ජීවත්ව සිටින තාක්‌කල් එක්‌සත්ව – එක්‌සිත්ව, දුක – සැප බෙදාගෙන, පොල් අතු පැලක සම්බෝලයි – බතුයි කා හෝ එකට පවුල් කෑමට සිතූ අයගේ සිතුම් – පැතුම් විවාහයෙන් පසු නොබෝ දිනකින්ම පුස්‌සක්‌ බවට පත් කරගෙන පවුල් ජීවිත අවුල් කර ගන්නෝ අපට අනන්තවත් දක්‌නට ලැබෙයි. මහත් උත්සවශ්‍රීයෙන් මුළු ලොවටම ඇසෙන සේ මගුල් කන, මගුල් දා පිසූ කැවුම්, කොකිස්‌වල නැවුම් සුවඳ නික්‌ම යන්නටත් කලින් වෙන්වීමට නීතියේ පිළිසරණ පතන අඹු-සැමියන් ගැන අපට අසන්නට දකින්නට ලැබේ.

අවුල් අඩු පවුල් ජීවිත ගත කරන, ජිවිතයේ සැඳෑ සමයද සැනසීමෙන් – සාමයෙන්, සතුටෙන් ගතකරන අයද අද එමටවත් අප අතර දක්‌නට ඇත. පවුල් ජීවිතයේ සාර්ථක බව ගැන ඔවුන් උදම් අනන්නේ සාඩම්බරයෙනි.
විවාහ ජීවිතයට ඇතුළු වන සැමගේ එකම පැතුම, එකම බලාපොරොත්තුව – එකම අරමුණ – අවුල් නැති ලස්‌සන පවුල් ජීවිත ගත කිරීමයි. වාසනාවන්ත පවුල් ජීවිත ගත කිරීමයි. සාර්ථක පවුල් ජීවිත ගත කිරීමයි. එහෙත් ඒ පැතුම එලෙසම ඉටු නොවන පවුල් බොහෝය. අප සමාජයේ වැදගත්ම සංස්‌ථාව වන පවුල් සංස්‌ථාවට මේ සිදුවේගෙන යන වින්නැහිය ගැන අප විමසිලිමත් විය යුතුමයි.

කසාද බැන්ඳ දෙන්නෙක්‌ අතර තිබිය යුතු හොඳම දේ තමා තේරුම් ගැනීම. අෙන්‍යාaන්‍ය අවබෝධය හා විශ්වාසය, යහපත් පවුල් ජීවිතයකට ඉතාම අත්‍යවශ්‍යය. එය නොමැති තැන ආරවුල් හට ගන්නා බව කිවයුතු නැත. අෙන්‍යාaන්‍ය විශ්වාසය පළුදු වූ විට අඹු-සැමි දෙදෙනාම කටයුතු කරන්නේ “සැකය” ඇතිවයි. එනිසා පවුල් ජීවිතයේදී නොයෙකුත් ආරවුල් ඇතිවීමට මූලිකව හේතු වන්නකි දෙදෙනා අතර විශ්වාසය පළුදු වීමයි.

ඔබ ජීවිතයේ වඩාත්ම ආදරය කරන පුද්ගලයා ඔබ පිළිබඳ අවිශ්වාසයෙන් පෙළෙන බව හෝ උකුසු ඇසින් ඔබ කරන සියල්ල දෙස බලනවා යෑයි ඔබට දැනුණොත් ඔබට කුමක්‌ සිතේවිද? මෙය එකම කාසියක දෙපැත්තක්‌ මෙනි.

ඒ ආකාරයටම ඔහුගේ හෝ ඇයගේ එම සැක සංකා පිරි දෙනෙත තුළ ගැබ්ව ඇති භීතිය සහ ආදරයේ වේදනාව ඔබට වඩාත් හොඳින් හඳුනා ගැනීමට ඒ සමඟ අපහසු නොවනු ඇත.

සැකය විශ්වාසය සහ ඊට ඉලක්‌ක වන්නෝ මෙන්ම සැකය එල්ල කරන්නෝ පිළිබඳව අද අපි කතා කරමු.

මේ සෑම කෙනෙකුටම කියන්නට කතාවක්‌ තිබේ. ඔවුන් සියලු දෙනාගේම පාර්ශවයේ සිට අපි කතාව මෙන්න මේ විදිහට පටන් ගනිමු.

ඔබට වඩාත් විශ්වාසවන්ත පුද්ගලයා ඔබේ හොඳම මිතුරා, ඔබේ සැමියා, බිරිඳ නැතහොත් ආදරවන්තයා හෝ ආදරවන්තිය විය හැක. ඒ අතින් කවුරු වුවද මෙලොව ජීවත් වන ගැහැනුන් සහ පිරිමින් සියල්ලටම මෙම සැකය හෝ අවිශ්වාසය තම තමන්ගේ ජීවිතවලට කෙදිනක හෝ එබී බැලිය හැකි පොදු වූ ධර්මතාවයකි.

මෙහිදී පදනමක්‌ සහිතව මෙන්ම රහිතවද සැකය එල්ල විය හැකි අතර සොඳුරු යුග ජීවිතයට මේ ජීවිතයේ කෙදිනක හෝ එක වරක්‌ හෝ ඇතුළු වුවහොත් දෙදෙනාටම සැනසිල්ලේ ජීවත් වීමට ලැබෙන වරම් සදාකාලයටම අහිමි වන බවද කිව යුතුමය. මක්‌නිසාද යත් කොතරම් හෝ පිරිසිදු කළත් කුඩා කළ තිතක්‌ මෙන් එය ජීවිතයේ කොහේ හෝ රැඳී පවතින හෙයිනි.

පළමු අවස්‌ථාව තුළ ද අනික්‌ පාර්ශවයෙන් ප්‍රතිචාර ලෙස මෙතෙක්‌ තිබූ සබඳතාවයේ පලුදුවීම් හෝ සදාකාලිකවම සුවකළ නොහැකි තුවාලයක්‌ ලෙස කලකිරීම් ඉතුරුවන අතර දෙවැනි අවස්‌ථාවෙහිදී ඉතා බියකරු තිත්ත සත්‍යයක්‌ සොයා ගත හැකි වුවද එහි ප්‍රතිඵලය තමන් තුළ පැවති සබඳතාවයේ අවසානය විය හැකිය.

මෙම ලිපියෙහි මෙතැන් පටන් ඉස්‌මතු කරන තොරතුරු පිළිබඳ කීපවරක්‌ සිතා බලන්න. ඔබට සමීපතම ඔහු හෝ ඇය තුළින් ඔබට දැනෙන වෙනස හෝ අනාගතයේදී විඳින්නට වන අත්දැකීම් කෙබඳු වේ දැයි මේ තුළින් ඉඟියක්‌ සපයා ගන්නට ඔබට හැකිවනු ඇත. එසේම මෙය කියවන ඔබට මෙය අදාළ නොවේ නම් ඔබ ඉතා වාසනාවන්ත වන අතර එසේ නැත්නම් ඔබ මෙහිදී නියෝජනය කරන්නේ කුමන පාර්ශවයද? ඔබ තුළම ආත්ම විනිශ්චයක්‌ ගොඩනඟාගෙන ඉන් නිවැරැදි තීරණවලට ඒමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

ඔබට ජීවිතයේ කිසියම් අවස්‌ථාවකදී ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබව රවටනවා යෑයි හැඟී ගියහොත් තීරණ ගැනීමට ඉක්‌මන් නොවිය යුතු අතර වෙනදාටත් වඩා ඔහුට හෝ ඇයට තවත් සමීපව හැසිරීම් රටා පිළිබඳ ඉතා දැඩිසේ අධ්‍යයනය කොට අවශ්‍ය විටකදී රහස්‌ පරීක්‌ෂකයකුගේ තත්ත්වයේ සිට හෝ ක්‍රියා කළ යුතුය. ඒ සඳහා පහත අප විසින් පෙළගස්‌වන කරුණු ද ඔබට බෙහෙවින් ප්‍රයෝජනයට ගත හැකි වනු ඇත.

සමාජයේ ජීවත්වන බොහොමයක්‌ දෙනා එක සමාන අයවළුන් නොවන බවද අප වටහාගත යුතුය. අප අතර ජීවත් වන අතළොස්‌සක්‌ දෙනා තම හැඟීම් සඟවාගෙන ජීවත් වන්නටද උත්සාහ කරන්නන් විය හැකිවාක්‌ මෙන්ම, කිසිවකුත් සමග සිය අදහස්‌ හෝ ආකල්ප බෙදා හදාගන්නට මැළි විය හැක. එසේම ඉහත කරුණු ඔස්‌සේ තම සමීපතමයාගේ වෙනස්‌කම් නිරීක්‌ෂණය කරන ඔබ සාමාන්‍යයෙන් ඔහුගේ දින චරියාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු අතර, ඒ පිළිබඳ මනා වැටහීමකින් සිටිය යුතුය. මක්‌නිසාද යත් නිරන්තරවම ඡේත්තුවට හැඳ පැළඳ සමාජශීලී ලෙස ජීවත් වන සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ ඔබට සිටිනවා නම් ඒ පිළිබදව ඔබට අනියත සැකයක්‌ උපදවා ගතහැකි වීම අසාධාරණ විය හැකි නිසාවෙනි.

ඒ අනුව අපට සැකයේ වාසියේ පිහිට පතන්නට සිදු වන්නේ අතිශයම සාධාරණ හේතු මෙන්ම එවන් සාධක කිහිපයක්‌ එකතු වුවහොත් පමණි. නැතහොත් නිවැරදි පුද්ගලයන් වෙත චෝදනා එල්ලකිරීමේ හේතුව නිසා පවුල් ජීවිතය ඉතා අවාසනාවන්ත අවස්‌ථාවකට ඇද දමන්නට උත්සාහ ගන්නේ ඔබම විය හැක.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here