මදුරුවාට වඩා මදුරු විකර්ශකවල ඇති රසායනයන්ට ඔබ බිය විය යුත්තේ මේ නිසයි

0
3612
mother-care-her-child

මිනිසාගේ එදිනෙදා පැවැත්මේ වැරදි ක්‍රියාවන් හේතුවෙන් අද වන විට බොහොමයක් බෝ වෙන ලෙඩ රෝග රට පුරා පැතිරෙනවා. ඒ අතරින් වැසි සමයත් එක්ක නැවතත් හිස එස වූ ඩෙංගු රෝගය පිළිබඳව කොයි කවුරුත් ඉන්නේ විස්තර කළ නොහැකි ආකාරයේ බියකිනි. මේ අතරින් පුංචි දරුවෝ ඉන්න අම්මලා කොයි විදියකින් හරි දරුවන්ව මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න වෙහෙස වෙනවා.

අද වන විට එක් පිරිසක් මදුරුවන් බෝවීම වලක්වා ගැනීම වෙනුවෙන් කොපමණ සැලකිලිමත් වුවද වෙහෙස වුවද සුළුතරයකගේ නොසැලකිලිමත්කම, අනවබෝධය හේතුවෙන් මදුරුවන් බෝවීම සීග්‍රයෙන් සිදුවෙනවා. මෙසේ සීග්‍රයෙන් වර්ධනය වන මදුරු ගැටලුව සඳහා ඊළගට යොමු වන පියවර වන්නේ මදුරු විකර්ශකයන් භාවිත කිරීමයි. බොහොමයක් මදුරු විකර්ෂක වර්ග සකසා ඇත්තේ නොයෙකුත් රසායනිකයන් අන්තර්ගත කරමින් බව ඇතැම් දෙමාපියන් නොදනී. තම වටපිටාව පිරිසිදුව තබා ගනිමින් ස්වභාවික ක්‍රම යොදා ගනිමින් මදුරුවන් පලවා හරිනවා වෙනුවට ඔවුන් මෙම ක්ෂණික ආලේපන මෙන්ම ඉසින වර්ග (Spray) යොදා ගනිමින් මදුරුවන් තම දරුවන් වෙත ළඟාවීම වළක්වයි. ඒ මදුරු විකර්ෂකවල අන්තර්ගත ඇතැම් භයානක රසායන ද්‍රව්‍ය පිළිබඳව ඇති නොදැනුවත්කම නිසාමය. ඒ පිළිබඳව මව්වරුන් දැනුවත් නම් ඩෙංගු මදුරුවාට වඩා ඔබ බිය වන්නේ අහිතකර රසායන අන්තර්ගත මෙවැනි මදුරු විකර්ෂක වර්ග භාවිතයටයි.

මදුරු විකර්ශකවල අන්තර්ගත DEET රසායනය සහ එමගින් ඇති විය හැකි බලපෑම්

අද වන විට බොහොමයක් මදුරු විකර්ෂක සඳහා භාවිත වන DEET නම් වූ රසායනය දෙවන ලෝක යුධ සමයේ නිපද වූ රසායනයක් ලෙසට අන්තර්ජාල තොරතුරුවල සඳහන් වේ. එය 1975 වසරේදී පාරිභෝගිකයින්ට ලබා ගත හැකි පළිබෝධනාශකයක් ලෙස ලියාපදිංචි වී ඇති අතරම එතැන් පටන් යම් යම් නිෂ්පාදන සඳහා එය භාවිත කිරීම ආරම්භ වී ඇත.

DEET ඔබේ දරුවාට හානිකර විය හැකිද?

බොහොමයක් රසායන ද්‍රව්‍ය වෙත දිගු කාලයක් තිස්සේ නිරාවරණය වීම දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද එතරම් සුදුසු තත්ත්වයක් නොවේ. DEET රසායනයට දිගු කාලයක් තිස්සේ නිරාවරණය වීම දරුවෙකුගේ මොළයේ වර්ධනය බාල කරවීමට හේතුවක් විය හැකි බව අන්තර්ජාල තොරතුරුවලට අනුව වාර්තා වේ. එසේම මෙම රසායනය දරුවාගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරවිය හැකිය. කැනඩාවේ ෆෙඩරල් දෙපාර්තමේන්තුව පවසන ආකාරයට වයස අවුරුදු හයට අඩු දරුවන් සඳහා කිසිසේත්ම DEET අන්තර්ගත මදුරු විකර්ෂක ආලේපන භාවිත නොකළ යුතුයි. එසේම වයස අවුරුදු 10ට වැඩි දරුවෙකුට වුදද DEET රසායනය අන්තර්ගත මදුරු විකර්ෂක යෙදීම නුසුදුසු බව එහි වැඩි දුරටත් සඳහන් කරයි.

DEET රසායනය සහිත මදුරු විකර්ෂක භාවිතයෙන් ඇතැම් අවස්ථාවලදී ඇස්/සම මත රත් පැහැ වීම්, ඉදිමීම් මෙන්ම වෙනත් ආකාරයේ නොයෙක් ආසාධන, අතුරු ආබාධ තත්ත්ව ලෙස ඇති විය හැකිය.

උතුරු කැරොලිනාවේ ඩියුක් විශ්ව විද්‍යාලය (North Carolina’s Duke University) DEET රසායනය සතුන් මත යොදා සිදු කළ පර්යේෂණ මගින් DNA වලට හානි පැමිණ විය හැකි රසායනයක් බවද ප්‍රංශයේ සංවර්ධන පර්යේෂණ ආයතනයේ (Institute of Development Research in France) 2008 වාර්තාවට අනුව DEET යනු ස්නායු පද්ධතියට හානි පැමිණ විය හැකි රසායනයක් බවත් සඳහන් වේ. ඊට අමතරව DEET රසායනයට නිරාවරණය වීමෙන් මාංශ පේශි/හන්දි වේදනාව, මදසරුබව, දුර්වල බව, ආතතිය, කම්පනය, හිසරදය, අමතක වීම, හුස්ම ගැනීමේ අපහසුතා, ඔක්කාරය වැනි අතුරු අබාධ තත්ත්වයන් ඇති විය හැකි බවයි.

දරුවන් වෙනුවෙන් මදුරු විකර්ෂක භාවිත කිරීමේදී සැලකිය යුතු කරුණු :

  • මදුරු විකර්ෂක තෝරා ගැනීමේදී එහි අන්තර්ගත ද්‍රව්‍ය මොනවාදැයි සැලකිලිමත් වෙන්න
  • DEET වැනි රසායනිකයන් අන්තර්ගත මදුරු විකර්ෂක වර්ග තෝරාගැනීමෙන් වලකින්න
  • මදුරු විකර්ෂක බෝතල් කුඩා දරුවන්ගේ අත නොගැටෙන ආකාරයෙන් තබන්නට සැලකිලිමත් වෙන්න
  • වයස අවුරුදු හයට අඩු දරුවන්ගේ සම මත කිසිදු විටෙක කිසිදු මදුරු විකර්ෂක වර්ගයක් ආලේප කිරීමෙන් වලකින්න. අවශ්‍යම නම් ඇඳුමේ පමණක් තැවරීමට සැලකිලිමත් වෙන්න
  • එක් මදුරු විකර්ෂක වර්ගයක් එක දිගට එකම මාත්‍රාවකින් භාවිත කිරීමෙන් මදුරුවන් එයට අනුවර්තනය වන නිසා ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න
  • වමනය, කරකැවිල්ල, ඔක්කාරය, හුස්ම ගැනීමේ අපහසුතා හෝ වෙනත් අතුරු ආබාධ තත්ත්වයක් ඇති වුව හොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න
  • මදුරු විකර්ෂක වර්ගයක් තෝරාගැනීමේදී විශ්වසනීය වෙළඳ නාමයකින් පැවත එන ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය, ඉන්දියාවේ මුම්බායි MASCOT SPINCONTROL සායනික පර්යේෂණ ආයතනය වැනි වූ ආයතන මගින් සනාථ කළ, තත්ත්වයෙන් උසස් නිෂ්පාදනයක් තෝරාගැනීමට හැමවිටම සැලකිලිමත් වෙන්න

මදුරුවන් බෝ වන ස්ථාන ඉවත් කරමින් ඔබ අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට සැලකිලිමත් වන අතරේම මදුරුවන් පලවා හැරීමට හැකිතාක් ස්වභාවික ක්‍රම උපයෝගී කරන්න. මදුරුවන් පලවා හැරීමට සැමවිටම ස්වභාවික සංයෝගයන්ගෙන් සැකසුණු රසායනයන් අවම මදුරු විකර්ෂක වර්ගම භාවිත කරන්න.


About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here