ආදර්ශමත් බිරිඳක් ලෙස ඔබ ඔබගෙන් ඉටු විය යුතු වගකීම් හා යුතුකම් පිළිබඳ හොඳින් දැන සිටින්නේද ?

0
7691
wife_and_husband

ආදර්ශමත් බිරිඳකගේ වගකීම මැනවින් වටහා ගැනීම තුලින් ඔබගේ නිවස ආදරයෙන් පිරී ඉතිරි යන්නේය. කොපමණ කාර්යබහුල කාන්තාවක් වුවද හොඳ බිරිඳක්, මවක්, දුවෙක්, ලේලියක්, සහෝදරියක් ලෙස ඔබට ඉටු කිරීමට වගකීම් හා යුතුකම් රාශියක් පවතී. සැබවින්ම කාන්තාවක් මෙම සමාජය තුල පුද්ගල චරිත රාශියකට පණ පොවන අතර ඒ අතුරින් බිරිඳක් ලෙස හා මවක් ලෙස ඔබට ඇති වගකීම ඉතා විශාලය. යහපත් දිවියක් ගත කිරීමට තම නිවස තුල සතුට, සාමය රැක ගැනීමට බිරිඳක් ලෙස ඔබ පවුලේ නායිකාව විය යුතුය. ඔබ පෙන්වනා මාර්ගයේ ගමන් කිරීමට ඔබගේ නිවසේ දරුවන් , ඔබගේ සැමියා වගේම වෙනත් වැඩිහිටි උදවියද  සැදී පැහැදී සිටිති. ඉතින් ඔබත් ආදර්ශමත් බිරිඳක් මවක් ලෙස ඔබගෙන් තම පවුලට ඉටු විය යුතු වගකීම් හා යුතුකම්  මොනවාද යන්න හොඳින් තේරුම් ගෙන සිටින්නෙහිද ?.
ඔබ ආදර්ශමත් බිරිඳක්, මවක් ලෙස මෙම දේවල් ඔබගේ පවුල වෙනුවෙන් ඉටු කිරීමට සූදානම් ද?

• හැකි සැමවිටම සැමියාට සහාය වන්න.

ඔබ කාර්යබහුලත්වය අතින් සැමියාට වඩා වැඩි වැඩ කොටසක් සිදු කරන කාන්තාවක් විය හැකියි. නමුත් අමතක කරන්න එපා ඔබගේ පවුල් දිවියෙ ප්‍රධානියා ඔබගේ සැමියා කියලා. ඉතින් ගෙදර දොර පාලනය ඔබ අතින් සිදු කරගෙන ගියත් ඒ පාලනයට අවශ්‍ය අඩිතාලම සපයන්නෙ ඔබගෙ සැමියා. අන්න ඒ නිසාම ඔබ ඔබගේ සැමියා හොඳින් තේරුම් ගනිමින් ඔහුගේ කටයුතු වලට ඔබට හැකි සැමවිටම සහාය දිය යුතුයි. මම ගෙදර වැඩ, ළමයිගෙ වැඩ කරන්නත් ඕන ව්‍යාපාර කටයුතුවලට අත දෙන්නත් ඕන මට කියලා කිසිම නිදහසක් නෑ කියලා හිතාගෙන වැඩ කරන කාන්තා උදවියත් අප අතර නැතුවම නෙවෙයි. ඉතින් එහෙමයි කියලා කවදාවත් ඔයා ඔයාගෙ සැමියගෙ ධෛර්යය හා උද්යෝගය නැති වෙන විදියට එයාට පීඩනයක් වෙන කිසිම දෙයක් කරන්න, කියන්න යන්න  එපා. එතකොට ඔයාගෙ සැමියට උනත් ඔයා ගැන වැරදි ප්‍රතිරූපයක් මැවෙන්න ඉඩ තිබෙනවා. ගෙදර දොර ළමයිගෙ කටයුතු වලට වගේම සැමියාගෙ කටයුතු වලටත් හැකි අයුරින් වචනයෙන් හරි සහාය දෙන්න ඔයාට පුළුවන් නම් ඔයාගෙ සැමියා වුනත් අද ඔය ඉන්න තත්වෙට වඩා හොඳ තැනකට යන්න ඉඩ තියෙන්න පුළුවන්. මොකද සැමියා හැම දේම කරන්නෙ බිරිඳගේ සතුට වගේම දරුවන්ගේ අනාගතය උදෙසා. ඉතින් ඔයත් ඔයාගෙ සැමියා හොඳින් තේරුම් අරන් එයාට සහාය වෙන්න.

•  සැමවිටම  හරි තීරණ ගන්න.

ඔබ නිතරම ගෙදර දොර කටයුතු වලදි තීරණාත්මක දේවල් සිදු කිරීමට පෙර ඔබගේ සැමියා, වැඩිහිටියන් එක්ක ඒ දේ ගැන සාකච්ඡා කරන්න. ඔබගේ අදහස් සමඟ ඒ අයගේ අදහස් හුවමාරු කර ගන්න. හිතුමනාපෙට ඔයා දෙයක් තීරණය කරලා ඒක බැරි වෙලාවත් වැරදුනොත්  සම්පූර්ණයෙන් ඒ චෝදනාව ඒ නරක නාමය එන්නෙ ඔයාට. ඒ නිසා ගෙදර දොර කටයුතු වලදි ඕනම දෙයක් තනියෙන් තීරණය නොකර ඔයාගෙ සැමියා එක්කත්,  වැඩිහිටි පාර්ශවය එක්කත් කතා කරලා  හැමෝම දෙන උපදෙස් සැලකිල්ලට අරගෙන නිතරම හරි තීරණයක් ගන්න කල්පනාකාරී වෙන්න.

•  නිතරම තම සැමියාට ඇහුන්කන් දෙන්න.

ඔබගේ සැමියා ඔබට සිදු කරන්න එපා යයි කියන කිසිම දෙයක් සිදු කරන්න යන්න එපා. නිතරම ඔහු කියන දේ පමණක් අසන්න. නමුත් ඔහු ඔබට පවසන සියලුම දේ කරන්නට පෙර එය හරිද වැරදිද කියලා ඔබ මුලින්ම ටිකක් කල්පනා කරලා බලන්න. සැමියා උනත් වැරදි දෙයක් කරන්න පැවසුවොත් එයින් බැහැර වෙලා කටයුතු කරන්න බිරිඳක් ලෙස ඔබට පුළුවන්. මොකද සැමියාට ඇහුන්කන් දෙනවා කියන්නෙ එයා කියන හොඳ ඒවා වගේම නරක ඒවත් කරන්න ඕන කියන එකම නෙවෙයි. ආදර්ශමත් බිරිඳක් ලෙස ඔබගේ සැමියාට හරි දේ තේරුම් කර දීමත් ඔබගේ වගකීමක්.

•  ඔබගේ සැමියාට හරි මාර්ගය පෙන්වන්න. 

ආදර්ශමත් බිරිඳක් , කාන්තාවක් ලෙස සැමවිටම ඔබ ඔබගේ සැමියාව හොඳ මාර්ගයට ගත යුතුයි. ඔහු කරන කියන දේවල් පිළිබඳව නිතරම ඔබ බිරිඳක් ලෙස හොඳ අවධානයෙන් සිටිය යුතුයි. ඔහු ලබා ගන්නා ආදායමට අමතරව ඔබට වෙනත් දීමනා ගෙනවිත් දෙන විට වුවද ඒවා ඔහුට ලැබුනේ කෙසේද යන්න සොයා බලන්න. මුදල් සොයන විදිය හරිද වැරදිද කියලා සොයා බලන්න. නිතරම ඔබ ඔහු පිටුපස සෙවනැල්ලක් සේ සිටිමින් ඔහුට හරි මාර්ගය පෙන්වා දෙන්න.

•  ආදරය හා කරුණාව නොමඳව ලබා දෙන්න.

සෙනෙහෙබර බිරිඳගේ මුල්ම වගකීම වගේම යුතුකමත් වෙන්නෙ සැමියාට නොමඳව ආදරය සෙනෙහස ලබා දීම. ඔයාගේ ආදරේ ඔයාගෙ සැමියාට දැනෙන තරමට ඔයාගේ පවුල ලස්සන කර ගන්න ඔයාට පුළුවන්. සැමියා නිවස තුල කාලය ගත කරන සෑම  මොහොතකම ඔයත් එයා අසලින් රැදී සිටිමින් එයා එක්ක ඔයාලගෙ පවුල් සැලසුම් පිළිබඳව කතා කරන්න. එයාට නින්ද යනකන් ටිකක් ළඟින් ඉඳන් ඔළුව අතගාන්න, එහෙම වුනාම එයාගෙ හිතේ වුනත් ඔයා වෙනුවෙන් තව තවත් ආදරය ඇති වෙන්න පුළුවන්.

ඇත්තටම බිරිඳක් කියන්නෙ ගොඩක් කාර්යබහුල කාන්තාවක්. බිරිඳගේ වගකීම් යුතුකම් දිහා බැලුවම ගෙදර දොර වැඩ විතරක්ම   නෙවෙයි, තුන් වේලටම දරුවන්ට, සැමියට කන්න ටික හදලා දෙන එක විතරක්ම නෙවෙයි බිරිඳගේ වගකීම යුතුකම වෙන්නෙ. සැමියාට අැහුන්කන් දෙමින් ඔහුගේ සියලු කටයුතු පහසු කර ගන්නට සහාය වෙමින්, ලෙඩට දුකට පිහිට වෙලා බිරිඳක් ලෙස තම සැමියා හරි දේට පමණක් යොමු කරමින් ආදරය හා සෙනෙහස ලබා දීම  ආදර්ශමත් බිරිඳගේ යුතුකම් හා වගකීම් අතර මූලික තැනක් හිමි කර ගන්නේය.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here