වැඩිහිටියන් ලෙස ඔබත් ඔබගේ දරුවන් හට අවශ්‍ය දේ පිළිබඳ හොඳින් දැන සිටියාද ?

0
3605
childs_love

වැඩිහිටියන් හට  මෙලොව ඇති වටිනාම අමිල සම්පත තම දරුවන්ය. දරුවන් හට ද මෙලොව ඇති උත්තරීතරම වස්තුව වන්නේ තම මාපියන් වේ. කෙසේ වෙතත් අද වන විට මාපිය, දූ දරු සබඳතා කෙමෙන් කෙමෙන් දුරස් වන ස්වභාවයක් පවතී. මේ හේතුව නිසාවෙන් අනාගත දරු පරපුර හිතුමනාපයට කටයුතු කර තම ජීවිත අදුරු කර ගනිති. වැඩිහිටි උදවියගේ අවධානයෙන් තම දරුවන් ඈත් වීම හේතුවෙන් බොහොමයක් දරුවන් වෙනත් ඇසුරක් පතන අතර තවත් දරුවන් පිරිසක් සමාජයේ සිදුවන බොහෝ නීති විරෝධී ක්‍රියා වලට යොමු වේ. මේ තුලින් තවත් සිර ගෙවල් දහසක් බිහිකරන අතර දෙමාපිය අවධානය තම දරුවන් කෙරෙහි දිගින් දිගටම ලබා දීම ඔබ අප සැමගේම වගකීමක් වන්නේය.

ඉතින් එක එක වයස් කාණ්ඩ තුල පසුවන දරුවන් සිටින මාපියන් වශයෙන් ඔබගේ දරුවාට අවශ්‍ය මොනවාද කියලා ඔබත් හරි හැටි අවධානයෙන් සිටියද? ඇත්තටම  දරුවෙක් බිහි කරලා කන්න බොන්න දීලා උස් මහත් කළ පලියට ඒ දරුවන් තෘප්තිමත් වෙන්නෙ නෑ. ඉතින් හොඳ මවක්, පියෙක් ලෙස ඔබ ඔබගෙන් ඔබගේ දරුවාට ලැබිය යුතු මේ දේවල්  ගැනත් අවධානයක් දෙන්න. එය සමාජීය, කායික, මානසික ලෙස තෘප්තිමත් දරුවෙකු සමාජයට දායාද කිරීමට ඔබට මඟ පෙන්වාවි.

ආදරය


දරුවන් වැඩිහිටියන්ගෙන් බලාපොරොත්තු වන ප්‍රධානම දේ තමයි ආදරය. දරුවන්ට ආදරය කියන දේ ලැබෙද්දි දැනෙද්දි ඒ දරුවන් කවදාවත් මාපියන්ගෙන් පිට සමාජයක් ගොඩනගා ගන්න බලන්නෙ නෑ. ඇත්තටම සමහර පවුල් වල දරුවන් දෙතුන් දෙනෙක් ඉන්නවා නම් ඒ පවුලෙ අර වැඩිමහල් දරුවන්ට දෙමාපියන්ගෙන් ලැබෙන ආදරය අඩු වෙනවා. දරුවන්ට වුනත් හිතෙන්න ඉඩ තියෙනවා අම්මා,තාත්තා මට ආදරේ නෑ නංගි , මල්ලිට විතරයි ආදරේ කියලා. ඉතින් එහෙම වුනාම ඒ දරුවා නිරන්තරයෙන් උත්සහා කරන්නෙ මාපියන්ගෙන් නොලැබෙන ආදරය වෙනත් කෙනෙක් ගෙන් හරි ලබා ගන්න.  එහෙම වුනාම ගොඩක්  දරුවන්ගෙ ජීවිත අකාලයේ විනාශ වෙන්න වුනත් පුළුවන්. කුඩා දරුවන්ට වඩා සමාජයට යන්න ඉන්න වැඩිහිටි දරුවන් හට ගොඩක් දුරට ආදරය කියන දේ අවශ්‍යයි. ඒ නිසා දරුවන් හට ඒ බලාපොරොත්තු වෙන ආදරය ලැබෙනවා නම් දරුවන් වුනත් වැඩිහිටි ඔබ සමඟ තියෙන   ඒ බැඳීම ශක්තිමත් කර ගන්න ඔබ සමඟම නිරතුරුව රැදී සිටිවි.

අවධානය


ඇත්තටම දරුවන් සිටින මාපිය ඔබ ඔබේ දරුවන් හට අත්‍යවශ්‍යයෙන්ම ලබා දිය යුතු වගේම දරුවන් ඔබගෙන් නිතර නිතර බලාපොරොත්තු වන්නෙ වැඩිහිටි ඔබගෙ අවධානය. දරුවන් යම් දෙයක් කරත් දරුවන් ව උද්යෝගමත් කරන්න වගේ දරුවව දිරි ගන්වන්න ඔබගෙ අවධානය ආදරය ලෙසටම දරුවට ලබා දීමට ඔබ උත්සහාවන්ත වන්න. දරුවා සිදු කරන සියලුම දෙයක් දෙසම හොඳ අවධානයෙන් සිටීම වගේම දරුවා යන එන ස්ථාන , කතා බහ කරන දේවල් මෙන්ම සියලු භාහිර ක්‍රියාකාරකම් පිළිබඳව ඔබ වැඩිහිටියන් ලෙස අවධානයෙන් සිටීම වැදගත්.
බොහෝමයක් වෙලාවට අපේ අම්මලා පෙර පාසල්, පාසල් යන දරුවන් වෙනත් පාර්ශවයක‍ට භාර දීලා සිටින අවස්ථා තිබෙනවා. කවදාවත් ඔබ එම වරද සිදු කරන්න එපා මොකද ඒ වයසේ දරුවන් මෙල්ල කරන්න හරිම අමාරුයි. ඔබේ දරුවා ඔබට හැර වෙන කිසිම අයෙක්ට යටත් කරන්න සිතන්න එපා.

යහපත් ඇසුර


ඔබ දැනුම් තේරුම් තියෙන වැඩිහිටි උදවිය ලෙස ඔබගේ දරුවා යහපත් මිත්‍ර ඇසුරට යොමු කරන්න. මොකද පාර මුල ඉඳන්ම හරිය‍ට කපා ගත්තොත් තමයි බාධක නැතිව ඉදිරියට යන්න පුළුවන් වෙන්නෙ. ඉතින් කුඩා කාලෙ පටන්ම හොඳ යාළුවො කවුද නරක යාළුවො කවුද කියලා ඔබගේ දරුවාට හදුන්වා දීම තුලින් මම හිතනවා ඔබගේ දරුවන් යහපත් මාර්ගයට යොමු කල හැකියි කියලා.

යහපත් හැසිරීම හා ආදර්ශ 


ඔබ කුඩා කල සිටම ඔබේ දරුවාට ලබා දෙන ජීවන අත්දැකීම් තුලින් ඔවුන් ඔවුන්ගෙ ජීවිතයට පාඩම් එකතු කර ගන්නවා. ඉතින් කවදාවත් දරුවන් ඉදිරියේ ඔබ ඔබගේ පවුල් ප්‍රශ්න වලට අඩදබර වෙන්න යන්න එපා.ඒ වගේම වැඩිහිටියන් කතාබහ කරන ස්ථාන වල කුඩා දරුවන් රඳවා තබා ගන්න එපා. ඒ දේවල් තුලින් කිසිම දිනෙක දරුවෙකුට යහපත් ආදර්ශයක් තම ජීවිතේට ලබා ගන්න බෑ . වැඩිහිටි ඔබ ඔබගේ දරුවන් ඉදිරියේ හැසිරීම යහපත් කර ගන්නා තරමට ඔබගේ දරුවාටත් යහපත් ජීවන රටාවක් ලැබේවි.

යහපත් ආකල්ප


ඇත්තටම ඔබ ආදර්ශමත් වැඩිහිටියන් ලෙස නිතරම ඔබේ දරුවාට හොඳම දේ ලබා දිය යුතුයි. ඒ අතර ආකල්ප ගොඩක් වැදගත්. නිතරම දරුවට හොඳ දේවල් පමණක් කියා දෙන්න. තරහා, වෛරය, ක්‍රෝධය කුඩා කල සිටම දරුවන්ගේ ජීවිත වලින් ඈත් කරන්න. කවදාවත් වැඩිහිටියන් වැඩිහිටියන් අතර ඇති තරහා මරහා, ප්‍රශ්න දරුවන්ගෙ මනසට ඇතුළු කරන්න එපා. ඒ නිසා ඔබ ආදර්ශමත් මවක්, පියෙක් ලෙස ඔබගේ දරුවන්ට යහපත් ගති පුරුදු කුඩා කල සිටම හුරු කරන්න.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here