සිංහල සංස්කෘතිය සමග බද්ධව ඇති කැවුම් අපේ ජනජීවිතයේ සෑම අවස්ථාවක් සමගම සම්බන්ධව ඇත. හිසකෙස් කැපීම, කන් විදීම, ඉඳුල්කට ගෑම, මල්වර උත්සව, විවාහය , ගෙට ගෙවදීම්, තොවිල් ,දේවපූජාවන් ආදි හැම අවස්තාවකම කැවුම් පිසිනු ලැබේ. අතීතයේදී හාපුරා කියා සිරිපාදේ වන්දනාවට එක් වුන කෝඩුකාරයන්ගේ දෙපා කැවුම් වලින් තවා විඩාව දුරුකරවන ලදී. කැවුමක් පිළියෙල කර ගත නොහැකි කාන්තාවට එදා සමාජයේ ලැබුනේ ඉතාම නොවැදගත් තැනකි. කැවුම් මුල් කර ගෙන ගොඩ නැගුන විවිධ ජනවහර ඉතා රසවත්ය.
සිංහල අලුත් අවුරුද්දට පෙරාතුව හැම නිවසකම තෙල් තාච්චියක් ලිප තබනු ලැබේ. මේ වෙනුවෙන් සුබ දිනයක් තෝරා ගනී. සිංහල අලුත් අවුරුද්ද සඳහා කෝදුරුවන් වෙනුවෙන් කැවුමක් වෙන් කරන අතර එය ” කෝදුරු කැවුම “යි අවුරුද්ද වෙනුවෙන් පිළියෙල කරන කැවුම්වලින් එකක් නිවසේ වහලේ එල්ලා තබනු ලැබේ. කෝඳුරුවන් මෙම කැවුම වටා එක් වේ. මෙය කෝඳුරුවන් වෙනුවෙන් වෙන් කරනු ලැබුවද එහි විද්‍යාත්මක සත්‍යක් ඇත. මෙම කාලයේදී කෝඳුරුවන් පරිසරයේ බහුලව සිටිති. ඔවුන් ඇස් රෝග වාහකයන්ය. වහලේ බාල්කයේ තිබෙන කැවුම වටා කෝඳුරුවන් රොක් වෙන නිසා ඇස් රෝග සම්ප්‍රේෂනයට තිබෙන අවස්ථාව ඇහිරෙනු ඇත.හෝපිටිගම සෙල්ලිපියේ සඳහන් රාජකීය ආහාර වට්ටෝරුවේ කැවුම් පිලිබඳව සඳහන් අතර රුවන්වැලිමහසෑයේ නිරත සේවකයන්ට කැවුම් සමග තේපැන් සංග්‍රහ කොට ඇත. ඒ බව ථූපවංශයේ මෙසේ දක්වා ඇත.
දුටුගැමුණු මහරජු එවේලේහි සතර වාසල් දොර දුප්පත් මිනිසුන්ට අනුභව කරනු පිණිස මියුරු ආහාරද, නොයෙක් වර්ගයේ කැවුම්ද, මීපැණි ,උක් , පැන් , කස ඇට පැන්…ආදි ලෙස විවිධ කැවුම් ප්‍රභේද දක්වා ඇත.
- මුංකැවුම්
- කොණ්ඩකැවුම්
- අතිරස
රොබට් නොක්ස් ” එදා හෙළ දිව ” ග්‍රන්ථයේ කැවුම් පිලිබඳව මෙසේ සඳහන් කර ඇත.මහනුවර රජකම් කළ දෙවැනි රාජසිංහ රජතුමා තමා හමුවට ගිය ලන්දේසි හමුදාවන්ට කැවුම්වලින් සංග්‍රහ කොට ඇත. මේ රසයට මත් වුන ලන්දේසින් මේ ගෙඩි නෙලා ගත්තේ කොහින්දැයි විමසා ඇත. එයින් පෙනෙන්නේ සිංහලයින් විසින් පිසින ලද කැවුම්වල තිබුන මිහිරි රසයයි.
සිංහලයා මෝඩයා…. කැවුම් කන්න සූරයා යන ජනවහර පවා ගොඩ නැගුනේ කැවුම් අපේ ජනජීවිතයට ඉතා සමීපව බද්ධ වුන නිසාය.
පෘතුගීසින් දවස වෙළඳාමේ යන පිරිසකගේ වෙළඳ භාණ්ඩ සොරකම්කරන නිසා කුරුවිටිරාළ මීමැස්සන් පොදියක් පොට්ටනියක්ව බැඳ ගෙන ” කැවුම්”…..කැවුම්…කියමින් ගමන් ගෙන ඇත. පෘතුගීසි හේවායන්ට කැවුම් රස විදින්නට සිත් වූයෙන් මෙම කද පැහැර ගෙන ඇත. කුරුවිටිරාළ කද දමා පැන ගියේය. ඇවිස්සුන මීමැස්සන් පාතුගීසි හේවායින්ට පන්න පන්නා පහර දෙන්නට විය.ලක් වැසියන්ගේ වෙළඳ භාන්ඩ කොල්කන පෘතුගීසි හේවායින්ට කුරුවිටිරාළ ලබා දුන් අපූරු දඬුවම එයයි.
උම්මග්ගජාතකයේදී අමරා දේවියගේ නුවණ මැන බැලීම වෙනුවෙන් වූ ප්‍රායෝගික පරීක්ෂණය වෙනුවෙන් කැවුම් යොදා ගෙන තිබුනි. ඒ අනුව තමා දුන් මුල් සහල් කොටසින් බත්ද, කඩ සහලින් කැඳද, සුන් සහලෙන් කැවුම්ද, පිසින ලෙස උපදෙස් දුන්නේය. පෙරදිග සංස්කෘතිය තුළ කාන්තාවක සතුව පැවැති අරපිරිමැස්ම මෙයින් මනාව පෙනේ. මේ අනුව අමරා දේවිය ඒ තුනම පිළියෙල කළත් මහෞෂධ පන්ඩිතයන් විසින් ඒ සියල්ල ප්‍රතිඣෙෂ කල බව උමංදාවේ සඳහන්ව ඇත.
” අමරා දේවින් නොකිපීම කැඳ යහපත් නොවී නම් කැවුම් කෑව මැනව…යි ස්වාමිනි කියා කැවුම් අතට දුන්හ. කැවුම් මුව තැබූ පමණින් රසනහර පිනා ගියේය…මේ පාඨයෙන් පෙනී යන්නේ අමරා දේවිය ඉතා රසවත් ලෙසින් කැවුම් පිසින ලද බවයි.
උම්මග්ග ජාතකයේ සඳහන් කාලගෝල කතාවේදී සිය බිරිඳ වූ දික්තලාගේ මව්පියන් බලන්නට කැවුම් පිස ගෙන ගිය බවට වූ කතාවට අනුව පෙනී යන්නේ එදවස නෑගම් යන විට රැගෙන ගිය කැවුම් ගරුත්වයකින් යුක්ත රසකැවිල්ලක් බවයි.කුස ජාතකයේදී ස්වාමින් වහන්සේනමකට පිණ්ඩපාතයට දෙන ලද කැවුම නැවත ලබා ගැනීමේ පාපය නිසා කුස රජතුමා කැවුමක් වැනි මුහුණක්ව උපත ලබා ඇත.
අනුරුද්ධ කුමාරයාගේ කතාවේදී කුඩා දරුවන් සමග ඔට්ටු අල්ලමින් සිටි කුමරු එයින් පරාජය වී අම්මාට කැවුම් ඉල්ලමින් පෙරැත්ත කළේය. කැවුම් නැතැයි කී විට කුමාරයා ” නැති කැවුම් ” ඉල්ලා සිටියේය. මව් බිසොව හිස් පෙට්ටියක් රෙද්දකින් වසා දාසියක අත කුමාරයාට යවා ඇත්තේ ඔන්න එහෙනම් නැති කැවුම් කන්න කියාය…කුමාරයාගේ පින් මහිමයට හිස් පෙට්ටිය කැවුම් වලින් පිරී තිබුණි.ගණදෙවි හෑල්ලේදී කැවුම් පිලියෙල කළ අන්දම මෙසේ කවියට නගා ඇත.
කිරි දී වෙඬරුද පස්ගො රසිනා
උඳු මුං තල මෑ කරලින් සොබනා
මේ නන් කැවුමෙන් නිති පුද ලබනා
ගණදෙවි නුවණක් දුන පා වඳිනා
පුරා වසරක් තුළ නරක් නොවන සේ කැවුම් පිළියෙල කිරීමට දක්ෂ කාන්තාවන් එදවස සිට ඇත. රජතුමා බැහැ දැක්මට ගෙන ගිය පෙනුම් කත් වෙනුවෙන් කැවුම් යොදා ගත් අතර මෙම කැවුම් දිව තැබූ සැනින් රස නහර පිනා ගොස් ඇත.
කැවුම් පිළියෙල කිරීමට ගන්නා තෙල්, සීනි , පිටි වැනි අමුද්‍රව්‍ය සිරුරට අහිතකර ලෙසින් පිලිගැනුනද ඊට හේතුව වි ඇත්තේ මෙම කැවිලි ආහාරයෙන් පසුව දහනයට ව්‍යායාම නොමැති වීමයි. කැවුම් පිලියෙල කිරීමට යොදා ගන්නා මෙම අමුද්‍රව්‍ය පෝෂනයෙන් ඉහලය. ඒ වෙනුවෙන් ගන්නේ හාල් පිටිය. කැවුම් පැණිරස නිසා ආහාරයට පසුව කැවුමක් අතුරුපස ලෙස ගත් විට පෝෂණය ඉතා හොඳින් සිරුරට අවශෝෂනය වේ.
කැවුම් පිළියෙල කිරීමෙන් පසුව නාන තොටවල් වෙත යෑමට අවසර නැත. කැවුම් සහිත භාජනයක් එහා මෙහා රැගෙන යන විට අමනුෂ්‍යයන්ගේ බැල්ම වැටීම වලක්වා ගැනීම සඳහා දෙහි, අගුරැ , යකඩ වැනි දෑ පිගානේ තබන ලදී.රාත්‍රි කාලයේදී තනියම සිට කැවුම් බැදීම නිසාත් අමනුෂ්‍ය දෝෂයන් ඇති වෙන බවටත් ජන විශ්වාස වේ.කැවුම් පිළියෙල කිරීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය වෙනුවෙන් පිරිවැයක් දැරීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. ඒවා ඇත්නම් කැවුම් පිසීම මහ ශිල්පයක් නොවේ.තෙල් පැණි ඇත්නම්-කැවුම්ද පඤ්ඤං…යන ජනවහර ගොඩ නැගුනේද ඒ නිසාය.