කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා
වෙල් දෙණි වල ඇවිද ගොසින්
වෙරළු ගෙනැත් අම්මා …ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා
මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්ඳා හඬාලාදරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා
දුක සැපබලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුඳත් කඳුලක් කරවා
බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා…
පණ ගසමින් ජීවිතය ඉල්ලද්දී යකඩ අඬු වලින් ඇදලා අරන් කළලය මරලා දාන්න දොස්තරවරු හොයාගෙන යන අම්මාවරු ගැන නෙවෙයි මේ මොහොතෙ මගේ මතකයට ආවේ. කළ හැකි සියලු කැපකිරීම් හා ආදරය මැද්දෙ දරුවන්ට ජීවිතය දුන්න අම්මාවරුන් ගැන. දරුවන්ව විසි කරලා දාන, අත්හැරලා දාන අම්මාවරුන් ගැන නෙවෙයි මගේ මතකයට ආවේ. ප්‍රාණ සම අධ්‍යාත්ම ප්‍රේමයෙන් දරුවන් සුරුකූ අම්මාවරුන් ගැන. ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ඉන්නට ඒ අම්මාවරුන් මේ විශ්වයෙන් සාර සේ උරා ගත් ශක්තිය ආයෙත් දුන්නෙ දරුවන්ට. ඒ ශක්තියට තමා මව් කිරි කීවෙ.
රජුන් සදිසි පුතුන් තනන්නට ඇය ළය මඬලින් ප්‍රදානය කළේ ඒ විශ්වාදර ශක්තිය. දෙවියන් වහන්සේ දිව්‍යමය ආදරය විදිහට මේ ලෝකයට හඳුන්වලා දුන්නෙ අම්මගෙ ආදරය කියලා මම විශ්වාස කරනවා. දරුවන්ට ජීවිත දීලා දවසක ඒ අම්මලා මේ ලෝකෙන් යන්න යනවා. දරුවන්ට ජීවිතයක් වගේම හොඳ දරුවෙක් හදපු හැම අම්මා කෙනෙක්ම ලෝකෙට දායාදයකුත් ඉතුරු කරලයි ජීවිතයට ආයුබෝවන් කියන්නෙ.
මැක්සිම් ගෝර්කි කියනවා මේ ලොව පවතින්නේ මවගේ කිරෙනුත් හිරුගේ ආලෝකයෙනුත් කියලා.ඇය තමයි අපේ මිහිකතේ ජීවයේ උල්පත.. ඇය තමයි අපේ පලමුවන ගුරුතුමිය.. ඒ නිසාම තමයි සතුටේදීත්, දුකේදීත්, පුදුමයේදීත්, බොහෝ විට මරණයේ දීත් අපිට ඇයගේ නම කියවෙන්නේ.
හැල්මට දුවන ජීවිතයේ අපිත් නොදැනම සමහර දේවල් අපිට අමතක වෙනවා. ඒ අමතක වන දේවල් අතරේ අම්මා කියන අකුරු තුනත් තියෙනවනම් ඇත්තටම අපිට අපේ මුළු ජීවිතයම අමතක වෙලා. අදටත් බෝහොමයක් අම්මලා තමන්ගේ දරුවෝ නිවාඩුවට ගෙදර එනකම් පාර දිහා බලා ගෙන ඉන්නවා. එහෙම ඉන්නේ අම්මලා දරුවෝ වෙනුවෙන් මහත් සෙනෙහසක් දක්වන නිසාමයි. ඒ මව් සෙනෙහස පිලිබදව ලෝකයේම අවධාණය යොමු කරන ලෝක මව්වරුන්ගේ දිනය සමරන දිනට පමණක් මව් ගුණ සීමා කිරීම සැබවින්ම දුකක්.
උත්තරීතර මව් සෙනෙහසේ ගුණ රුවින් මුළු ලෝකයම ලස්සන කරන මව්වරුන් සිය ජීවිතයෙන් වැඩි ඉඩක් තම ආදරණිය දරුවන් වෙනුවෙන් වෙන් කරනවා. එක්දිනකට සිමා නොවන අසීමාන්තික මව් සෙනෙහස සිහිපත් කරන්නට අද දවසේ කටයුතු කෙරුනත් උතුම් මාතෘත්වයේ අගය සිහිපත් කරන්නට අපේ ජීවිතය ද ප්‍රමාණවත් නොවන වග සිහිපත් කළ යුතුයි. බඩට තුන්වේල නොකා හරි දරුවන්ගේ කුසගිනි නිවන අම්මාලා තමයි අපේ රටේ ඉන්නේ. දෙන්න පුළුවන් හොදම දේ දීලා දරුවන්ගේ මුහුණේ හිනාවක් දකින්නයි මේ අම්මලා හින දකින්නේ. නැති බැරි කම නිසා සමහර අම්මලාට දරුවට දෙන්න ඉතුරු වෙන්නේ තමන්ගේ උණුසුම විතරයි. ලෝක මව්වරුන්ගේ දිනයේ ඉතිහාසය 1912 දක්වා ඈතට දිව යනවා. සෑම වසරකම මැයි මාසයේ දෙවන සතියේ ඉරිදාව ලෝක මව්වරුන්ගේ දිනය ලෙසින් සමරනු ලබනවා.
ඉතින් අම්මගෙ උපන්දිනේට වත් මව්වරුන්ගෙ දවසට වත් අම්මගෙ ගුණ කියනවට වඩා තමන්ට ලැබෙන පොඩි හරි වෙලාවෙදි අම්මා එක්ක වචනයක් කතා කරන්න අපට බැරිකමක් නෑ නේද? අපි වෙනුවෙන් මුළු දිවියම කැප කරපු ආදරණීය අම්මා වෙනුවෙන් අපිට වෙලාවක් වෙන් කරන්න අමාරු නෑ. රටේ ඉහලට ගියාම අම්මා හැඩ මදිවෙන සමාජෙ අම්මා බලු කූඩුවෙ දාලා හිර කරද්දි අපිට හිතන්න පුළුවන් නේද අපි පොඩි කාලෙ වද දෙනකොට අම්මා අපිව අතේම තියාගෙන නින්දක් නැතුව එහාට මෙහාට ගිය විදිය. අම්මගෙ ආදරේ එක දවසකට සීමා වෙන්නෙ නෑ සීමා කරන්නත් බෑ කියලා අපි හොදටම දන්නවා. එහෙම එකේ අපේ රත්තරන් අම්මා වෙනුවෙන් අපිට මොකටද එක දවසක්. දවසක අපිත් අම්මලා වේවි. එදාට අපිට තේරුම් යයි අපේ අම්මා අපි වෙනුවෙන් කැප වුනේ මෙහෙම නේද කියලා. ඒකයි ලොව උතුම්ම ආදරය අම්මගේ ආදරය කියලා කියන්නෙ. ඒක හින්ද වෙන්න ඇති ලේ කිරිවලට හරවලා අපිට දුන්නේ. ඒ ආදරය ඒ තරම් බලගතුයි, ශක්ති සම්පන්නයි.
ඉතින් එහෙම ආදරයක් දීපු අපේ අම්මට අවුරුද්දේ එක් දිනයක් පමණක් වෙන් නොකොට අපේ යුතුකම් වගකීම් අපිත් නොපිරිහෙලා ඉටු කරමු.