ගෙදරින් යන්න හිතෙන තුරුම බිරිඳ ලවා ඉවසවන්න එපා

0
4396
husband-and-wife-arguing

දරුවෙක් කියන්නේ මව්පියන්ගේ ආදරය හුරතලය මැද්දේ බොහොම ආදරණියව ඇති දැඩි වන අයෙක්. ඒත් පිරිමි දරුවෙකුට වඩා ගැහැණු දරුවෙක් කිව්වම ඊට වඩා මොකද්දෝ පුංචි හුරතල් බවක් කැටි වෙලා තියෙනවා. ඒකනේ “තාත්තාගේ වස්තුව දෝණි” කියලත් කියන්නේ. දුවෙක් වුනත් පුතෙක් වුනත් මව්පියන්ට වස්තුවක්ම තමයි.

ආදරෙන් හැදුව පුංචි කෙල්ල දීග දෙන දවසට අම්මගේ තාත්තගේ ඇස්වල කඳුළු පිරෙන්නේ ඒකයි. පුතෙක් කවදා හරි ගෙදරට දුවෙක් ගේනවා, ඒත් දුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට ඒ දුවව වෙනත් අම්මා කෙනෙක්ට බාර දෙන්න සිද්ධ වෙනවා. අම්මා බලන්න හැමදාම එනවා, හැමදාම අම්මට කෝල් කරනවා කියලා හිතාගෙන සැමියා සමග නිවසින් පිට වුණත් මේ කාර්ය බහුල සමාජ වටපිටාව ඇතුලේ ඒ සිතුවිලිවලට පණ දෙන්න ටිකක් අමාරුයි. ඒ ඇත්ත තත්ත්වය. අපි විතරක් නෙවෙයි, දාමයක් විදියට මේ දේ අපේ අම්මාගෙන් එයාගේ අම්මටත් වුණු දෙයක්. එකේ වරදක් කියන්න දකින්න අපි කාටවත් බැ. මොකද තමන් වෙනම තමන්ගේම පවුලක් ගොඩ නගා ගන්න පළමු පියවර තබපු දවසේ ඉඳලම ඒ වෙනුවෙන් කැප වෙන්නම ඕනේ. ඒ දේ අපි වෙනුවෙන් අපේ මව්පියනුත් කළා. තමන්ගේ අම්මට තාත්තට සලකන්න බෑ කියන අදහස නම් නෙවෙයි මේ කියන්නේ. මෙතනින් අදහස් වෙන්නේ ගෙදර හිටිය කාලේ වගේ නෙවෙයි විවාහයෙන් පස්සේ අපි කොයි කාටත් අපේම කියලා වගකීම් ගොන්නක් ඇති වෙනවා. ඉතිං මෙන්න මේ තරම් ආදරෙන් හුරතලෙන් සැප පහසුකම් ගොඩක් මැද්දේ ගත කරන ජිවිතයට විවාහයත් සමගම පුංචි වෙනස් කම් ගොඩක් වෙනවා කියලා අපි කවුරුත් දන්නවා. සැමියාගේ ආදරය මැද ඇරඹෙන මේ අලුත් ජීවිතය ඇයට හිරිහැරයක් නොවන සේ ගෙවා දමන්නට අවශ්‍ය වටපිටාව සකස් කිරීම  සැමියාගේම වගකීමක්. ඒ වගේම යුතුකමක්. මෙන්න මෙතැනදී සැමියෙකු විසින් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා.

අතීතයේදී පුතා විවාහ වන බිරිඳ නිවසට කැන්දා ගෙන ඒම තමයි සිරිත උණේ, අද වෙද්දී සිරිතට ඒ දේ වුණත් විවාහක බොහෝ අය තනිව තම ජීවිතය ආරම්භ කිරීමට කැමැත්තක් දක්වනවා. අද වෙනවිට විවාහයෙන් පස්සේ මව්පියන්ගේ නිවසේ එකට පදිංචියට යන පිරිස අඩු වෙලා. එදා තරම්ම නැති උනත් මේ තත්ත්වයේදී ගැටුම් ඇති වෙනවා අදටත්. පීඩාකාරි වුනත් එතනම වැටීගෙන අලුතෙන් තම දිවිය ඇරඹු බිරිඳට මානසික වදයක් වන තරමටම මේ තත්ත්වය වැඩි වෙන තුරු ඇතැම් සැමියන් කිසිම තීරණයක් ගන්නෙත් නැහැ. මේ මගේ සැමියාගේ මව්පියන්, සැමියාගේ සහෝදර සහෝදරියෝ කියා බිරිඳගේ ඉවසීම අනවශ්‍ය ලෙස ප්‍රයෝජනයට ගනිමින් ඇයට ජීවිතය එපා වෙන තෙක්ම තම අභිමතයේම රැඳී සිටින සැමියන් බොහෝ විට සිටිනවා. ඒ විතරක් නෙවෙයි තම උගත් දෙයින් රැකියාවකට යොමු වෙන්නවත් අවස්ථාවක් නැති කාන්තාවෝ ඕනේ තරම් ඉන්නවා. අද ලෝකය දියුණුයි, මිනිස්සු බොහොම සරලයි, අලුත් සිතුම් පැතුම් එක්ක ලස්සන ජිවිත ගත කරනවා කිව්වට හන මිටි අදහස් ඔළුවේ පුරව ගෙන තමන්ගේ බිරිඳගේ ජීවිතය එකම තැන ගෙවා දමන එක ගැන කිසිදු පසුතැවීමක් නොදැනෙන ස්වාමි පුරුෂයෝ නැතුවාම නොවෙයි.

මේ කියන්න යන්නේ මේ වගේ තත්ත්වයක් නිසා හැම බැදීමක්ම එපා උණු කෙනෙක් ගැන. ඇය, ඇගේ සැමියාගෙන් වෙන් වෙන්න නීතියේ සරණ පතන්නයි මේ සුදානම. අපි අහල බලමු… අපේ ජිවිතවලටත් බොහොම වැදගත් වේවි.

“චම්පා, අය මට හමුවුණේ ලිපියක් සඳහා නීතිමය තොරතුරු වගයක් ලබාගැනීම සඳහා නීතිඥවරයෙකු හමුවීමට ගොස් ඔහු බලාපොරොත්තුවෙන් රැඳී සිටින මොහොතකයි. අප දෙදෙනා සහ තවත් කිහිප දෙනෙක්ම එම ස්ථානයේ රැඳී සිටියත් හුරතල් දඟකාර පැටවු දෙන්නෙක් සමග ඈ හෙම්බත්ව සිටි නිසා ඇයට සහයක් වශයෙන් වැඩිමහල් දියණිය සමග මම කතා කරන්නට පටන් ගත්තා.  ඒ අතරේ මට පෙනුනේ ඇය දරුවන් ගැන අවධානයක් නොමැතිව ඔහේ බලා සිටි බවයි. ඇයගේ කඳුළු පිරුණු ඇස් දුටු වගේම වෙහෙසකර පෙනුම දුටු විට ඇති වුණු අනුකම්පාව නිසා ඇය සමග කතා කරන්නට මගේ හිතට බල කළා. කියන්නට කෙනෙක් හමුවන තුරු බලා සිටියාක් මෙන් අතින්ම කඳුළු පිසිමින් ඇය ඇගේ කතාව ම සමග පැවසුවා.

“මුල ඉඳන්ම මට ඕනේ වුනේ වෙනම ලස්සන ජිවිතයක් පටන් ගන්න. දරුවෝ දෙන්නෙක් ලැබුනට පස්සේ වත් මේ තරම් ප්‍රශ්න ඇති වුණාට පස්සේ වත් මට ඒ දේ කර ගන්න බැරි වුණා. අපි කාගේත් ජිවිත වල බලාපොරොත්තු ආසාවන් තියෙනවා. බැඳලා තමන්ගේ සැමියා එක්ක තමන්ගේම ගෙදරක ජිවත් වෙන්න ගැනියෙක් හීන දකින එක වරදක්ද? තමන් උගත් දෙයින් රස්සාවක් කරන එක වරදක්ද? තමන්ගේ දෙමාපියන්ට සලකන එක වරදක්ද?  මට  කරන්න තියෙන එකම දේ හස්බන්ඩ්ගේ අම්මාලා තාත්තලා නංගිලා නේද කියලා ඉවසන එකම විතරද? අපි බැඳලා අවුරුදු හතක්, ඒ අවුරුදු හතම ඉවසුවා. දුක් විඳගෙන දරුවෝ හදා වඩා ගත්තා, ගෙදර හැම වැඩක්මත් කළා. මම තවත් ඉවසන්න ඕනෙද? සැමියා වෙනුවෙන්… එයාට මේ අවුරුදු හතටම අපි වෙනුවෙන් තීරණයක් ගන්න බැරි උණා, මම එයා අපේ දරුවෝ වෙනුවෙන් තීරණයක් ගන්න බැරි වුණා. එයා තාමත් උත්සාහ කරන්නේ එයාගේ ගෙදරම ඉඳගෙන අපේ ජිවිතත් අපිට එපා කරවන්න. ඒත් මම අපි වෙනුවෙන් තීරණයක් ගන්නවා. ඒකට තමයි මම අද ආවේ. මම දන්නේ නැ ඒක කරන්නේ කොහොමද කියන්න, ඒත් මම අද ලෝයර් හම්බ වෙලා මගේ ප්‍රශ්නෙට සුදුසු පියවරක් ගන්නවා. ඒ කොහොම වුනත් මම මේ ගෙදරින් මගේ අම්මලා ගාවට යන්න තීරණය කරලා ඉවරයි.

ඉතිං ඔයා මේ දේවල් හස්බන්ඩ් එක්ක කතා කලේ නැද්ද…?

කොච්චර කතා කලාද? කොච්චර රන්ඩු වුනාද? ඉස්සර නම් මට තිබුනේ පොඩියට හරි කුලියට හරි කමක් නැ, අපි දෙන්නා විතරක් ඉන්න. ඒ ආසාව එහෙමම යටපත් වුණා. එයාගේ අදායම ඒ වෙනුවෙන් ප්‍රමාණවත් නැ කියලයි එයා කිව්වේ. ඒත් මම කැමති වුණා ජොබ් එකකට යන්න. එයා ඒකට ඉඩ තිබ්බේ නැ. එයා හොයල තියෙන්නේ බිරිඳක් නෙවෙයි කියලා මට දැන් හිතෙනවා. එය මගේ හැම දෙයක්ම පාලනය කරලා.

ඉතිං එයාට හිතෙන්න ඇති වයිෆ්ගෙන් හම්බකරවගන්න එක හොඳ නැ කියල…?

ඉතිං ඒ සල්ලි අපිට වියදම් නොකර ඉන්න පුළුවන්නේ. මමත් ආසයිනේ මම ඉගෙන ගත් දෙයින් රස්සාවක් කරන්න. මගේ දෙමාපියෝ මම වෙනුවෙන් වෙහෙසුනේ වියදම් කලේ මට ලස්සන ජිවිතයක් ගොඩ නගල දෙන්නනේ. ඒත් අන්තිමට මට වුනේ හස්බන්ගේ ගෙදර අය වෙනුවෙන් “ඉවසන” එක විතරයි. ඒකත් පොඩි කාලයක්ද? බැන්ඳ දවසේ ඉඳලම මම කරලා තියෙන්නේ ඒක. එයා ගණන් ගන්න එපා කියනවා, මම එයා වෙනුවෙන් ඉවසනවා. මට මගේ සතුට වෙනුවෙන් තීරණයක් ගන්න බැරි සැමියෙක්ගෙන් ඇත්තටම වැඩක් නැ. මගේ අම්මා තාත්තා ඉන්නවා, එයාල එක්ක මම මගේ දරුවෝ දෙන්නා උස් මහත් කරගන්නවා. මම මගේ දුවව නම් නැන්දම්මලා එක්ක එක ගෙදරක ජිවත් වෙන්න තීරණය කරන කිසිම කෙනෙක්ට බන්දලා දෙන්නේ නෑ. ඒ වගේම නිහතමානිකම තියෙන්නම ඕනේ, තමන් ගැන තියෙන අධි තක්සේරුව තමයි මේවට මුල.එතකොට හිතෙන්නේ තමන් කොයි දේ කලත් හරි කියලා විතරයි. විවාහ වුණාට පස්සේ කොයි කාටත් තමන්ගේ කියලා ජිවිතයක් තියෙන්න ඕනේ.

මේ ඇගේ කතාව. එක පැත්තක් ගැන විතරක් හිතලා ගැටලුවකදී තීරණයකට එන්න අපිට බැරි උනත් ඇයගේ අවසාන තීරණය වෙලා තිබුනේ සැමියාගෙන් වෙන්වීම. පුංචි දරුවෝ දෙන්නා එක්ක තමන්ගේ අම්මා තාත්තා ලඟට අපහු යන එක. නැන්දම්ම ලේලි අඩ දබර අද වෙනකොට නැති තරම් කියලා අපි හිතුවත් ඒ දේවල් නැත්තටම නැති වෙලා නැ කියල මට හිතුණා. කොයි දේ වුනත් තමන්ගේ දෙමව්පියන් වගේම බිරිඳත් වැදගත් විය යුතුමයි සැමියෙකුට. අඩු තරමේ ඇගේ සැමියා ඇයට රැකියාවකට යන්න ඉඩ දුන්නා නම් මේ තත්ත්වය මේ තරමටම දරුණු නොවෙන්නත් ඉඩ තිබුණා. කොයි දේ කොහොම වුනත් තමන්ගේ බිරිඳ අන්ත අසරණ තත්ත්වයට පත් වෙන තෙක්ම ඇගේ ජීවිතය සැමියෙකු අතින් හොඳින් හෝ නරකින් පාලනය වෙනවා නම් මානුෂීයව ඒක සාධාරණ නැහැ. අන්න ඒ නිසයි, “විවාහයට තිත තබන්නට හිතෙන තුරුම බිරිඳ ලවා ඉවසවන්න එපා..” කියලම කතාව පටන් ගත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here