කුස්සියේ වැඩට මිනිත්තු පැකට්…

0
2890
woman-busy-with-kitchen-work

ඉස්සර වගේ දවසකට පැය 24ක් දැන් නැතිද කියල ඔබ හිතිලා ඇති. ඒ තරමට වැඩ!! දරුවන්ගේ වැඩ, ගෙදර දොරේ වැඩ, උයන පිහන වැඩ, යුතුකම් ඉටුකරන ගමන් බිමන්, කන්තෝරු වැඩ… මේ ඔක්කොම කරන්න කීයක් වියදම් කරලා හරි පැය 3-4 ගන්න තිබ්බ නම් කියල ඔබට අනන්තවත් හිතිලා ඇති. ඉතින් තමන්ගේ අත්දෙකෙන්ම හැමදේම කරගන්න ඔබට, ගෙදර දොරේ වැඩ කරද්දීම කාලය උපද්දවා ගන්න පුළුවන් විදි කිහිපයක් බලමු.

සතියටම ඇති වෙන්න පොල් ටික ගා ගන්න. දැන් සති පොලවල්වල පොල් ගා දෙන සේවය සලසන වෙළෙඳුන් ඉන්නවා. ඒ අයගෙන් හෝ තමන් ගෙදර තමන්ට සතියකට අවශ්‍ය තරමට පොල් ගාගෙන මැල්ලුම්, පොල්සම්බල් වලට ඕනේ තරම අයින් කරලා, ඉතිරිය මිරිකලා මිටි කිරි දිය කිරි වෙනවෙනම අයිස් කැට හදන ට්‍රේ වලට දාල මිදුනට පස්සේ ෆ්‍රිසර් ෆ්‍රෙන්ඩ්ලි බෑග් වල දාල තියන්න. පාන්දරට උයන්න ඕනේ කරන තරමට පොල් කිරි කැට ටිකක් කලින් දවසේ රෑට භාජනයකට දාල ෆ්‍රිජ් එකේ එළවලු දාන කොටසෙන් තියන්න. පාන්දරට පොල් ගාල බ්ලෙන්ඩර් කරලා පෙරලා පොල් කිරි ටික හදාගන්න… ඒ භාජන සෝදන්න යන වෙලාව ඉතුරුයි. කාලය විතරක් නෙවි සල්ලිත් ඉතුරුයි. පොල්ටික ගාල මිරිකන්න භාජන 2-3 සහ පෙනේරයක් බ්ලෙන්ඩරයක් පාවිච්චියට ගැනෙනවනේ. මේවා දවස් 5 කට අවම දෙවතවක්වත් හෝදන්න යන වතුර ඉතුරුයි.

කන්තෝරු ඉවර වෙලා පුතාගේ පිහිනුම් පුහුණුවීම වලින් කොල්ලවත් අරගෙන ගෙදර එනගමන් හන්දියේ කඩෙන් කෑම පාර්සල් 5ක් අරන් එන්නේ… ගෙදර ඇවිත් උයන්න මහන්සි සහ වෙලාව ගතවෙන නිසානේ. ආව ගමන් ඇඳුම් මාරු කරලා බතක් රයිස් කුකර් එකේ ගහල පරිප්පු ටිකක් හෝදලා ළූණු අමුමිරිස් රම්පෙ කරපිංචා තුනපහත් එක්ක දිය කිරි කැට දෙකක් දාල ලිපට තියන්න… පරිප්පුව පැහෙනකල් ලුණු අමුමිරිස් තාක්කලි චීස් ටිකක් කපල දාල බිත්තර ඔම්ලට් එකක් හදන්න. නැත්නම් කලින් තුනපහ අතගාපු ශිතකරණේ තිබ්බ මාළු ටික ලිපට තියන්න. කොල්ලා වොෂ් දාලා “අම්මා බඩගිනි…” කියාගෙන එද්දී දුම දාන බත් පිගාන බෙදල දෙන්න. තෙල්වැක්කෙරෙන, වසින් රස කළ, පැය ගණනක් වෙළද සලේ පරණ වුණු රයිස්පෙට්ටියට, කොත්තුරොටියට වඩා ආසාවෙන්, මහන්සිවෙලා ආව ඔබේ පුතා බඩපිරෙන්න රාත්‍රී ආහාරය ගනීවි.

සති අන්තයේ හරි… සතියේ දවසක උයන පිහන අතරතුර හරි… පලතුරු සෝදලා කපලා පවුලේ අයට වේලකට ඇති තරමට කොටස් කරලා ෆ්‍රිසර් ෆ්‍රෙන්ඩ්ලි භාජන වල දාල ෆ්‍රීස් කරන්න. හෙට පාවිච්චියට ගන්න කොටස අද රෑට ශීතකරණයේ පහල තට්ටුවට දාන්න. උදේට ඒ පලතුරු ටික බ්ලෙන්ඩරයට දාල අයිස් කැට ටිකක් සිනි පොඩ්ඩක් ලුණු ඇබින්දක් දාල බෙලෙන්ඩ් කරන්න. පියන සහ බට සහිත ලස්සන කෝප්ප කිහිපයක් මිලදී ගෙන ඒවාට ජුස් ටික දාල දරුවෝ ඉස්කෝලේ යන්න ලෙස්තිවෙද්දී කෑම මේසෙන් තියන්න. උදේට දඩි බිඩියේ කන කෑමක් කාල එක හුස්මට අර ජුස් එක ආසාවෙන් බෝවී, නැත්නම් වාහනේ යනගමන් බිබී යන්න දෙන්න. පළතුරු එළවලු කිහිපයක් එක්ක “රජෙක්” වගේ කන්න වෙලාවක් කොහෙද උදේට කියල හිත හිත උන්න නම් දැන් ඒක හරි. දවස් 5 ට වෙන වෙනස් පළතුරු… ඉඳ හිට කැරට්, පිපින්නා වගේ දේවල් ජූස් එකට දාන්න… අඹ වාරෙට රස අඹ ගෙඩි දෙක තුනකට යෝගට් කිරි ටිකක් දාල mango lassie හදන්න. උදේ කෑමට හොර ඇත්තන්ට ඕට්ස් ටිකක් යෝගට් ටිකක් දාලා පලතුරු smoothie එකක් දෙන්න.

සති අන්තේ ගෙදරට අවශ්‍ය කෑම බිම ගෙනාවම මස් , මාළු ඔක්කොම සෝදලා කපලා වෙන වෙනම ෆ්‍රිසර් ෆ්‍රෙන්ඩ්ලි භාජන වලට දාල පදම් වෙන්න ගම්මිරිස් කහ ලුණු මිරිස් තුනපහ දාල මේ භාජන ශීතකරණයේ එළවලු දාන කොටසේ පැය 5-6 තියල ෆ්රිසරේට දන්න. හෙට උයන්න ගන්න මාළු ටික අද රෑට පහල තට්ටුවට දාන්න. මගේ අම්මා අපි පුංචි කාලේ මාළු මේ විදියට කපල සෝදලා පිටි කවර වලට දාල ෆ්රිසරේ දාල තියනවා මට මතකයි. මම දැන් කහ ලුණු මිරිස් තුනපහ අතගාලම තියනවා. උදේට ආයේම මාළු අතගාන්න ඕනේ නැහැ. සුදුලුනු ඉඟුරු කරපිංචා රම්පෙ දැම්ම ලිපට තිබ්බ. ඔපිස් ඇරිලා ගෙදර ඇවිත් රෑට උයන්න ඕනේ මස් හෝ මාළු ටික උදේට ශීතකරණයේ පහල තට්ටුවට දාල යන්න. මස් මාළු දාන්න ගන්න ෆ්‍රිසර් ෆ්‍රෙන්ඩ්ලි භාජන රවුම් හැඩේ ඒවා ගන්න, එතකොට පිරිසිදු කරන්න පහසුයි.

ගෙදර දොරේ වැඩ අතපසු නොකර… ඒ කරන වැඩ වලින්ම කාලය හොයාගන්න මේ පුංචි පුංචි ටිප්ස් ඔබට උදව්වක් වේවි කියලා විශ්වාසයි.

 කතුවරිය ගැන


deepikaදීපිකා ගුණසේන
මම ඉතා ඉහළ වගකීමක් දරණ, සම්පුර්ණ තෘප්තිමක් වෘත්තීයක පුර්ණකලිනව නියැලෙමි. තවම සේවා කාලය අවුරුදු 6කි. අවුරුදු තුනහමාරකට පෙර උසස්වීමක් ලදිමි. එයින් රාජකාරි කටයුතු දෙගුණයක් වුවා සේම දීමනා හා ප්‍රතිලාභද දෙගුණ විය. සේවා ස්ථානය මගේ උණුසුම් කැදැල්ලයි. සේවා ලාභීන් ඒ සුන්දර කැදැල්ලේ නිවැසියන්ය. තනතුර “අම්මා”. බඳවා ගැනීම් අයදුම් පතේ තනතුර තිබුනේ බිරිඳ ලෙස බවද මතකය.ගෙවුණු අවුරුදු 6 තුළ ඒ පුංචි ජිවිත වලින් නැවත ජීවිතය උගතිමි.මාගේ ළමා ජීවිතය නැවත මතකට නගමි.මේ සියලු දේ අතරේ ඉඩ තිබෙන හැටියට සිතුවිලි අකුරට පෙරලමි.

            

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here