ගෙදර දොරේ වැඩට මිනිත්තු පැකට්

0
3218
busy-woman-at-home

මිනිත්තු පහේ පැකට් එකක් රුපියල් කියක් විතර වටිනවද ? උදේ නැගිටලා පැයක් දෙකක් හෙමින් හෙමින් හැඩ වැඩ වෙලා අම්මා පාන්දර උයලා-බැඳලා අතටම දෙන බත්ගෙඩිය බෑග් එකට ඔබා ගෙන ඔපිස් යන්න පිටත්වුණු කෙල්ල කාලේ ජිවිතේ මතක් වෙද්දී කෙල්ල, යුවල වෙලා , යුවල පවුල වෙද්දී මිනිත්තු පැකට් එකක මිල වැඩි වුණේ තෙල් මිලටත් වඩා වැඩි වේගයකින් කියලයි හිතෙන්නේ… තමන් අම්මෙක් වෙනකල්ම තමන්ගේ අම්ම මේ තරම් වැඩ කන්දක් දවසකට කළාද කියලා හිතුණෙම නැහැ නේද? පවුලට චුටියෙක් එකතු වුණාම… ප්‍රසුත නිවාඩු අවසන් කරලා ටික දවසකින් ඔබ ආයේම කන්තෝරු යන්න ගත්තම… තවත් ටිකක් කල් ගතවෙලා චුටියා මොන්ටිසෝරි යන්න,ඉස්කෝලේ යන්න පටන් ගත්තම…. චුටියා අය්යෙක් හරි අක්කෙක් හරි වෙලා තව බබෙක් පවුලට එකතු උනාම…. ඉස්සර වගේ දවසකට පැය 24ක් දැන් නැතිද කියල ඔබ හිතිලා ඇති. ඒ තරමට වැඩ!! දරුවන්ගේ වැඩ,ගෙදර දොරේ වැඩ, උයන පිහන වැඩ, යුතුකම් ඉටුකරන ගමන් බිමන්,කන්තෝරු වැඩ… මේ ඔක්කොම කරන්න කීයක් වියදම් කරලා හරි පැය 3-4 ගන්න තිබ්බ නම් කියල ඔබට අනන්තවත් හිතිලා ඇති. ඉතින් තමන්ගේ අත්දෙකෙන්ම හැමදේම කරගන්න ඔබට,ගෙදර දොරේ වැඩ කරද්දීම කාලය උපද්දවා ගන්න පුළුවන් විදි කිහිපයක් බලමු.

පවුලේ සියල්ලන්ගේම සතියේ ඇඳුම් එක දවසක off peak වෙලාවේදී මැදලා තියන්න. කාලයත් මුදලුත් ඉතිරිකරගන්න පුළුවනි. තාත්තල පුතාල ඔක්කොගෙම කපල් කරපු මේස් කුට්ටම්, තාත්තගේ ටයි පටි, වෙස්ට්, යට ඇඳුම් ඔක්කොම ඒ ඒ දවසේ ඇඳුම් සැකසුමත් එක්කම එකට තියන්න… පාන්දරට “අම්මා මගේ මේස් එක කෝ…” “බබා මගේ නිල පාට ඉරි ඉරි ටයි එක දැක්කද…” කියල අහද්දී සාරිය බාගෙට ඇඳ ඇඳ කාමර පුරා දුවන්න යන වෙලාව ඉතුරු වේවි. මේස් කපල් කරන්න, තාත්තගේ කමිස වලට ටයි පටි ගලපන්න වගේ දේවල් වලට උදව් දිය හැකි වයසේ දරුවන් සිටිනම් ඒවාට ඔවුන් සහභාගී කරවගන්න.

වෙලුනු රෙදි ටික වැල් වලින් ගනිද්දිම නවන්න. නවලා ඒ ඒ අයගේ ඇඳුම් අසුරන කබඩ් / ලාච්චු වලට දමන්න. ඒ සඳහා රෙදි බේසමක්/කූඩයක් ගන්න. වැල්වලින් ගන්න රෙදි එවෙලේම නවලා ඒ බේසමේ/කුඩයේ අඩුක් කර ගෙට ගෙනත් ඒ ඒ කබඩ් වල අසුරන්න. “නවන්න අපේක්ෂිත” පුටුවෙන් ඇඳට ඇඳෙන් පුටුවට මාරුවෙන රෙදි කන්දක් ඔබේ ගෙදර තියෙන එකක් නැහැ. සෝදා වේලාගත් මේස් කුට්ටම් එක මේස එකක් නව අනික් මේස එකට ඔබා වලෙන් ගනිද්දීම කපල් කර කබඩ් වලට දමන්න. නාන කාමරය අසලින් වර්ණ කිහිපයක කූඩ කිහිපයක් තැන්පත් කර කිලිටු ඇඳුම් ඒ අදාළ කුඩයට දමන්නයි ඔබේ නිවැසියන්ට කියන්න. එලියට අඳින ඇදුම්, ගෙදරට අඳින ඇඳුම්, තද පාට ඇඳුම්, බබාලාගේ ඇඳුම් වගේ ඔබේ නිවැසියන්ට ගැලපෙන පරිදි කූඩ නම් කර තබන්න. එයින් රෙදි සෝදන මැෂිමට රෙදි ටික දමද්දී තෝරන්න ගතවන ඔබේ කාලය ඉතිරිවෙනවා. දැන් තියෙන රෙදි සෝදන මැෂින් වල option කිහිපයක් තියෙන නිසා ඒ ඒ රෙදි වලට උචිත සේදුම් විදිය යෙදීමෙන් රෙදිවල කල්පැවැත්මට මේ තේරීම පිටිවහලක් වෙනවා.

හෑන්ඩ් බෑග් එකේ හෑන්ඩ් ක්‍රීම් එකක් තියාගන්න. කාලය ගෙවා දමන්න සිදුවෙන තැනකදී ක්‍රීම් ටිකක් ගාල අතේ ඇඟිලි ටික සිහින්ව සම්බාහනය කරගන්න. ඉතින් මෙහෙම ඉතුරු කරගන්න වේලාවෙන් මොනාද කරන්න පුළුවන්. ව්‍යායාමයට වෙලාවක් හොයාගන්න… මුහුණට ගෙදර දීම ෆේස් පැක් එකක් දාන්න.. මල් පත්තියක් එළවලු පාත්තියක් හදා ගන්න. දැනට පාන්දරට එළවලු පැල ටික බලල වතුර දන්නා ගතකරන විනාඩි 20 විනාඩි 30ක් 40ක් කරන්න… පොතක් පතක් කියවන්න… දරුවන්ට කතන්දර පොතක් කියවන්න… උදේ එලාර්ම් එක ඇහුණාම ඇඳෙන් පැනල බැටරි දාපු අස්සයෙක් වගේ එක සීරුවට වැඩ කරගෙන යනවා වෙනුවට පාන්දර සීතලේ ගුලිවෙලා නිදියන දරු පැටව් ටික ඉඹල තුරුල් කරගෙන ඉන්න…. කෝපි එකක් තේ එකක් හදාගෙන දෙන්න දෙමහල්ලන් පොඩ්ඩක් කතා කරකර ඉන්න… හැමදාම සාරිය අන්දලා යන්තම් පීරලා වුල් බෑන්ඩ් එකක් දා ගෙන යන කොණ්ඩෙට ඉඳල හිටලා කතෝරු ගමනට උචිත කොණ්ඩ සැරසිල්ලක් කරගන්න… මේ උපයා ගත් කාලය ප්‍රයෝජනවත් ප්‍රයෝජනවත්  වේවි.

ඇස් දෙක ඇරන් ඉන්න හැම තත්පරේම ගිනි කසයා වගේ දුවන අම්මෙක්ට වඩා දරුවන්ට තමන් කියන දෙයක් අහගෙන ඉන්න ඕනේ වෙලාවක වෙලාව දෙන්න පුළුවන් අම්මෙක් වෙන්න… හොඳම යෙහෙළියකගේ දුක් ගැනවිල්ලක් අහගෙන ඉන්න පුළුවන් ඉස්පාසුවක් ඇති මිතුරියක් වෙන්න…. ලොකු පුංචි තරාතිරමක් නැතිව ඕනෙම නැදයෙකුගේ මරණෙට මගුලට පිරිතට ගොඩවෙන්න පුළුවන් විවේකයක් ඇති සොයුරියක් වෙන්න…. රසවත් කෑම බීම ඇති ලස්සන ගෙදරකට හිනා පොදක් නැති බිරිඳක් දකින්න එන සැමියෙකු වෙනුවට ඔබව දකින්න ආසාවෙන් ගෙට ගොඩවෙන සැමියෙක් ඉන්න ආදර කතා බහකට ඉසිඹුවක් ඇති සුන්දර ආදරණිය බිරිදක් වෙන්න.

කුස්සියේ වැඩට මිනිත්තු පැකට් එකක් අරගෙන මීළග ලිපියෙන් මුණගැහෙන්නම්.

 

 කතුවරිය ගැන


deepikaදීපිකා ගුණසේන
මම ඉතා ඉහළ වගකීමක් දරණ, සම්පුර්ණ තෘප්තිමක් වෘත්තීයක පුර්ණකලිනව නියැලෙමි. තවම සේවා කාලය අවුරුදු 6කි. අවුරුදු තුනහමාරකට පෙර උසස්වීමක් ලදිමි. එයින් රාජකාරි කටයුතු දෙගුණයක් වුවා සේම දීමනා හා ප්‍රතිලාභද දෙගුණ විය. සේවා ස්ථානය මගේ උණුසුම් කැදැල්ලයි. සේවා ලාභීන් ඒ සුන්දර කැදැල්ලේ නිවැසියන්ය. තනතුර “අම්මා”. බඳවා ගැනීම් අයදුම් පතේ තනතුර තිබුනේ බිරිඳ ලෙස බවද මතකය.ගෙවුණු අවුරුදු 6 තුළ ඒ පුංචි ජිවිත වලින් නැවත ජීවිතය උගතිමි.මාගේ ළමා ජීවිතය නැවත මතකට නගමි.මේ සියලු දේ අතරේ ඉඩ තිබෙන හැටියට සිතුවිලි අකුරට පෙරලමි.

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here