උදෙන් ඇහැරෙමුද අපි

0
3803
wakeup_early_in_the_morning

මේ දවස් වල උදේට තියෙන්නේ පුදුම සීතලක්.  සිතල නිසා පොඩ්ඩෝ නම් උදේ ඉස්කෝලේ යන්න හරිම කම්මැලියි. ඒත් අම්මලාට නම් කම්මැලියි කියල නිදාගෙන ඉන්න බැහැනේ දවල් වෙනකම්. උදේ පාන්දරින් අවදි වුනේ නැතිනම් දරුවන්ව වෙලාවට පාසල් යවන්න, රැකියාවට යන්න එහෙම බැරි වෙනවා.

අපි කවුරුත් කැමති උදේට තව ටිකක් වෙලා නිදාගන්න තියෙනවනම්.  ගොඩක් අය පහට විතර ඇහැරුනාට ඇදේ එහෙම මෙහෙට හැරි හැරී ඉන්නවා හය විතර වෙනවකම්. ඊට පස්සේ පරක්කු නිසා කලබලෙන් ලේස්ති වෙලා වැඩට යනවා. පරක්කු වෙලා ඇහැරුනොත් මුළු දවසෙම වැඩ කටයුතු හරියට කරගන්න බැරිවෙන අවස්ථාත් නැතිවම නෙවෙයි. මොකද කලබලේට ලේස්ති වෙද්දී වුවමනාම දේවල් වුනත් අමතක වෙලා ගෙදර දාල වැඩට යන අයත් අපි අතර ඉන්නවා.

ඉතින් මේ කියන්න යන්නේ උදේ පාන්දරින් (හතරට වගේ) ඇහැරිලා දවසේ වැඩ කටයුතු පටන් ගන්න එකේ තියෙන වාසි ටිකක්.

උදේ පාන්දර කියන්නේ දවසේ නිස්කලංකම වෙලාවක්. පාන්දර ඇහැරිලා අද දවසේ කරන්න ඕන මොනවද කියලා හිතන්න ප්ලෑන් කරන්න පුළුවන් නම් දවස හරියට කළමනාකරණය කරගන්න ඔයාට  පුළුවන් වේවි. ඒ වගේම පාඩම් කරන ළමයි බහුතරයක් උදෙන්ම ඇහැරිලා පාඩම් කරනවා. හිතේ කලබලත් නැති නිස්කලංක වෙලාවක් නිසා හොඳින් මතක තියාගන්නත් පුළුවන් උදෙන් පාඩම් කරොත්.

ඒ වගේම උදෙන් ඇහැරිලා මුණකට සෝදලා තමන් අදහන ආගම දහම සිහිපත් කරලා වැඩ කටයුතු පටන් ගන්නත් ඔයාට පුළුවන්. මේකෙන් එක්තරා විදියක මානසික සුවයක් ලබාගන්නත් ඔයාට පුළුවන්. ගොඩක් වෙලාවට අපි කරන්නේ යන එන ගමන කලබලෙන් වදින එකනෙ.

ශරීර සුවතාව ගැන වැඩිපුර හිතන කෙනෙක් නම් ඔයා, උදේම ජිම් එකට යන්න පුළුවන් වේලාසන ඇහැරුනොත්. එහෙමත් නැතිනම් පලතුරු යුෂ ටිකක් බීලා ගෙවල් ලග තියෙන වෝකින් ට්‍රැක් එකේ පොඩ්ඩක් දුවන්න පුළුවන්. එහෙමත් නැතිනම් ගෙදර ඉදන්ම යෝගා වගේ ව්‍යායාම වල යෙදෙන්න පුළුවන්.

ඒ වගේම උදෙන් ඇහැරුනාම දවසේ වැඩ කටයුතු ටික කරගන්න වැඩිපුර පැය කීපයක් ඔයාට ලැබෙනවා. මේ නිසා දවසේ වැඩ කටයුතු ටික අතපසු කරගන්නෙ නැතිව කරගන්නත් පුලුවන්. ගොඩක් වෙලාවට අපි පසුතැවිලි වෙනවා දවසේ පැය විසිහතරත් මදි මේ තියෙන වැඩ කන්දරාව ඉවර කරගන්න කියලා. පාසල් යන වයසේ බබාල ඉන්න අම්ම කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් ඔයාට එහෙම හිතෙනවා ඇති.දරුවන්ගේ හෝම්වර්ක් වලින් වැඩි ටික කරන්න වෙන්නෙ ගොඩක් වෙලාවට අම්මලාට නෙ.

තවත් දෙයක් උදෙන්ම ඇහැරුනොත් දරුවන්ට වගේම පවුලේ අනිත් අයටත් උදේ ආහාරයට පෝශ්‍යදායි ආහාරයක් (බත් එක්ක එලවලු කිහිපයක් නැතිනම් කඩල කව්පි වගේ ධ්‍යාන්‍ය වර්ගයක්) හදාගන්නත් පුලුවන්. හුඟක් අය කරන්නේ ඔෆිස් එකට යන්න පරක්කු වෙලා කියලා කඩෙන් කෙටි කෑම වර්ගයක් ගන්න එක. මේ වගේ වැරදි පුරුදු නිසා තමයි අපෙ ශරිරය ලෙඩ ගොඩක් වෙන්නේ.

ටිකක් කලින් උදෙන් ඇහැරෙන්න පුරුදු වුනාම පරක්කු වෙන්නෙ නැතිව ඔෆිස් යන්න පුලුවන්. පරක්කු වෙලා වැඩට ගියාම බොස් ගෙන් බැනුම් අහන්න වෙන නිසා දවසම අප්සට් මූඩ් එකේ ඉන්න වෙන්නෙ. ඉතින් රතු ඉර ගහන්න කලින්  වැඩට යන්න නම් ටිකක් කලින් ඇහරෙන්න.

තවත් දෙයක් උදෙන්ම ඇහැරුනොත් ලස්සනට ලැහැස්ති වෙලා ඔෆිස් එකට යන්න ඔයාට ඕන තරම් වෙලා තියෙනවා. මේක් අප් ටිකක් ගාලා පිලිවෙලට ගියාම හැමෝටම ප්‍රස්සන්නයි නේ.

උදෙන් ඇහැරෙන්න අමාරුනම් තමයි. ඒත් පුරුදු වුනොත් නම් ඔයාට ගොඩක් වැඩ කරගන්න වෙලාව ඉතිරි වෙනවා. මුලින්ම එලාම් එකක් තියලා ඇහැරෙන්න. ටික දවසක් යද්දී එලාම් එක නැති වුනත් ඉබේටම උදෙන් ඇහැරෙයි. උදෙන් ඇහැරුනත් දවසට අඩුම තරමේ පැය හයකවත් සුව නින්දක් ලබාගන්න අනිවාර්යෙන්ම.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here