අපට අප අහිමි නොකරගනිමු

0
2509

විවාහය කියන බන්ධනය තුල මිහිරි අමිහිරි සිදුවීම් සමග අපේ ජීවිත ගලාගෙන යනවා. විවාහකයකදී අපට ලැබෙන වටිනාම වත්කම් වෙන්නේ අපේ දරුවෝ. අපේ ජීවිත වලට දරුවන්ගෙ පැමිණීමත් සමගම අපට අපව අමතකව යන්නේ අපටත් නොදැනීමයි. හැඩට වැඩට අඳින්න, ආසම කෑමක් බීමක් කන්න, සැමියත් සමග ආදරය විඳින්න අපට වෙලාව හරස් වෙනවා. ඔව්අපි අලූත්ම ජීවිතයකට හුරුවෙනවා.  නිවසේ ඔබට හිමිවන ප‍්‍රධානතම වගකීම ඔබේ ආදරණීය දරුවා. ඔබ හා සැමියා වෙනුවෙන් වෙන් වූ කාලයත් සම්පූර්ණයෙන්ම දරුවා වෙනුවෙන් වෙන් කරන්නට ඔබ දෙවරක් සිතන්නෙ නැහැ. දරුවන් දෙන්නා තුන්දෙනා වන විට ඔබට ඔබ ගැන සිතන්නටවත් කාලය නැතිවන්නට පුලූවන්.  අපිවත් නොදැනිම අපිට අපිව අහිමිවන්නට පටන්ගෙන නේද

කාන්තාවන් වන අපි අපේ දරුවො වෙනුවෙන්, පවුල වෙනුවෙන් අපි සතු හැම වටිනාකමක්ම අහිමි කරගන්න දෙවරක් සිතන්නෙ නැහැ. ඉහළටම උගත් සොයුරියන් දරුවන් වෙනුවෙන් පවුල වෙනුවෙන් රැකියාව අත්හරිනවා, හැකියාවන්ට සමු දෙනවා. ඇතැම් සොයුරියන් බාධක රැසක් අතරින්  ජීවිතය සමබර කරගන්න උත්සහයක යෙදෙනවා. අපේ දරුවො හැමදාම එකම වයසක රැදෙන්නෙ නැහැ. දින සති ගෙවෙද්දි පොඩ්ඩො ලොකු වෙනවා. කාලය ගෙවිලා යද්දි හිමි හිමින් දරුවො එයාලගේ ලෝක වලට පියාඹලා යන විට අපට අප ගැන සිතන්නට කාලයක් ඒවී. ඒ වන විට අපට අප අහිමි වී හමාරයි. එනිසාවෙන්ම සොයුරියනි, මේ මොහොතේ සිටම ඔබේ ආදරණීයන් වෙනුවෙන් වගේම ඔබ ගැනත් සිතන්නට අපේ වටිනාකම් පවත්වා ගන්නටත් උත්සුක විය යුතුයි. නිවසේ අධික වැඩ වලින් හෙම්බත් වූ පසු අඩු වශයෙන් ඔබේ රුව පිළිබඳව සිතන්නටවත් කාලය ඔබට නොමැතිවනවා ඇති. රූ සපුව පිළිබඳ හා සෞඛ්‍යය පිළිබවත් සිතන්න. දවසේ ටික මොහොතක් හෝ ඔබ වෙනුවෙන් වෙන් කරගන්න. ගීතයක් රස විඳින්න, විනෝදාංශයක නියැලෙන්න, නව දැනුම සොයා යන්න. සතුටින් ජීවිතය විඳින්න.

විවාහයෙන් පසු අතර මග අතහැර දැමූ අධ්‍යාපනය නැවත අරඹන්න. ලෝකය පිළිබඳ සහ අලූත් දැනුමින් පෝෂණය වන්ට පතපොත කියවන්න. ඔබ තුල නිද්‍රාගතව තිබෙන හැකියාවන් අවදි කරවන්න. ඒවා ඔප්නංවා ගන්න. නිවසේ සිටින ඔබ ස්වයං රැකියාවකින් ඉපයීමක් ගැනත් සිතන්න. නිර්මාණශීලිව ලියන්නට, අඳින්නට, විවිධ අත්කම් නිර්මාණ කරන්නට ඔබට ඇති හැකියාව සොයා බලන්න. ඒ හැකියාවන් තුලින් නැවත ජීවිතය කලඑළි කරගන්න. ඇතැම් විට ඒ තුලින් ඔබට ආදායමක් උපයා ගෙන පවුලට ශක්තියක් වන්නටත් හැකියාවක් ලැබෙනු ඇත. ඔබේ අනාගතය වෙනුවෙන් යම් මුදලක් ඉතිරි කරන්න. විශ්‍රාම සැලසුම් ක්‍රමයක් හෝ අනාගත ආයෝජනයක් සිදු කරන්න.

දවස වැඩ කටයුතු කරගන්නට පැය විසිහතරක් මදි අපට කාලයේ බාධකය නිසා සැමියා සමග පවතින සබඳතාවයේ ශක්තිමත් බවත් හෙමින් ගිලිහෙනවා. අපේ අවධානය ආදරය  පෙර ලෙස සිදු නොවීම සැමියා වෙනත් අනියම් ඇසුරකට යොමු වන්නට එක් කාරණයක් වන්නට හැකිය. අඩුම තරමින් සැමියා සමග දවසේ පැය භාගයක්වත් ගතකරන්නටත් අමතක කරන්න එපා. ඔබ දෙදෙනාගේ බැඳීම මිය යනතුරාවටම ශක්තිමත්ව තිබිය යුතුය. එහි පලූද්දක් සිදු වුවහොත් පවුලම අවධානමකය. ඔබේ දුක, සතුට, අපහසුතා, බලාපොරොත්තු  ඔහු සමග පවසන්න.ඔහුව ඔබේ කටයුතු වලට සහභාගී කරවා ගන්න.

නිවසක අත්තිවාරම අම්මාය. ඔබ ජීවිතය විඳින ආකාරය අනුව පවුලේ සතුට ද රඳා පවතී. ඔබ සතුටින් නම් පවුලේ සතුටද රැඳෙනු ඇත. ඉතින් සිතන්න අපට අපව අහිමි නොකර ගනිමින් ආදරණීය කැදැල්ලක් තනන්නට අපට හැකිය.

 

දිශාන්ති වෙදගේ 

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here