බැඳීම…..

0
2588

සුළඟට පැද්දෙන බෝ පත් වල සිලි සිලි හඬට පාරමී සවන් යොමා සිටියේ දැහැන්ගතවය. ඇයගේ දැහැන බිඳ වැටුණේ ජංගම දුරකථනයේ හඬින්ය. 

‘ප්‍රභාෂ් ‘තිරයේ සටහන්ව තිබුණි

ඇය ජංගම දුරකථනයෙහි හඬ නවතා ඒ දෙස අරමුණකින් තොරව බලා සිටියාය. දුරකථනය විසන්ධි විය. ඇය නැවතත් දෙනෙත් වසා ගත්තාය.ජීවිතය පුදුමාකාරය සමහර බැඳීම් අත්පත් කරගෙන ලංකර ගන්නා තුරු දැනෙන වටිනාකම අත්පත් කර ගැනීමෙන් පසු නැත. එවැනි බැඳීම් ගතින් ලංව තිබුණත් සිතින් බොහෝ දුරස්ය. පාරමී හා අකලංකගේ ජීවිත වල තිබුණේද මේ න්‍යායමය. පාරමී සමඟ විවාහ වන්නට පෙර අකලංක ඇයට ආදරය කළේ විටෙක ඇයට ඒ ආදරය දරා ගන්නටත් නොහැකි ලෙසය. එදවස් වල දිනක් හෝ පාරමීව නොදැක සිටින්නට ඔහුට නොහැකි විය. දිනපතා ඇය දකින්නට පැමිණෙන ඔහු ඉඳ හිට ඇයගේ පැමිණීම පමා වූ දාට විරසක විය. දෑ අවුරුද්දකින්  පසු ඔවුන් අතිනත ගෙන ඔවුන්ගේම ලෝකයක කැදැල්ලක් තැනු‌වෝය. ටික දිනෙකින් දෙදෙනා තිදෙනා විය. අකලංකගේ වෙනස් වීම ආරම්භයේ එතැන් සිටදැයි විටෙක පාරමී සිතුවාය. කෙසේ වුවත් ඒ වන විට පෙම්වතුන්  සමයේ දුටු ප්‍රේමය අකලංකගෙන් අත්විඳින්නට පාරමීට නොහැකි විය. 

නැවතත් ජංගම දුරකථනය නාද විය.

‘‘ප්‍රභාෂ් ආයෙමත් හ්ම්…’’ සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගත් පාරමී ඇමතුමට සම්බන්ධ විය.

‘’කොහෙද ඉන්නේ ?’’

එහා කොනින් ඇසුණේ ප්‍රභාෂ්ගේ තැන්පත් හඬය.

‘’පන්සලේ බෝ ගහ යට ‘’

‘’ඔයා දුකින් ? ‘’

‘’ ඔව් ‘’

‘’එන්නද මං ? ‘’

‘’එපා’’

‘’ඇයි? ‘’

‘’අපිට එහෙම මුණ ගැහෙන්න බැහැ ප්‍රභාෂ්. අපි දෙන්නටම වෙන අයිතිකාරයො ඉන්නවා, අපේ ඇස් වලින් ජීවිතය හොයන පැටවු ඉන්නවා. ‘’

‘’ඔව් ඒක ඇත්ත ඒත් මං ඔයාට ආදරෙයි’’

‘’ඔයාට ඒක කියන්න තිබුණේ මීට අවුරුදු විස්සකට කලින් මැට්ටෝ දැන් අපි වයසයි අපි අපිටවත් අයිති නැහැ’’

සිනාවක් අතරින් පාරමී පවසද්දී ඇයගේ කම්මුල් දිගේ කඳුලු පෙලක් ගලා ගියාය.

‘’මම තියන්නම් ප්‍රභාෂ් මට ටිකක් නිදහසේ ඉන්න ඕනී’’

ප්‍රභාෂ් ‘හා’ කියන්නටත් පෙර පාරමී දුරකථනය විසන්දි කොට දෑස් තදින් වසා ගත්තාය.

ප්‍රභාෂ් පාරමීගේ ප්‍රථම ප්‍රේමය විය.උසස් පෙළ නිමා කොට මානව සම්පත් කළමණාකරණය පාඨමාලාවක් හදාරන සමයේ හමු වූ , ඇය සෙවූ තරු දෑස් තිබූ ආදරණීය මිනිසා ඔහු විය. ඔහුගේ කතා විලාසය තැන්පත්ය, සිතුම් පැතුම් පාරමීගේ සිතුම් පැතුම් වලටම සමාන විය. ඒ වන විටත් ඔහුට පෙම්වතියක් සිටින බව පාරමී දැන සිටියද ඉඩහසර ලැබෙන සෑම මොහොතකම ඇය ඔහු හා දොඩමලු විය. ඇයට ඇවසි වූයේ කෙසේ හෝ ඔහු තමා සතු කරගන්නා ආත්මාර්ථකාමී හැඟීමක් පමණක්මය. මාස හයක කාලයක් ඔවුන් අධ්‍යාපන ආයතනය තුල හමුවී දොඩමලු වුවද ‘’මං ඔයාට ආදරෙයි’’ කියා කිසි දිනෙක ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුගේ මුවින් පිට නොවීය. එහෙත් හදවතින් ඔහු සමඟ පාරමී බොහෝ දුර ගොස් සිටියාය. එදා දවස පුරාවටම වැසි ඇද හැලුණි. විභාගය අවසන් වී තිබුණු හෙයින් පුස්තකාලයෙන් ලබා ගත් පොත් මාරු කරගන්නට පාරමී පුස්තකාලය වෙත පිය නැගුවේ තනිවමය. 

‘’පාරමී අපි කෝපි බොන්න යන්නෙ එනවද ඔයත්?’’ මිතුරු මිතුරියන් කිහිප දෙනෙක් සමඟ සිටි ප්‍රභාෂ් විමසද්දි තමන්ගේ සිතේ ගැඹුරුම තැනෙහි නිදන් ගත ව සිටින පුද්ගලයාගේ ආරාධනාව ඇය හිස් මුදුනින් පිළිගත්තාය.

යමු ඇය හිනැහී පැවසුවාය. ඒ වන විටත් යහලු යෙහෙළියන් කුඩ ඉහලාගෙන පිටත්ව ගොස් සිටි නිසා ඉතිරි වූයේ පාරමිත් ප්‍රභාෂුත් පමණක්ය. 

‘’ඉතින් ඉහළන්න කුඩේ’’

තනියමවත් යන්නට බැරි කුඩේ යට ඔවුන් තනි විය. සිරි පොද සීතල සුළඟ සමඟ මුසුව ගත දැවටෙන්නට විය. ප්‍රභාෂ් ඔහුගේ දෑතක් අයගේ කරවටා යවා ඇයව  ඔහු වෙත ලංකරගත්තේය. පාරමී තිගැස්සී ඔහු දෙස බැලුවාය. ක්ෂණිකයනින් ඔහුගේ රතු දෙතොල් ඇයගේ නලළ සිප ගනිද්දි සීතල පරිසරය තුලදී ඇය ගිණියම් වූවාය. හදවත ප්‍රබෝධමත් වුවත් ඇය තිගැස්සී ඔහුගේ දෑස් දෙස බලා උන්නාය. වෙනදා ගිරවියක් මෙන් දොඩවන ඇය ගොලු වී සිටියාය. 

ඒ හමුවීම ඔවුන්ගේ ජීවිතයේ අවසන් ලංවීම වනු ඇතැයි ඇය සිහිනෙන්වත් සිතුවේ නැත. එහෙත් එය  එසේ සිදු විය. ඊ ළඟවාරයේ සිට ප්‍රභාෂ්ව පාරමීට දකින්නට ලැබුනේ ඉඳ හිටය. ඔහු පාරමීට මුහුණ දුන්නේ නැත. බොහෝ දින වල ඔහුගේ පෙම්වතියද ආයතනට පැමිණ සිටියාය. ජීවිතය කෙතරම් නම් අකාරුණිකද ? සතුට දෝතටම දී උදුරා ගනියි. 

‘’අඩුම තරමින් මගේ හිතේ තියෙන ප්‍රශ්න ටිකටවත් උත්තර ගන්න බැරි වෙයිද? ඇත්තටම ප්‍රභාෂ් මට ආදරේ කළේ නැද්ද? ඇයි එතකොට එදා මාව ලං කර ගත්තේ?’’

දහසකුත් ප්‍රශ්න ඇගේ සිත තුල ඇස් හරිද්දි ඇය තනිව සිතෙහි ගොඩ නැගූ ප්‍රථම ප්‍රේමය හදවතේ පතුලෙහි තැන්පත් කර ජීවිතයට කඳුලු අතරින් සිනාසුනාය. අකලංක ඇය සේවය කළ ස්ථානයට නිතර නිතර පැමිණි පාරිභෝගිකයෙක් විය. ඔහු ඉතා සුහදශීලී තරමක් කළබලකාරී තැනැත්තෙක් විය. පාරමීගේ ආදරය පැතුවද සිත පතුලේ සැඟව සිටින ප්‍රභාෂ්ගේ මතකය ඊට හරස් විය. ඇය දිනා ගැනීමට අකලංක නොකළ දෙයක් නැත. අවසන ඔහු 

‘’මම කෙලින්ම ගෙදරින්’’ අහන්නම් යැයි පැවසූ පසු පාරමී ඔහුට කැමැත්ත ප්‍රකාශ කළාය. 

ප්‍රභාෂ්ගේ මතකය සිත පතුලේ සඟවා පාරමී අකලංක සමඟ නව ජීවිතයක් ඇරඹුවාය. විවාහයෙන් පසු අකලංක රැකියාව නිසාත් උසස් අධ්‍යාපන කටයුතු නිසාත් බොහෝ කාර්යය බහුල විය. ඇතැම් දිනෙක ඔවුන්ට වචනයකින් හෝ දොඩමලු වන්නට කාලයක් තිබුණේ නැත. රැකියාවේ කටයුතුත් ,නිවසේ කටයුතුත් කුඩා දියණියගේ වැඩ කටයුතුත් සමඟ පාරමීද කාර්යය බහුල විය. තමා පැතූ ජීවිතය මෙයදැයි සිතන සෑම මොහොතකම දිය යට රඳවන්නට වෙරදරන රබර් බෝලයක් ආයසයකින් තොරව උඩට මතු වන්නා සේ ප්‍රභාෂ් ඇගේ සිතේ සක්මන් කලාය. කාලය ඉකුත්ව යද්දි ඇය දෙවැනි දරු ප්‍රසූතියට සැරසුණාය. මේ වන විට අකලංක ඔහුගේ ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලයක් දැරූ නිසා ඉතාමත් කාර්යය බහුල විය. අඩුම වශයෙන් දරුවා ලැබෙන තුරුම පාරමී සමඟ සායනට  එකවරක්වත් යන්න ඔහුට හැකියාවක් ලැබුණේ නැත. පාරමී දැනුනේ මහා හිස් බවක් සහ තනිකමක් පමණි. දින සති ගෙවී ගියේ වේගයෙන්ය.දෙදෙනා කතාවකට මුල පිරූ විට එය අවසන් වූයේ සිත් රිදීමකින්ය. ගැටලු විසඳා ගන්නට ගිය තැන තවත් ගැටුමක ඇරඹුක් ඇති විය. අවසන පාරමී ඇගෙන් ඉටු විය යුතුකම් ඉටු කරමින් අකලංක සමඟ කතා බහ අවම කළාය. දියණියත් පුතාත් වෙනුවෙන් කාලය වැය කරමින් පාරමී ඔවුන් සමඟ තනිවම ජීවිතය විඳින්නට උත්සහයක යෙදුනාය. ඇය හැකිතාක් සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වන්නට පුරුදු පහුණු වූවාය. හිතට තනිකමක් දැනෙන හැම මොහොතකම ප්‍රභාෂ් පිළිබඳ මතකය ඇගේ හදවත තුල ඇස හැරියාය. එය පුදුම බැඳීමකි. ආදරේ යැයි මුවින් ප්‍රකාශ නොකලද කෙටි කාලයක් එකට සිටි ඒ බැඳීමට ඇය මෙතරම්ම ලෝභ ඇයිද යන්න ඇය ඇයගෙන්ම විමසූ අවස්ථා වල ඇයට ලැබුණු පිළිතුර 

‘’ඒ මම හොයපු ඇස් , මම හොයපු නිදහස් හිත, මම හොයපු නිවිච්ච බව මගේ ප්‍රථම ප්‍රේමය’’ ඇය ඇයටම පිළිතුරු බැන්දාය. ඒ ප්‍රථමය ප්‍රේමය හිතේ දරාගෙන වර්තමානය තුල ජීවත් විය.

ජීවිතය පුදුමාකාරය දුක තනිය විසින් ඇය පීඩා විඳින කාලයක නොසිතූ මොහොතක , ප්‍රභාෂ්ව නැවත පාරමීට මුණ ගැස්වීය. එදින සෙනසුරාදාවක් වුවද අකලංකට හදිසියේ යෙදුන කටයුත්තක් නිසා පාරමීත් දරුවන් දෙදෙනාත් දියත උද්‍යානයට ඇරලවා ඔහු පිටත්ව ගියේ ය. දරුවන් සෙල්ලමෙහි යෙදෙන අතර පාරමී ඒ දෙස බලා සිටියාය. හුරු පුරුදු පිරිමි රුවක් පාරමී ඉදිරියෙන් ඇදුනාය. ඔහු පිටු පස හැරී බලන විට ඇය ද ඔහු දෙස බලා සිටියේය. එවර ඔහු ඈ ඉදියට ආවේ ඔහුගේ දෑතේ එල්ලී සිටි පුංචි පුතුද සමඟින්ය.

‘’පාරමී නේද?’’

පාරමී මොහොතක් ගල් ගැසුනාය.සතුට දුක සංකලනය වුන හැඟීම් සමුදාකින් සිත පිරෙද්දි හදවත ගැහෙන රාවය පිටතට ඇසේවිදෝයී බියෙන් ඇය වට පිට බැලුවාය. හැම මොහොතකම හිතේ ගැඹුරුම තැන සිට ඇස් හරින මතකය හිමි මිනිසා ඇගේ ඇස් ඉදිරි පිටය. 

‘’ඔව්’’ ඇය යාන්තම් වචන ගැට ගසා ගත්තාය.

ඉතින් දැන් මොනවද කරන්නේ?

ඒ තැන්පත් හඬ තවමත් එසේමය.

‘’දුවයි පුතයි බලාගෙන ගෙදර ඉන්නවා. තනියමද ආවේ?’’

‘’ඔව් අද අමීෂා මෙහෙ එන්න එච්චර කැමති නෑ,  අපි මේ ළඟ ඉන්නෙ ඉතින් පුතත් එක්කන් මම ආවා’’

බොහෝ ආගිය තොරතුරු කතා කළ ඔවුන් වෙන් වූයේ දුරකථන අංක හුවමාරු කරගැනීමෙන්ය. එදා පටන් ඔවුන් මේ දක්වාම කතා බහ කළෝය. විටෙක පෙම්වතුන්ය, විටෙක මිතුරන්ය, විටෙක සහෝදරයන්ය ඒ බැඳීම විරාගික විය. ඔවුන් දෙදෙනාගේම සිතුවිලි විවෘත කතා කරන්නට ඔවුන්ට හැකි විය. ඔවුන්ට හමුවන්නට ඇවසි වුව ද ඔවුන්ගේ සීමා මායීම් ඒ හැම විටම  ඔවුන් සිහිපත් කරමින් වරදක් නොකරන්නට වග බලා ගත්තෝය. ජීවිතය ගලා යද්දි ඔවුන්ගේ බැඳීම් තුලින් ඔවුන්ගේ පවුල් කඩා ඉහිරුවා ගැනීම වෙනුවට සිදු වූයේ පවුල් ශක්තිමත් කර ගැනීමට ඔවුන් දෙදෙනාගේ අදහස් හුවමාරු කර ගැනීමය. එහෙත්  වරක් අත් හැරුණු මේ බැඳීමට නැවතීමේ තිත තබන්නට ඔවුන්ට ඇවසි වූයේ නැත. ඔවුන් එක් වූවා නම් ජීවිතය ආදරණීයව විඳින්නට තිබුණා නොවේදැයි පමණක් ඔවුන් සිතුවා මිස එක්වන්නට නොසිතුවෝය. රට තොට තොරතුරු අතීතය පමණක් නොව ඔවුන් තමන්ගේ සහකරුවන් තමන්ගෙන් ඈත් වන්නට හේතු කාරණා ද සාකච්ජා කළෝය. 

ඇය එම කාරණා කොළයක් සටහන් කළාය.

  • බොහෝ විට විවාහයකින් පසු පවුලේ ආර්ථිකය පිළිබඳ වැඩි වගකීමක් දරන්නට සිදු වන්නේ සැමියාටය. එහිදී ඔවුන්ගේ වගකීම් පිළිබඳ සිතන විට පෙම්වතකු සමයේ පැවති සැහැල්ලු බව ඔහුගෙන් අපේක්ෂා කළ නොහැකිය.බොහෝ විට කාර්යාලයෙ වැඩ රාජකාරී වලින් හෙම්බත්ව පැමිණෙන ඔහුට ඇවසි දවස පුරාම බිරිඳට සිදු වූ දුක්ක දෝමනස්සයන් සවන් දීමට නොව විවේකයක්ය. එනිසා බිරිඳක් නිවසේ සිට පවුලේ කටයුතු සිදු කරන තැනැත්තියක් නම් කතා බහේ යෙදෙන්නට සැමියාගේ සිත නිදහස් වන තුරු සිටිය යුතුය.
  • බිරිඳද පෙම්වතිය සමයේ සිටියාට වඩා වගකීම් වලින් යුක්ත වන්නේය. ගෘහණියක්, මවක් වූ පසු ඇයට පැවරෙන භාරදූර කටයුතු නිසා සැමියාට යම් අතපසු වීම් සිදු විය හැකිය. එනිසා සැමියාද අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුය. ඇයගේ කටයුතු පහසු වන ආකාරයට අත්වැලක් වන්නෙ නම් දෙදෙනා අතර ඇති වන දුරස්ථභාවය අවම වනු ඇත.
  • දෙදෙනාම රැකියාවක නිරතවන්නේ නම් දෙදෙනා වෙනුවෙන්ම කැප කිරීම් සිදු කිරීමට සිදුවේ. නිවසට පැමිණි පසු සැමියා උදව් නොකරනවා නම් ඔහුගේන් උදව් වන්නට යැයි ඉල්ලා සිටින්න. ඔහුට මෙන්ම ඇයටත් මහන්සි බව  කියන්න. සැමියාද බිරිඳට උදව් කිරීමට  ඉල්ලීම් කරන‌ තෙක් නොසිටිය යුතුය. ඒවිට සහයෝගය තුලින් ගැටුම් වලින් තොරව  ආදරය රැක ගත හැකිය.
  • දරුවන් ලැබීමෙන් පසු සැමියාටත් බිරිඳටත් පමණක් වෙන් වූ කාලයක් වෙන් කර ගත යුතුය. අපේ රටේ බොහෝ විට අඹූ සැමියන් පුරුදු වී ඇත්තේ දරුවන් මැද තබාගෙන නිදන්නටය.  හැකි නම් දරුවන්ට තනිවම නිදන්නට පුරුදු පුහුණු කළ යුතුය. නැතහොත් දරුවන් නින්දට ගිය පසු හෝ සැමියාත් බිරිඳත් ලංව නිදන්නට පුරුදු විය යුතුය. එවිට දවස අවසානයේ දෙදෙනාට කතා බහට කාලයක් ද ලැබේ.
  • දෙදෙනා අතර ගැටලුවක් ඇති වූ අවස්ථාවේදීම ඒවා කතා බහ කරගෙන නොවිසඳා ගැනීම තුලින් තව දුරටත් නොහොඳ නෝක්කාඩුකම් ඇතිවේ. එ නිසා කවර ගැටලුවක් වුවද රාත්‍රී නින්දට යන්නට පෙර විසඳා ගන්න.
  • අඹු සැමියන් බොහෝ විට තමන්ගේ සිතුවිලි ඔහු හෝ ඇය තේරුම් ගනීවීයී යන විශ්වාසයෙන් සිටියි. හෙත් පරචිත්ත විඤ්ඥාණය අප කිසිවෙකුටත් නැත. එනිසා තමන්ගේ ඒ සිතුවිලි අනෙක් පාර්ශවයට නොතේරුණු විට ඒ පිළිබඳ සිතින් වඳ නොවී ඒ අවස්ථාවේම තම සිතුවිල්ල පැහැදිලි කලා නම් ඔවුන් අතර ඇති වූ බොහෝ විරසකයන් අවම වනු ඇත.
  • විවාහ ජීවිතයක දෙදෙනාගේ බැඳීමට සෘජුවම බලපාන කාරණයක් වන්නේ ලිංගික එක් වීමය. ඒනිසා ඔබේ අනෙක් සහකරුගේ හෝ සහකාරියගේ හැඟීම් වලට ඉඩ දෙන්න.

පවුල යනු දරුවන්ට සතු ආරක්ෂාකාරී ස්ථානයයි. දරුවන්ගේ ජීවිත වලට වගකිව යුත්තන් දෙමාපියන්ය. දරුවන්ගේ ජීවිත වල සතුට රඳවා තැබිය හැක්කේ සාමකාමී පරිසරයක් තුලය. ඔවුන්ට ජීවිත විඳින්නට ඉඩහසර ලබා දිය යුත්තේ දෙමාපියන්මය. දෙමාපියන්ගේ සතුට සැනසුම වෙනුවෙන් ඔවුන්ගේ ළමා ලෝකය තුල දුක අතුරාලීම පාපයකි. කිසිඳු වගවිභායකින් තොරව ගෙවී යන ජීවිතය පිළිබඳ පාරමී දැඩි තීරණයකට එළැඹියාය. එදින ඉරිදාවකි. උදෑසනම අවදි වූ ඇය අකලංක ළඟින් හාන්සි වූවාය. අකලංක ඇයව ලංකර ගත්තේය. 

‘’අද අපි ගමනක් යමුද? ‘’

‘’ගමනක් ! කොහෙද? හා යමු’’

අකලංක නිදිබර හඩින්ම විමසා එකඟ විය. දරුවන් දෙදෙනා මහ ගෙදරට ඇරල වූ ඔවුන් දෙදෙනා ඔවුන් පෙම්වතුන් සමයේ නිතර නිතර ගිය අවන්හලට ගොඩ විය. ඔවුන් හමු වු දා පටන් සිදු වූ සොඳුරු තැන් කතා බහ කළෝය. අනතුරුව පාරමී ඔවුන්ගේ දුරස්ථ බව පිළිබඳ කතා කළාය.නාන්නාඳුන පිරිසක් මැද ගැටුමක් ඇති නොවන බව ඇය හොඳින්ම දැන සිටියාය. දෙදෙනා එදින අවන් හලෙන් පිටමං වූයේ ජීවිතයේ නව පිටුවක් තබන්නටය

ඒ කතිකාවතින් පසු ගෙවූ පළමු සතිය නිමාවට පත්විය. අකලංක පාරමීට බෙහෙවින් සමීප වන්නට විය. ජීවිතය  මහා පුදුමාකාර විභාගයන් වෙතට අප හිඳුවනු ලබයි. අප එම විභාග වලින් සමත් විය යුත්තෙ අපගේ අත්දැකීම් මතය. පාරමීගේත් ප්‍රභාෂ්ගෙත් හමුවීම නිසා ඔවුන්ගේ ජීවිත බෙහෙවින්ම වෙනස් විය. බෝ පත් වල සිලි සිලියෙන් ඇගේ හදවත පිරී ඇත. නිදහසේ ගලා ගිය කඳුලු ඇගේ සිතේ විඩාව දුරු කරන්නට සමත් විය. විවාහය නමැති  නීතිය විසින් පමණක් රැකී තිබුණු  සිත් වලින් කැඩී බිඳී විසිර යාමට තිබූ කැදලි දෙකක් නැවත ගොඩ නැගී ඇත. ආදරය යනු සතු කර ගැනීමම නොවේය. පාරමීගේත් ප්‍රභාශ්ගේත් දෛවයේ සරදමකට ලක් වූ  බැඳීමට ලබා දිය යුතු ආමන්ත්‍රණය කුමක්දැයි යන්න පාරමී සිතුවාය.

 

දිශාන්ති වෙදගේ

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here