ඔබ තවමත් අවිවාහකද ?

0
1960

ජීවිතය පොතක් නම්  ළමා කාලය, තරුණ කාලය, මහලූ කාලය ලෙසින් පරිච්ජේද  තුනක් ලෙස වෙන් කර දැක්විය හැකිය. ඒ ඒ පරිච්ජේදයන්ට වෙන් වූ කාර්යයන් ද අරමුණුද වෙනස්ය. මෙම පරිච්ජේද තුන අතුරින් වඩාත්ම අපට දැනෙන හා වැඩි  කතාබහකට ලක්වන්නේ දෙවන පරිච්ජේදය වන තරුණ කාලයයි. ජීවිතයට අගයන් එකතු කරන සහ ජීවිතයේ නව හැරවුම් ලක්ෂයන් වෙත ළඟා වන්නේ මෙම තරුණ කාලය තුලය. උසස් අධ්‍යාපන කටයුතු,  ඉහළ පෙළේ රැකියාවක් සහ උසස් වීම්, තමන්ටම කියා නිවසක්, වාහනයක් මෙම කාලයේ ළඟා කරගැනීමට අපේක්ෂා කරන සිහිනයන්ය. 

විවාහයකට පිවිසීමට සිහින දකින්නියක් නම් 

ජීවිතේ සෑම අපේක්ෂාවක්ම සාක්ෂාත් කර ගන්නා තුරු හිඳීමෙන් ඔබටත් නොදැනීම ඔබේ වයස ඉලක්කම් වලින් ඉහළ අගයක් ගනු ඇත. විවාහයකින් පසු ඔබේ සිහිනය කිරි කැටියෙක්ය. කාන්තාවකගේ වයස දරු පිළිසිඳ ගැනීමකදී අවදානය යොමු කළ යුතු ප‍්‍රධානතම කාරණයක්ය. ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහස වන්නේ කාන්තාවක් අවුරුදු 20 ත් 25ත් අතර කාල සීමාව තුල තම ප‍්‍රථම ගැබි ගැනීම සිදු කිරීම යෝග්‍ය බවය. ගැහැණු දරුවකුගේ ඩිම්බ නිපදවීමේ හැකියාව මල්වර වීමත් සමඟම ආරම්භ වේ.  සාමාන්‍යයෙන් ආර්තවහරණය සිදු වන තෙක් එනම් අවුරුදු 50 පමණ වනතුරු කාන්තාවකට ගැබ් ගැනීමට හැකිය. එහෙත් අවුරුදු 35න් 40න් පසු වියපත් වීමත් සමඟම ඩිම්බ වල සරුබාවයද අඩු වන බැවින් වයසට යාමත් සමඟ මද සරු බාවයේ අවදානම වැඩිය. එසේමය ශරීරික වශයෙන් ගත් කල විවිධ සෞඛ්‍යමය ගැටලූ වන දිය වැඩියාව, රුධිර පීඩනය, තයිරොයිඩ් ග‍්‍රන්ථිය ආශි‍්‍රත රෝග, ස්ථුලතාවය පෝෂණ ගැටලූ වලට මුහුණ දීමට වැඩි ඉඩ කඩක් ඇත. මවගේ  රෝගී තත්ත්වය නිසා කුස තුල වැඩෙන කළලයටද විවිධ සංකූලතාවයන්ට ගොදුරු වීමේ අවදානමක් ඇත. එනිසා විවාහයක් පිළිබඳ සිතනවානම් ඔබ ඔබේ වයස පිළිබඳ සැලකිලිමත් වන්න.

විවාහය ගැන වගක්වත් නැති අයත් ඉන්නවා

වර්තමාන‌ෙය් ආසියාතික රටක් වුවද අපේ රට තුලත් සමාජ තත්ත්වය වෙනසකට භාජනය වී ඇත.තරුණ පරපුරෙන් වැඩි පිරිසක් අවිවාහකව ජීවත් වීමේ වැඩි ප‍්‍රවණතාවයක් දක්නට ලැබේ. අතීතයේදී දියණියක් නිසි වයසට විවාහ කරදීම සිදු වූයේ මව්පියන්ගේ කැමැත්තට වුවත් තමන්ට ගැලපෙන සහකරු සොයාගැනීමේ හෝ තෝරාගැනීමේ අවස්ථාව බොහෝ විට ඔවුන්ටම හිමිවේ. නමුත් මෙවන් සමාජ පරිසරයක් තුළ වුවත් තරුණ පරපුර විවාහය කල් දමන්නට ප්‍රධානතම හේතුව පුරුෂ පාර්ශවය මෙන්ම කාන්තා පාර්ශවය ද අධ්‍යාපනික වශයෙන් මෙන්ම වෘත්තීමය වශයෙන් ඒවායේ හිනි පෙත්තටම ගමන් කිරීම, එහිදී හමුවන අභියෝග ජය ගැනීමට මුලිකත්වය දීම, තරඟකාරී අධ්‍යාපන රටාව, උසස් රැකියාවක් ලබා ගැනීම, ඉන් නොනැවතී රැකියාවේ උසස්වීම් වෙනුවෙන් කටයුතු කිරීම වැනි සමාජීය තත්ත්වයන් හඳුනාගත හැකිය. සිහින පසු පස හඹා යන්නෝ ජීවිතයේ යම් යම් දෑ අත් හැරෙන බව සිතන්නේ නැත. සිහින ඉටු වූ පසු පස හැරී බලන කල මඟ හැරුණු තැන් නැවත සකස් කරන්නටත් කාලයක් නොමැති විය හැකිය. ඒ නිසා මනා සිහියෙන් ඔබේ ජීවිත සැලසුම සකස් කරගන්න. ජීවිතේ වැදගත් අවස්ථාවන්ට යෝග්‍ය වූ කාලයන් තුල නිවැරදිව තීරණ ගන්න.

ජීවිතයට විවාහය අත්‍යවශ්‍යම ද ? 

එය ඔබ සතු තීරණයක්. මිනිස් අපේ ජීවිත ගලා යන්නේ පුද්ගල බැඳීම් සමඟින්ය. විවාහයකදී සිදු වන්නේ මිය යනතුරු ඔබ සමඟ එකට ජීවිතේ දුක සැප බෙදා ගන්නට සහකරුවකු හා ගිවිස ගැනීමය. එය ඔබ ජීවිතයේ ගන්නා වැදගත්ම සහ බැරෑරුම්ම තීරණය බව සිහියේ තබා ගන්න. ඔබව සතුටින් තැබිය හැකි පුද්ගලයෙකුට ඔබ ඔබේ ජීවිතය පවරා දෙන්න. විවාහයට පෙර ඔබ දෙදෙනාගේ නොගැලපීම් ගලපා ගන්නට අපොහොසත් නම් විවාහයෙන් පසු කෙසේවත් ගලපා ගත නොහැකි බව තේරුම් ගන්න. එකිනෙකාට ගරු කරන්නට, කැපකිරීම් කරන්නට නොහැකි නම් විවාහයෙන් පස්සෙ හදාගන්නට සහකරුවකු තෝරා නොගන්න. සමාජය අවිවාහක කාන්තාවන් පිළිබඳව දරණ අදහස් පිළිබඳ නොසිතන්න. ඔබේ ජීවිතයේ අයිතිකරු ඔබ නම් අවිවාහකව සිටීම ඔබේ තීරණයක් නම් අවට සිටින අයවලුන් මතයන් නොසලකා හරින්න. 

විවාහ නොවී සිටීමෙන් ජීවිතයම අසාර්ථකද ?

විවාහ වීම ජීවිතය සම්පූර්ණ කරවීමක් හෝ විවාහ නොවීම ජීවිතය අසාර්ථක වීමක් ලෙස කිසිවිටකත් නොසිතන්න. අවිවාහක අය විවාහ ජීවිතය සුන්දර යැයි සිතන නමුත් විවාහ වූවන්ගේ ජීවිත බොහෝ සංකීර්ණය. විවාහය නිසා සතුටින් යැයි ඔබ සිතන බොහෝ කාන්තාවන් සැමියා, දරුවන් සහ නිවසේ කටයුතු වැනි වගකීම් හා යුතුකම් රාශිකට හිමිකම් කියයි. ඇයගේ නිදහස පවා සීමා සහිතය. තීරණ ගැනීම පවුල මත රඳා පවතින්නකි. විවාහක කාන්තාවක් නිවසට තම වගකීම් යුතුකම් ඉටු කරමින් දුක සතුට මැද ආදරණීය කැදැල්ලකට රැකවරණය සලසයි.

අවිවාහක ඔබට ද ජීවිතය බොහෝ අර්ථාන්විත දෑ සඳහා යෙදවිය හැකිය. වඩා වැදගත් වන්නේ ඔබ ඔබ පිළිබඳ ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීමයි. මැදිහත් ලෙසින් ජීවිතය දෙස බලන්න. ආගමානුකූලව ජීවත්වන්න. ඊර්ෂ්‍යාව ජීවිතයෙන් ඉවත් කර සුහදශීලී බව වර්ධනය කරගන්න. අන් අයට උදව් කරන්න. සිනහව යනු සිත් සුවපත් කරන ඔසුවකි. නිතරම සිනාවකින් අන් අයට සංග්‍රහ කරන්න. ඔබේ   සෞඛ්‍ය සම්පන්න බව නිතර සිතන්න. ක්‍රියාශීලීවන්න. හැකි හැම අවස්ථාවකදී උදව්වක් ඇවසි අයට උදව් කරන්න. මිනිසත්කම පිරුණ අයෙක් වෙන්න. එය නිසැකවම ඔබට සුන්දර ජීවිතයක් උරුමකර දෙනු ඇත. 

 

දිශාන්ති වෙදගේ

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here