අපි මැටි ආභරණ හදමු

0
2373

කාන්තාවක් දෑතේ දෙයක් දැන කියා ගන්න එක බොහෝම වටිනවා. විනෝදාංශක් වශයෙන් වගේම ස්වයං රැකියාවක් ලෙසත් ඒ හැකියාව ඔබට ප්‍රයෝජනයට ගන්න පුලුවන්. මැටි ආභරණ කියන්නේ මේ දිනවල ඉහළ ඉල්ලූමක් තිබෙන ආභරණ වර්ගයක්. මැටි ආභරණ අත් යන්ත‍්‍ර සාරියකින් සැරසෙන කාන්තාවකට වගේම සාමාන්‍ය ඇදුමකින් සැරසෙන යුවතිවකටත් එක ලෙස පැළඳින්න පුලුවන්. ඔබේ අතින්ම පිළියෙල කරගත් ආභරණ කට්ටලයක් ඔබම පළඳින විට දැනෙන සතුට වගේ  තිළිනයක්  ලෙස තවත් තෙනෙකුට  දෙන්න විට ඉන් ලැබෙන සතුට විශේෂයි. ඉතින් අපි සූදානම් ඔබට මැටි ආභරණ මූලික්ම දැනුම ලබා දෙන්න. අප ලබා දෙන දැනුමට ඔබේ නිර්මාණශිලීත්වයත් මුසු කරලා මැටි ආභරණ නිර්මාණය කරගන්න.

ඔබට අවශ්‍ය වන දේවල්       

x රතු මැටි (පදම්කල)

x කෝඩ් නූල්

x පබලු හා බීඩ්ස් වර්ග

x රෙදි පින්තාරු කිරීමට ගන්නා තීන්ත (ෆැබ්රික් තීන්ත)

x නොම්බර 1 හෝ 2 පින්සල්

x සකස් කර ගත් පීරක්

x ටූත් පින්

බියගම මැටි භාණ්ඩ පුහුණු මධ්‍යස්ථානයෙන් පදම් කල රතු මැටි මිලදී ගැනීමට හැකිය. රතු මැටි 1kg කින් මැටි මාල විශාල ප‍්‍රමාණයක් සාදාගන්න පුලුවන්.

 

අපි බලමු මැටි මාල සාදා ගන්නා ආකාරය

x පදම් කල රතු මැටි ස්වල්ප වශයෙන් ගෙන අවශ්‍ය හැඩයට කුඩා බෝල අතින් සාදා ගන්න.

x එසේ සාදාගත් බෝල මැදින් ටූත් පින් එකක් යවා මැද සිදුරක් සාදන්න.

x එසේ සාදා ගත් මැටි බෝල වියලෙන්නට ප‍්‍රථම පීරක් ආධාරයෙන් රටා අඳින්න

 

මාලයට පෙන්ඩන්ට් එකකුත් හදමු

මැටි මාලයට අවශ්‍ය වන පෙන්ඩන්ට් එක පිළියෙල කරගැනීමට අමු රෙදි කැබැල්ලක් මත මැටි ස්වල්පයක් තබා රෝලිං පින් එකක් ආධාරයෙන් තුනී කරන්න. ඒ මත කේක් සෑදීමේදී ගන්නා කටර් භාවිතා කර මල් හෝ අවශ්‍ය හැඩතල කපා ගන්න. 

පිළියෙල කරගත් මැටි බෝල හා පෙන්ඩන්ට් මැටි භාණ්ඩ පුලුස්සන පෝරණුවක තබා පුලූස්සා ගත යුතුය. නිවසේ සිටම ඔබට මැටි පුලුස්සන පෝරණුවක් බියගම මැටි භාණ්ඩ සෑදීමේ පුහුණු මධ්‍යස්ථානයෙන්ම මිලදී ගන්නත් පුලුවන්. පුලුස්සා ගත් මැටි බෝල හා පෙන්ඩන්ට් ෆැබ්රික් තීන්ත ආලේප කර වර්ණවත් කර ගැනීමෙන් මනා නිමාවක් ලබා ගත හැකිය.

තරමක් දිග කෝඞ් නූලක් ගෙන පළමුව පෙන්ඩන්ට් එක එහි රඳවා ගන්න. පසුව  පුලුස්සා ගත් මැටි බෝල පබලු හා බීඩ්ස් ඔබට අවශ්‍ය පරිදි රඳවා ගන්න. දැන් මැටි බෝල, බීඩ්ස්  එහා මෙහා නොයන පරිදි කෙළවර දෙකෙන් ගැටයක් දමා ගන්න. කොඩ් නූලේ අග ගැට ගසා මාලය නිම කර ගන්න.

 

ඔබට පුලුවන් ඒ ආකාරයෙන්ම අත්පළදනාවන්,  මුදු මෙන්ම කරාබු ද නිර්මාණය කර ගන්න. මැටි ආභරණ සකස් කිරීමට අවශ්‍ය  අනෙකුත් අමු ද්‍රව්‍ය පිටකොටුවේ රතු පල්ලිය අසල වෙළෙඳ සැල් වලින් ලබා ගන්න ඔබට පුලුවන්.

 

 

 

තොරතුරු ලබාදීම

ඉරේෂා විරාජනී අබේකෝන්

සටහන : දිශාන්ති වෙදගේ

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here