වැටුණොත් නැගිටින්න…හිටියටත් වඩා ශක්තිමත්ව

0
2697

ලබලකාරී නගරයේ මම වහ වහා ත්‍රීරෝද රථ ගාල වෙත පිය නැගුවෙමි. ඉදිරියෙන් තිබූ ත්‍රිරෝද රථය පිටව යටත්ම රතු පාට ත්‍රීරෝද රථයක් මා අසල නතර විය. දිගු කලිසමක් හා වර්ණවත් බ්ලවුසයකින් සැරසුණු ප්‍රියමනාප කාන්තා රියදුරුවරියක් එහි සිටියාය. සත්තකින්ම මට යම් චකිතයක් දැනෙන්නට විය. එහෙත් මම නැඹුරු වී

“මට බම්බල පිටියට යන්න ඕනී, යන්න පුලුවන්ද ?”

“යමු මිස් ”

එතැන් පටන් ඇයත් මාත් අතර කිසිඳු කතා බහක් නොවුනද මගේ සිත මා සමඟ වඩ වඩාත් දොඩමලුවන්නට වූයේ මේ කාන්තා ත්‍රී රෝද රථ රියදුරු මහත්මිය පිළිබඳවය. මේ මා දුටු පළමු ත්‍රී රෝද රථ රියදුරුවරිය ඇය විය. මා පිටු පස අසුනේ සිට ඇය නිරික්සුවෙමි. පිළිවෙලට හිස පීරා පිරිසිඳු ඇඳුමකින් සැරසී මුහුණේ සිරියාව ඉතිරෙන ඇගේ මුහුණ දෙස ඇය ඉදිරියේ ඇති පසුපස බලන කණ්නාඩියෙන් මා බලා සිටියෙමි. කණ්නාඩිය මත අපේ සිව් නෙත් යා වුණේ නොසිතූ ලෙසය. මුව ආවරණය පළඳා සිටි මා දෙතොලින් උපරිමයෙන්ම සිනාසෙමින් දෑසින් ද සිනා සුනෙමි. ඇයද මා හා සිනාසෙන බව ඇගේ දෑසින් දුටුවෙමි. 

“ඔයා කොහෙද ?

මම කතාවට මුලු පිරුවෙමි.

“මම බොරලැස්ගමුවෙ මිස්”

“තරහා වෙන්න එපා ඇහුව්වට ඔයාගේ වයස කීයද? ”

ඇය නැවත කණ්ණාඩියෙන් මදෙස බලා සිනා සුනාය.

“දැන්42 යි මිස් ”

“මේක ටිකක් අමාරු රස්සාවක් නේද ගැහැණු කෙනෙකුට. ”

“ඇත්තටම පාරට එන්න කලින් මාත් හිතුවෙ මිස් හිතපු විදිහටමයි. ඔව් මේ රස්සාව ගැහැණු කෙනෙකුට අමාරුයි. වෙන දෙයක් නිසා නෙමේ අපේ රටේ මිනිස්සු හිතන පතන විදිහ නිසා. පිරිමි හිතන්නෙ මේ වගේ රස්සාවක් කරාම ඕනම වරදකට පොළඹව ගන්න පුලුවන් කියලා. එතකොට ගෑණු අය හිතන්නේ මහා වැඩකට නැති සතපහකට ගණන් ගන්න බැරි අම්මණ්ඩියෙක් කියලා. ඒත් රස්සාව ඇතුලෙ අපි අපේ ප්‍රතිපත්ති එක්ක අපේ වටිනාකම රැක ගත්තොත් මේ රස්සාව කරන්න අමාරු නැහැ මිස්. ”

“ඇයි  ඉතින් ඔයා මේ රස්සාව තෝර ගත්තෙ ? ”

“ජීවිතේ කියන්නෙ මහා පුදුම දෙයක් මිස් අපි හීනෙන්වත් හිතන්නෙ නැති දේවල් අපට සිද්ධ වෙන්නෙ. මම බඳින කොට අවුරුදු 19යි. මම කොමස් වලින් ඒ ලෙවල් කරලා ඉවර වුණා විතරයි. ඒ ලෙවල් කරන කාලේ තමයි මම  පිරිමි ළමයෙක් එක්ක යාලු වුණේ. එයාට එතකොට වයස විස්සයි. අපේ පාරේ ගිය බස් එකක කොන්දොස්තර විදිහට තමයි එයා වැඩ කළේ. එයා හරි පෙනුමයි. හරිම සුහදව තමයි වැඩ කළේ. අනේ මන්දා මිස් මට දැක්ක ගමන්ම හිත ගියා. යාලුවෝ කොච්චර බැන්නත් මම හැමදාම ඒ බස් එක එනකල්ම ඉඳලා තමයි ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගියේ. කාලයක් යද්දි අපි කතා බහ කළා. ටික දවසක් යද්දි එයා කිව්වා මට කැමතියි කියලා. මම කිව්වා හිතලා බලලා කියන්නම් කියලා. හිතලා බලන්න දෙයක් තිබ්බෙ නෑ ඒ වෙනකොටත් මට එයාව නොදැක ඉන්න බැරි තරමට මම හිතින් එයාට ආදරේ කළා. කොහොම හරි ගෙදරට ආරංචි වෙලා මේ සම්බන්ධෙට තදින් ම විරුද්ධ වුණා. ඒ වෙනකොට අපි අපිට පුදුම විදිහට ආදරේ කළා. එතකොට විභාගෙට මාස හයයි. ගෙදරින් මට ගැහුව්වා බැන්නා. පස්සෙ විභාගේ ඉවර වුණු ගමන් මාව නුවර පුංචි අම්මලාගේ ගෙදර යවන්න තීරණය කළා. විභාගේ අවසාන වුණු දවසෙ මම එයත් එක්ක යන්න තීරණය කළා. අවුරුදු දහනමයක් අම්මලා ඇස් දෙක වගේ බලා ගත්ත මම ඒ හිත්වලට ගින්දර දීලා ගියා මගේ සතුට හොයාගෙන. අපිට කවදාවත් දෙමාපියන්ගේ හිත් රිද්දවලා සැනසීමෙන් ඉන්න බැහැ . ”

ඇය කතාව මදකට නතර කොට දිග සුසුමක් හෙලුවාය. ඇගේ දෑස් වල කඳුලු නලියන බව මම දුටුවෙමි. මම රථයෙන් පිටත බැලුවෙමි.ගිණි මධ්‍යහනයේ වාහන එක පෙළට එහෙන් මෙහෙන් හෝන් ගහමින් යද්දි ඇය සංයමයෙන් රථය පැදවූවා ය. 

“මට මේ ඔයා කරන වැඩේ කරන්න බැහැ, එහෙන් හෝන් මෙහෙන් හෝන් ගහනවා. ඒ මදිනවට වාහන තොගය. පුදුම අවධානයක් ඉවසීමක් තියෙන්න ඕනී නේද ? ”

ඇය හිනැහැණාය. 

“කොයි දේත් පුරුදු වුණාම හරියනවා මිස්”

“කැමති නම් කතාවේ ඉතුරු ටිකත් කියන්න කෝ ”

“මම ගොඩක් වෙලාවට යන අය එක්ක වැඩිය කතා බහ කරන්නෙ නෑ. මිනිස්සු හරිම අමුතුයි. ඒත් මිස් ටිකක් හිතට දැනුනා. සමහර බැඳීම සංසාර පුරුද්දටත් ඇති වෙනවලුනේ. ”

“ඒක නම් ඇත්ත. ”

“ඉතින් කොහොම හරි අපි ඉස්සෙල්ලම ගෙදරින් ඇවිත් හිටියේ එයාගේ යාලුවෙකුගෙ ගෙදර කාමරයක. සතියක් එතන ඉන්න ගමන් අපි ඒ කිට්ටුව ගාමන්ට් එකකට වැඩට ගියා. අඩු ගානට පොඩි කාමරක් කුලියට අරගෙන තනියම ජීවිතේ පටන් ගත්තා. අම්මලා මම ගෙදරින් ආවට පස්සෙ මං ගැන හෙව්වෙ නෑ. ඒත් මම හොඳින් කියලා ලියුමක් ගෙදරට යැව්වා. ඔය අතර මගේ විභාග ප්‍රතිඵලත් ඇවිත් තිබුණා. ඉස්සර දැන් වගේ නෙමේ නේ ඉස්කෝලෙටම යන්න එපැයි ප්‍රතිඵල බලන්න. මම යාලුවෙකුගෙන් දැන ගත්තා මට යාන්තම් එස් තුනක් තිබ්බා කියලා. මම පන්තියේ පළවෙනියා, ගුරුවරු පවා හිතුවේ මම කැම්පස් යයි කියලා. ජීවිත වලට අනවශ්‍ය දේවල් අනවශ්‍ය කාලෙදි ලං කරගත්තම හැම දේම නැති වෙනවා. ”

ඇය දිගු සුසුමක් හෙළා ලය සැහැල්ලු කරගත්තාය. මම තව දුරටත් නිහඬවම ඇගේ කතාව අසන්නට බලා සිටියෙමි.

 “ඉතින් අපි හුඟක් සතුටින් හිටියා. අවුරුද්දකට විතර පස්සෙ මම අම්මා කෙනෙක් වෙන්න යන බව දැන ගත්තා. අපි දෙන්නා හුඟක් සතුටු වුණා. ඔය අතර අපි පොඩි ඉඩම් කෑල්ලක් අරන් දැම්මා හෝමාගම පැත්තෙ ගෙවන්න. ‍කොහොම හරි බබා ලැබුණට පස්සෙ මම ගාමන්ට් එකෙන් නැවතුනා. ලස්සන දුවලා දෙන්නෙක්ගෙ දෙමාපියෝ වුණා. මහත්තයා රස්සාවෙන් අයින් වෙලා ත්‍රීවිල් එකක් එළවන්න පටන් ගත්තෙ ආර්ථික මට්ටම හදා ගන්න කියලා. ඒත් මහත්තයා ගෙදරට ඕනී හැමදේම ගෙනත් දුන්නා. අපි හිතන පතන දේවල් වෙනස් වෙන්න ඒ හැටි වෙලාවක් යන්නෙ නෑ.  ඒත් ජීවිතේ හැමදාම සතුට රඳව ගන්න මට බැරි වුණා. 

මට මහත්තයා අතඇරුණා කිව්වොත් හරි. ගෙදර වැඩයි දරුවන්ගෙ වැඩයි නිසා මගේ දවසම ගෙවුණේ මටවත් හිතා ගන්න බැරි විදිහට. බැඳපු මුල් කාලේ වගේ එයා ගැන හොයන්න බලන්න වෙලාවක් තිබ්බෙ නැහැ. රෑ වෙලා ඇඳට වැටෙන්නෙ පාන් කියාගන්න බැරිව. ළමයි දෙන්නා දෙපැත්තට කරගෙන හාන්සි වුණාම ආයේ ඇහැරෙන්නෙ උදේට.  අඹු සැමියෝ විදිහට ඉන්න එකත් හාවා හඳ දකිනවා වගේ සිද්ධ වෙද්දි අපේ සම්බන්ධතාවය ටිකෙන් ටික අඩු වෙලා ගියා. විවාහ ජීවිතයක හැම දේම සමබර වෙන්න ඕනී මිස්. දරුවෝ කියාගෙන එයාල මත්තෙම ඉඳගෙන මහත්තයා අත අරින්න නරකයි. කොහොමින් කොහෙම හරි මහත්තයා වෙන සම්බන්ධයක පැටලුනා. සමහර දවස් වල ගෙදර එන්නෙම නැතිව ගියා. මම අඬලා කිව්වා මම හැමදේම අත ඇරලා ඔයා එක්ක ආවේ, මේ දේවල් නතර කරන්න අඩුම තරමේ අපේ දරුවො ගැනවත් හිතන්න කියලා. එතකොට ලොකු දුවට අවුරුදු දහයයි පොඩි දුවට අවුරුදු අටයි. මට බැරිව ගියා එයාව නතර කරගන්න. එයා ඒ ගෑණූ මනුස්සයත් එක්ක ඩුබායි ගියා. සමහර දවස් වල කන්න හාල් ඇටයක්වත් නෑ. දරුවෝ දාලා රස්සාවකටවත් යන්නත් බෑ. අම්මලා ළඟට යන්නත් බෑ. පස්සෙ මම ගෙවල් කීපයක් උයන්න ගියා. ඒත් ඒ ලැබෙන ගාන මදි. උදේට දරුවෝ දෙන්නා ඉස්කෝලෙට දාලා ගෙවල් දෙකක වැඩ කළා. හවසට තව ගෙදරක දුවලා දෙන්නත් එක්කම ගිහින් වැඩ කළා. ත්‍රිවිල් රස්සාවෙන් මහත්තයා හොඳට හම්බ කළා. මම තීරණය කළා ඒ රස්සාව පටන් ගන්න. කොහොම හරි ලර්නර්ස් ගිහින් ලයිසන් හදා ගත්තා. මහත්තයා දාලා ගිහින් අවුරුදු දෙකකට පස්සෙ මම නෑන්ස් කරලා ත්‍රීවිල් එකක් ගත්තා. මම උයන්න ගිය ගෙදර නෝනා මට උදව් කළා. පාරට දාපු දවසෙ ඉඳලා මට වැරදුනේ නෑ මිස්. ඒ වෙනකොට ත්‍රීවිල් පාක් එකේ කට්ටිය මම දන්න නිසා එයාලා මට උදව් කළා. ත්‍රීවිල් පාක් එකේ ගොඩක්ම හයර් තියෙන්නෙ මට. ගොඩක් මිස්ලා මා එක්කමයි යන්නෙ. ඉස්කෝල හයර් කිහිපයක්ම හැමදාම කරන්න තියෙනවා. කතාව දිග වැඩියි වගේ නේද? ”

“නැහැ, නැහැ ඔයා කොයි තරම් ශක්තිමත් ද කියලා හිතුනා. ”

ඇය දෑසින් සිනාසුනාය. 

“මම දැන් ත්‍රීවිල් රස්සාවට ඇවිත් අවුරුදු දහයක් වෙනවා. මොකද්දෝ හේතුවකට අර අපි ගත්ත ඉඩම මගේ නමට ගත්තෙ. ඉතින් මම දැන් එතන ගේ හදලා තියෙන්නෙ. ලබන මාසේ පදිංචියට යන්න ඉන්නෙ. ලොකු දුවට දැන් අවුරුදු විස්සක් එයා මෙඩිකල් කල්ටියට තේරුණා. දෙවෙනියා කලා වලින් මේ පාර ඒ ලෙවල් කරනවා. මට යන්න බැරි වුණ ගමන මගේ දරුවො යනවා දැකලා මම සතුටු වෙනවා. ” 

ඇය ජයග්‍රාහී බැල්මකින් මදෙස බලා කීවාය.

“ආ ඇත්තද හරිම ෂෝකනේ, ඔයාගේ මහන්සියේ ප්‍රතිඵල ලැබිලා. ඊට පස්සෙ මහත්තයා කතා කළේම නැද්ද? ”

“අවුරුදු පහකට උඩදි කතා කරලා අපි එකතු වෙමු කිව්වා. ඒත් මොකටද මිස් ජීවිතේ මෙච්චර ගමනක් ආපු මට ඉතිරිය මොකද බැරි කියලා මම ඇහුව්වා.  මම මගේ දරුවන්ට කියන්නෙ ස්වාධීනව ජීවිතයට මුහුණ දෙන්න පුරුදු වෙන්න කියලා. ඕනම ගෑණියෙක් හිතන්නෙ නැති වෙලාවක ජීවිතෙන් වැටෙන්න පුලුවන්. ආර්ථික අතින් ශක්තිමත් නම් වැටුනත් නැගිටින්න අමාරු නැහැ. ඒ නිසා කොයි තරම් මහත්තයා දරුවො ගැන කැප වුණත් තමන් ඉගෙන ගත්ත දෙයකින් යම් ඉපයීමක් කරන්නම ඕනී. ”

“ඔයා කියන කතාව ඇත්ත. විවාහ වුණත් ගෑනියෙක් තමන්ගේ හැකියාවන් ඔහේ පැත්තකට කරලා තියන්නෙ නැතිව මොකක් හරි ඉපයීමක් කරන්න ඕනී. ”

“මම මිස් දැන් පාසල් ප්‍රවාහන සේවයක් පටන් ගන්න වෑන් එකක් බලලයි තියෙන්නෙ. හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. මිස් බහින තැන… ”

“කතාවෙන් කතාව බහින තැනටත් කිට්ටු වුණා. ඔය ඉස්සරහා පාරට හරවන්න. ඔන්න ඔතනින් නවත්වන්න. ”

 

දිශාන්ති වෙදගේ

 

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here