කාන්තා ඔබටත් මේ ලක්ෂණ ඇත්නම් ඒ Chocolate Cyst නිසා විය හැකියි

කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ ආශ්‍රිතව ඇති වන රෝගයක් වන එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගයේ ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැකි Chocolate Cyst නම්  තත්ත්වය පිළිබඳව ඔබ අසා ඇති. නැතිනම් ඒ හා සමබන්ධව අත්දැකීමක් ඔබට තිබෙන්නට පුළුවන්. ඇතැම් විට මේ තත්ත්වයෙන් ඔබ පීඩා වින්දත් නිසි මගපෙන්වීමක් නොලැබීම නිසා රෝගයට අවශ්‍ය ප්‍රතිකාර මෙතෙක් ලබා නොසිටිනවා ද විය හැකියි. අද මෙම ලිපිය තුළින් අපි ඒ සම්බන්ධව දැනුවත් වෙමු. 

Chocolate Cyst යනු පිළිකා නොවන ඩිම්බ කෝෂ අභ්‍යත්තරයේ පිහිටි තරලය පිරුණු ගෙඩි විශේෂයකි. මෙම නම ලැබී ඇත්තේ මෙම ගෙඩි තුළ දුඹුරු පැහැති තාර වැනි ද්‍රව්‍යයක් පවතින අතරම එය දියවූ චොකලට්වල ස්වභාවයට, පැහැයට සමාන වන නිසාය. එසේ ඩිම්බ කෝෂයේ අභ්‍යන්තර ස්ථරය ඇතිවන තත්ත්වයක් ලෙස සලකා Ovarian Endometriosis ලෙසද හඳුන්වයි. මේවායේ අභ්‍යන්තර ද්‍රව්‍ය පරණ වූ ඔසප් රුධිරය හා සමාන වේ. මෙම ගෙඩිය අභ්‍යන්තරය පටක වලින් පිරී ඇත. මෙම තත්ත්වය ඩිම්බ කෝෂ දෙකෙහිම ඇතිවිය හැකි අතර එක් ගෙඩියක් හෝ ගෙඩි කිහිපයක් ද ඇති විය හැකියි. 

Chocolate Cyst ඇතිවන කාන්තාවන්ගෙන් 20% – 40% Endometriosis තත්ත්වය ඇති වූවන් වේ. Endometriosis යනු ගර්භාෂයේ අභ්‍යන්තර ස්ථරය (Endometrium) බහුලව ඇති වන රෝග තත්ත්වයකි. මෙහිදී මෙම අභ්‍යන්තර ස්ථරය ගර්භාෂයෙන් පිටත වර්ධනය වී ඩිම්බ කෝෂ, පැලෝපීය නාල හා ප‍්‍රජනක පද්ධතිය ආශ‍්‍රිත වෙනත් ප‍්‍රදේශවලට වර්ධනය වේ. මෙම අභ්‍යන්තර ස්ථරයේ ඇති වන අධි වර්ධනය අතිශය වේදනාකාරී වන අතර සමහර විට එය කාන්තාවගේ වඳභාවයට හේතු විය හැක. Chocolate Cyst යනු Endometriosis වල උප කාණ්ඩයකි. 

Chocolate Cyst තත්ත්වය ඇති වූ විට පෙන්වන ලක්‍ෂණ

සමහර කාන්තාවන්ට රෝග ලක්‍ෂණ ඇති වන නමුත් තවත් සමහර කාන්තාවන්ට රෝග ලක්‍ෂණ කිසිවක් ඇති නොවේ. මෙම ගෙඩියේ ප‍්‍රමාණය රෝග ලක්‍ෂණ ඇති විට හෝ එහි තීව‍්‍රතාවයට බල නොපායි. මින් අදහස් කරන්නේ කුඩා ගෙඩියක් සහිත කාන්තාවකට ලක්‍ෂණ ඇති වන අවස්ථා පවතින අතර විශාල ගෙඩියක් ඇති කාන්තාවන්ට ලක්‍ෂණ කිසිවක් ඇති නොවන අවස්ථා ද පැවතිය හැකි බවයි. මෙම ගෙඩියේ ප‍්‍රමාණය 2cm – 20cm දක්වා තිබිය හැක. මෙහි ඇති වන ලක්‍ෂණ බොහෝමයක් Endometriosis වලට සමාන වේ. 

  • වේදනාත්මක ආර්තවය
  • ශ්‍රෝණිය තුළ ඇති වන වේදනාව (ඔසප් චක‍්‍ර දෙකක් අතර ඇති වන පැහැදිලි කළ නොහැකි ආකාරයේ)
  • ඔසප් චක‍්‍රය හා සම්බන්ධ ගැටලු
  • අක‍්‍රමවත් ආර්තවය
  • ලිංගික සංසර්ගයේදී වේදනාව
  • ආහාර ජීර්ණය හා සම්බන්ධ ගැටලු
  • වේදනාත්මක අන්තක චලනයන්
  • ආර්තවයේදී අධික ලෙස රුධිරය පිටවීම
  • ගැබ් ගැනීම දුෂ්කර වීම 

මෙම ගෙඩිය පුපුරා ගිය විට එම ගෙඩිය පිහිටන පැත්තේ ඉතා දරුණු උදර වේදනාවක් ඇති වේ. එසේ ගෙඩියක් පිපිරී ඇතැයි සැක සිතේ නම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතු වේ.

chocolate cyst ඇති වීමට හේතූ

chocolate cyst එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයේ ප‍්‍රතිඵලයක් ලෙස ඇති වන බවට විශ්වාස කෙරේ. මේ සඳහා නිශ්චිත හේතුවක් නොදනී. Endometriosis හා chocolate cyst වලට ඇති අවදානම් සාධක පහත දැක්වේ. 

  • ආරය – Endometriosis සහිත පවුල් ආරයක් පැවතීම  
  • Retrograde menstrual flow – ආර්තවය ඇති වීමේදී යෝනි මාර්ගය හරහා රුධිරය ඉවතට යාම වෙනුවට පැලෝපීය නාල හරහා ඉහළට ගමන් කිරීම
  • ප‍්‍රතිශක්තීකරණ රෝග – ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ ඇති වන ගැටලු එනම්, ඉබේ ඇතිවන ප‍්‍රතිශක්තීකරණ රෝග(Auto immune disease) වලදී Endometriosis ඇති වීමේ ප‍්‍රවණතාවය වැඩිය. 
  • අනතුරු – ගර්භාෂය හා ඒ හා සම්බන්ධ ව්‍යුහයන්වලට අනතුරු සිදුවීම (සිසේරියන් ශල්‍යකර්මයකදී) තුළ Endometriosis ඇතිවීමේ අවදානමක් පවතී. 

chocolate cyst විනිශ්චය සඳහා සිදුකරන පරීක්‍ෂණ

  • ස්කෑනින් පරීක්‍ෂණය
  • යෝනිය හරහා සිදු කරන පරීක්‍ෂණවලින් ගෙඩියක් ඇති බවට පරීක්ෂා කිරීම 
  • ලක්‍ෂණ අනුව Endometriosis ලෙස සැක කළ විට 
  • අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරික්ෂ මගින් ගෙඩියක් ඇති බවට හඳුනාගත්තද එය කුමන වර්ගයේ ගෙඩියක් දැයි නිශ්චිතවම කිව නොහැකි නිසා පරීක්‍ෂණය (Needle biopsy) සඳහා පටක කොටස් යැවීම. මෙ

(මෙහිදී ගෙඩිය තුළ ඇති තරලය හෝ මිය ගිය පටක කොටස් ඉඳිකටුවක් ආධාරයෙන් ගෙන රසායනාගාරයට යැවීම. 

මෙම ඉඳිකටුව අල්ට්‍රාසවුන්ඩ් පරීක්ෂණය හරහා බලමින් යෝනි මාර්ගය හරහා ඉඳිකටුව ඩිම්බකෝෂය දක්වා ඇතුළු කර ඉන් පටක හෝ තරල කොටස් ගෙන පරීක්‍ෂා කරයි. ඉන් කුමන වර්ගයේ ගෙඩියක් දැකි දැන ගත හැක)

chocolate cyst සඳහා ප‍්‍රරතිකාර

chocolate cyst සඳහා ලබාදෙන ප‍්‍රතිකාර පවතින රෝග ලක්‍ෂණ, ඩිම්බ කෝෂ දෙකෙහිම පවතීද යන්න සහ දරුවන් බිහිකර නොතිබීම යන කරුණු මත රඳා පවතී. මෙහිදී රෝග ලක්‍ෂණ රහිත කුඩා ගෙඩියක් නම් ඒ පිළිබඳව අවධානයෙන් සිටීමට උපදෙස් දෙයි. ඒ සමගම ඩිම්බනීහරණය යටපත් කිරීම සඳහා ඖෂධ ප‍්‍රතිකාර ලබාදේ. 

උදාහරණ ලෙස උපත් පාලන පෙති දැක්විය හැකියි. මෙහිදී ගෙඩියේ වර්ධනය වන වේගය අඩුවන අතර වේදනාවද අඩු වේ. නමුත් රෝග තත්ත්වය සුව නොවේ. 

වේදනාව සහිත ලක්‍ෂණ, ගෙඩියේ ප‍්‍රමාණය 4cm වඩා විශාල වීම, ගෙඩිය පිළිකාවක් විය හැකි අවදානම (මෙම අවදානම 1% වඩා අඩුයි), දරුවන් නොමැති වීම යන ලක්ෂණ මත සැත්කම් මගින් ද ගෙඩි ඉවත් කළ හැක. එය Ovarian cystectomy ලෙස හඳුන්වයි. මෙහිදී Laparoscope නම් උපකරණය ආධාරයෙන් සැත්කම සිදු කරයි. මෙම උපකරණය දිගු බටයක් සහිත වන අතර උපකරණය ඇතුළු කිරීමට අවශ්‍ය පරිදි කුඩා කැපුමක් සිදු කරන අතර එහි කෙළවර ඇති බල්බය හා කැමරාව මගින් නිරීක්‍ෂණය කරමින් සැත්කම සිදුකරයි.

chocolate cyst මගින් සරුභාවයට ඇති කරන බලපෑම

chocolate cyst හිදී ඇති වන මෙම ගෙඩි නිරෝගී ඩිම්බ කෝෂයේ පටක ආක‍්‍රමණය කරමින් එයට හානි කිරීම සරුභාවයට දරුණු තර්ජනයක් විය හැක. මෙම තත්ත්වය සඳහා ප‍්‍රතිකාර කිරීම දුෂ්කරය. ශ්‍රෝනි ශල්‍යකර්ම මගින් පාලනය කිරීම හෝ ඒවා ඉවත් කිරීමෙන් ඩිම්බ කෝෂ වල කැලලක් ඇති වීම සරු භාවය අඩු කරයි. chocolate cyst නොමැති කාන්තාවන් හා සසඳන කළ chocolate cyst ඇති කාන්තාවන්ගේ ඩිම්බ ප‍්‍රමාණය අඩු වන අතරම ඩිම්බ ප‍්‍රමාණවත් පරිදි මේරීම ද නිසි අයුරින් සිදු නොවේ. මෙවැනි කාන්තාවන්ගේ රුධිරයේ FSH (follicle-stimulating hormone) මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වන අතරම එය ඩිම්බ කෝෂවල ගැටලු ඇති බව පෙන්නුම් කරන තත්ත්වයකි. මෙම කාන්තාවන්ට ගර්භනී වීම සඳහා IVF වැනි ක‍්‍රමයන් අනුගමනය කිරීම යෝග්‍ය වේ.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

 

ප්‍රසව හා නාරි‍වේද විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් ද සිල්වා මහතා

මහමෝදර ශික්ෂණ රෝහල

 

 


            

About The Author

Previous articleඅපේ රටේ කාන්තාව
Next articleවැටුණොත් නැගිටින්න…හිටියටත් වඩා ශක්තිමත්ව
අධ්යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here