සුද යෑම යනු කුමක්ද…? ( White discharge )

0
15609

ඇඟ උණු කරවා යෑම හෙවත් සුද යෑම ගැන බොහෝ දෙනාගේ ඇත්තේ අස්ථාන බියක්. සිරුරේ කොටස් උනු වී ස්‍රාවයක් ලෙසින් යෝනි මාර්ගය ඔස්සේ පිටවෙනවාය යන අදහස සම්පූර්ණ මිථ්‍යාවක්.  ඇඟ උණු කරවා යෑම හෙවත් සුද යෑම කියන්නේ යෝනි මාර්ගයෙන් යම් ස්‍රාවයන් පිටවීයි. සුද යෑම යනුවෙන් කිව්වත් මේවා ඇත්තටම සුදු පැහැ කියන්න අපහසුයි. ඒවා වර්්ණයක් නැති වෙන්නත් පුලුවනි. එහෙම නැත්නම් කොළ, ලා කහ වැනි වර්ණයකින් යුක්ත  විය හැක       සමහර විට ලේ මිශ්‍ර වෙලා තිබෙන්නත් පුලුවනි.

සුද යෑම බොහෝ විට සාමාන්‍ය තත්වයක්. අපේ ශරීරයේ බොහෝ අවයවවල තෙත ගතියක් තිබෙනවා. මුඛය, දිව, ඇස  සම වැනි අවයවන්හි වගේම යෝනි මාර්ගය සහ ගැබ් ගෙල ආශ්‍රිතවත් තෙතමෙන සහිත තත්වයන් තිබෙන්න පුලුවනි. හෝර්මෝන ක්‍රියාකාරිත්වය නිසා මේ තෙතමන තත්වයේ යම් යම් අඩු වැඩි වෙන අවස්ථා ඇති වෙනවා.

සාමාන්‍ය  යෝනි ශ්‍රාවයන් දක්නට වැඩියෙන් ලැබෙන අවස්ථාවන්..

  • ඩිම්බ මෝචන කාලයේදී
  • මාසික ඔසප් වීම ආසන්නයේදී
  • ලිංගික උත්තේජනයන්හිදී
  • ගර්භණීත්වය

සාමාන්‍ය සුද යෑම හෙවත් යෝනි ස්‍රාවයන් හි විශේෂ දුර්ගන්ධයක් නැහැ. කැසීමක් නැහැ. 

සුදයෑම ගැන සලකා බැලීමේදී  පුද්ගල කණ්ඩායම් කීපයක් ලෙස සලකා බලන්න පුලුවනි.

 

  • ලිංගික සම්බන්ධතාවයන් පවත්වන්නේ නැති යෞවන සහ  තරුණ කන්ඩායම
  • ලිංගික ක්‍රියාකාරිත්වය සහිත මැදි වියේ  කණ්ඩායම
  • වයස අවුරුදු 60 පමණ ඉක්මවන ආර්තවහරනය සිදු වු වැඩිහිටි කාන්තාවන්

තරුණ කණ්ඩායම සම්බන්ධව ගත්තොත්..

මේ කණ්ඩායමට අයත් අයට සුදයෑම බොහෝ විට සාමාන්‍ය වගේම ස්වභාවික තත්වයක්. ඉතා කලාතුරකින්  බැක්ටීරියා (Trichomonas vaginalis , Mycoplasma ) සහ දිලීර ආසාදන නිසා සුද යෑමේ තත්වයන් ඇති විය හැකියි.

ලිංගික ක්‍රියාකාරිත්වය සහිත මැදි වියේ  කණ්ඩායම

ලිංගික ක්‍රියාකාරීත්වයේ පසුවෙන වයසේ අයටත් සුද යෑම සාමාන්‍ය තත්වයක් ලෙස සැලකුවත්  ගොනෝරියා : ( gonorrhoea ) හර්පීස් ( herpes ) සිපිලිස් (syphilis ) වැනි ලිංගික සම්ප්‍රේෂණ රෝග නිසා මෙම වයස් කාණ්ඩයේ අයටත් සුද යෑම වැනි ශ්‍රාවයන් පිට වෙන්න පුලුවනි. 

වයස අවුරුදු 60 පමණ ඉක්මවන ආර්තවහරනය සිදු වු වැඩිහිටි කාන්තාවන් 

ඒත් වයස අවුරුදු 60 පමණ ඉක්මවන ලද ලිංගික සම්බන්ධතාවයන්හි ක්‍රියාකාරී නොවන කණ්ඩායම තුළ සුදයෑමේ තත්වයක් තිබුනොත් සමහර විට එය රෝගයක පෙරනිමිත්තක් විදිහට සැලකීමට  පුලුවනි.

ආර්තවහරනයෙන් පසුව කාන්තාවන්ගේ යෝනි මාර්ගය ආශ්‍රිතව ස්වභාවික ශ්‍රාවයන්  අඩු වෙනවා. නමුත් එම කාලයේදී සුද යෑම වැනි තත්වයක් තිබුනොත් එය ගැබ්ගෙල ආශ්‍රිත පිලිකා, තුවාල , මස් දළු වැනි රෝග තත්වයක් වෙන්න පුලුවනි.ඒ වගේම දියවැඩියාව සහ ගර්භාෂය පහත් වීම වැනි තත්වයන් නිසාත් මේ වයස් කාණ්ඩයේ කාන්තාවන්ට සුදයෑමේ තත්වයක් ඇති වෙන්න පුලුවනි.

සුදයෑම ඇති අය ගත යුතු ක්‍රියාමාර්ග

සුද යෑම සාමාන්‍ය තත්වයක් වුනත් එය සමහර විට රෝග තත්වයක පෙරනිමිත්තක් වෙන්න පුලුවනි. ඒ නිසා ආසාදනයක් නොවන බව තහවුරු කර ගත යුතුයි. සුදයෑම වෙනුවෙන් නිසි ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. රෝග ඉතිහාසය, ලිංගික සම්බන්ධතාවයන් ගැන තොරතුරු ලබා ගැනීම සහ සුද යෑමේ කායික පරීක්ෂන සහ රුධිර පරීක්ෂනවලින් පසුව මේ ගැන තීරණය සිදු වෙනවා. ඒ අවස්ථාවේදී රෝග තත්වයක් නිසා සුද යන බැව් තහවුරු වුනොත් අවශ්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු කරන්න පුලුවනි.

සුදයෑම සාමාන්‍ය තත්වයක් වුනත් ..

  • පුද්ගලික ස්වස්ථතාව පවත්වා ගැනීම.
  • යට ඇඳුම් පිරිසිදුව තබා ගැනීම සහ කපු යට ඇඳුම් භාවිතා කිරීම
  • ඩෙනිම්  ජීන්ස් වැනි වාතාශ්‍රය නොලැබෙන තද  ඇඳුම් දිගු වේලාවක් භාවිතා නොකිරීම.
  • ලිංගික සම්බන්ධතාවයන් සහකරුට පමණක් සීමා කිරීම

සුද යෑම නිසා සිරුර කෙට්ටු වීම..

මල්වර වීමෙන් පසුව යෝනි ශ්‍රාවයන් පිටවීම ස්වභාවිකයි.සුද යෑම සහ සිරුර කෙට්ටු වීම අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ.නමුත් සුදයෑම නිසා ඇති වෙන මානසික ආතතිය නිසා සිරුර කෙට්ටු වීමට පුලුවනි.ඒ හැර යෝනි ස්‍රාවයන් නිසා සිරුරේ කෙට්ටු වීමක් සිදු වෙන්නේ නැහැ.

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

ප්‍රසව සහ නාරි  රෝග පිළිබඳ විශේෂඥ ගාමිනී පෙරේරා මහතා

ප්‍රසව සහ නාරි  රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති ( 2016 )

 

 


            

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here