බලාපොරොත්තුව

0
1180

අවිශ්ක එනතුරු දෑස් දල්වාගෙන සිටි මල්ෂාට ගෙවිලා යන  තත්පරයත් කල්පයක් සේ දැනුනාය. වරින් වර ඇය අත් ඔරලෝසුව දෙසත් මාර්ගය දෙසත් බැලුවේ නොරිස්සුම් සහගතවය. අවිශ්ක දැන් හෝරාවකටත් වඩා ප්‍රමාදය. සිත තුල ඇති වූ නොරිස්සුමත් දුකත් නිසාම මල්ෂාගෙ දෙනෙත් වල කඳුලු එක්රොක්වී දෑසින් මිදෙන්නට ඔන්න මෙන්න කියා තිබියදීම අවිශ්ක ඇය ඉදිරියෙන් මෝටර් බයිසිකලය නතර කළේය.

මල්ෂා නෝක්කාඩුවෙන් ඉවත බලා ගත්තාය.

‘මල්ෂා’ වෙනදාට වඩා වෙනස් ස්වරයෙන් අවිශ්ක අමතන විට මල්ෂා තිගැස්සී අවිශ්ක දෙස බැලුවාය.

‘යමු’

කිසිත් නොදෙඩූ මල්ෂා අවිශ්ක දිගු කල හෙල්මටය පැළඳගෙන බයිසිකලයට ගොඩවිය. කිසිඳු කතාවකින් තොරව දෙදෙනාම නිසොල්මනේ ගමනේය.

‘තරහා ගිහින්ද?’

‘ම්හු… තරහා විතරක් නෙමේ දුකත් හිතිලා ඉන්නෙ, ඇයි පරක්කු වුණේ හැමදාම ඔයා මාව මේ විදිහට පාරේ රස්තියාදු කරනවා. ඇයි වෙලාවට එන්න බැරි?’

‘වෙනදට මේ වගේ පරක්කු වුණේ නැහැනේ, කොහෙද යන්නෙ අපි ?’

‘බීච්’‘

ගල්කිස්ස වෙරළ ආසන්නයෙන් බයිසිකලය නතර කර අවිශ්ක ඉන් බැස ඉදිරියට යද්දි මල්ෂා දිව ගොස් ඔහුගේ වම් අත අල්ලා ගත්තාය. දෙදෙනා කිසිඳු කතාවකින් තොරව වෙරළ දෙසට පියමං කළෝය. ඉර බැස යන්නට සූදානමින් ආකාසය රක්ත වර්ණයෙන් හැඩගැන්වී ඇත. මුහුද අතොරක් නැතිව  හෝ හෝ හඬ නගයි. අවිශ්ක නැගෙන බිඳෙන පෙන කැටි දෙස බලාගෙන සිටියේය. මල්ෂා රතට ර‌තේ දිලෙමින් බැස යන හිරු දෙස බලා උන්නාය.

‘මල්ෂා මට ඔයාට කියන්න වැදගත් කාරණාවක් තියෙනවා’ නිහැඬියාව බිඳිමින් අවිශ්ක කටහඩ අවදිකළේය.

‘මොකද්ද?’

‘මේ සම්බන්ධය නතර කරන්න කාලය හරි’

‘මොනවා! ඔයාට පිස්සුද ? ඔය වගේ විහිලු කරන්න එපා අවී ‘ මල්ෂා අවිශ්කගේ උරහිසට හිස තබා ඔහුගේ බාහුව තදින් අල්වාගෙන පැවසුවාය.

‘මේක විහිලුවක් නෙමේ මල්ෂා’

‘එතකොට මං ඔයාව විශ්වාස කරලා ඔයත් එක්ක හැම තැනම රවුම් ගහලා මගේ හැමදේමත් ඔයාට දුන්නට පස්සෙද ඔයාට මේක නතර කරන්න ඕනී වුණේ ?’

‘මං ඔයාට ආදරෙයි මල්ෂා’

‘ආදරේ නිසාද මේ සම්බන්ධය අතාරින්න ඕනී, හරි ඔයාට ඕනී ඒ දේ නම් අපි වෙන් වෙමු. ඇත්තටම අපි තවත් මිනිහෙක් වෙනුවෙන් අපේ ජීවීතේ මහා හුඟක් ඉඩ වෙන් කලාම දන්නෙම නැතිව අපිට අපිටවම නැතිවෙනවා. සමහරු අවසානේ නතර වෙන්නෙ පිස්සන් කොටුවෙ. මට මාව අතඇරගන්න බැහැ. මාව මෙච්චර කාලයක් ආදරෙන් බලාගත්ත අම්මා , තාත්තට දුකක් දෙන්නත් බෑ. මට බලෙන් ඔයා ළඟ ඉන්නත් බැහැනේ. ඒත් මං කැමතියි ඔයා මගෙන් වෙන් වෙන්න හේතුව දැන ගන්න. ‘

‘ගෙදරින් යෝජනාවක් ආවා. තාත්තගෙ යාලුවෙක්ගෙ දුවෙක්. ඔයා දන්නවනේ තාත්තට හාර්ට් කේස් කියලා. මට ඒ යෝජනාවට කැමති වෙන්න සිද්ධ වුණා’

‘එතකොට මෙච්චර කල් ඔයා මට ආදරේ ක‌ෙළ් බොරුවටද? මම ගෑනියෙක් වෙච්ච එකත් සුලු දෙයක්ද?’

‘අද කාලේ ඕවට කොයි තරම් විකල්ප තියෙනවද මල්ෂා අපි සර්ජරි එකක් කරමු’

‘තමුසෙ මහා ජරා මිනිහෙක්, තමුසෙ වගේ මිනිහෙකුටනේ මම ආදරේ කළේ, තමුසෙ හිතන්නෙ කෙල්ලෙක් ගෑනියෙක් කරන එක හරි සුලු දෙයක් කියලද? කවද හරි තමුසෙගෙ නංගිට, දුවට මෙහෙම වුනොත් මොනවද කරන්නේ? තවත් කෙනෙක්ගෙ ජීවිතයක වටිනාකමක් නොදන්න මනුස්සයෙක් ඔයා, යනවා මේ දැන්ම මෙතනින් යනවා, මට තමුසෙව ඕනිම නැහැ’ මුහුදේ ඝෝෂාව පරයමින් මල්ෂා කෑ ගැසුවාය.

මල්ෂා ඇගේ ප්‍රථම ප්‍රේමයට එසේ නැවතීමේ තිත තැබුවාය. ජිවිතේ අපි තදින් අල්ලා ගන්නා දේවල් බොහෝ විට අපට උරුම කරවන්නේ වේදනාවක්මය. ජිවිතයෙ ඇද වැටීමක් සිදු වූ විට වැටුනු තැනම වැටී හඬ හඬා සිටීමෙන් පලක් නැත. ජීවිතයට ශක්තිමත්ව මුහුණ දිය යුතුය. වරද සිදු කළේ මමයි. කෙටි කලකදී හමු වූ කෙනෙකුට දෙමාපියන්ටත් වඩා ආදරය කොට සමීප වී, ආදරය ඉදිරියේ පෙම්වතා ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නටත් ඕනෑම කැප කිරීමක් කරන්නට දෙවරක් නොසිතුවෙමි. අද තියෙන ආදරේ හෙට වියැකේවී කියලා මොහොතකටවත් සිතුවේ නැත. ආදරේ අන්ධයි කියන කියනමන අද මගේ ජීවියෙන්ම මම ඉගෙන ගත්තා. අවිශ්කගේ මතකය ලෙහෙසියෙන් වළ දැමිය නොහැකිය එහෙත් ජීවිතය තව දිගුය. ඇය ඇගේ දිනපොතේ සටහන් කලාය.

 මල්ෂා ශක්තිමත්ව සතුටින් සිටින්නට වෙහෙසුනාය. ඇය කාර්ය බහුල වන්නට උත්සහා ගත්තාය. පශ්චාත් උපාධියටද ඇය මේ අතර අයදුම් කලාය. සති කිහිපයක් ඉකුත්ව යද්දි මල්ෂාට පෙර නොවූ ශාරීරික වෙනස්කමක් දැනෙන්නටත් විය.  මාසික ඔසප් වීම ප්‍රමාද බව ඇයට සිහි වූයේ එවිටය. මල්ෂාගේ කුස තුල නව ජීවයක් පිබිදෙමින් තිබුණි. මගේ දරුවට තාත්තා කෙනෙක් ඕනේ ඒ සිතුවිල්ලෙන් අවිශ්කගෙ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගත්තද ඒ වන විටත් ඔහු  දුරකථන අංකය වෙනස් කර තිබුණි. ඇයට දැනුනේ අන්ත අසරණ බවකි. අම්මාටත් තාත්ටත් ඇය කළේ සුලු පටු වරදක් නොවේ.ලෝකයේම නින්දා ගැරහුම් මැද ඇයව ආදරෙන් රැකගන්නට අම්මාත් තාත්තාත් සිටියේ ඇගේ වාසනාවටය. මග වැරදී අසරණ වූ විට  සරණට සිටින්නේ දෙමාපියන් පමණක්මය. හැර ගිය මිනිසකු පසු පස හඹා ගොස් ඵලක් නැත. අනාරාධනාවෙන්ම පැමිණි අමුත්තාට මේ ලෝකය දකින්නට ඉඩ හසර ලබා දෙන්නට උදව් කරන මෙන් ඇය අම්මාගෙනුත් තාත්තාගෙනුත් ආයාචනා කළාය.

ජීවිතේ ආකාරුණික බව අතරින් මල්ෂාට සැනසුමක්ද ගෙන ආවේ නව ගුරුපත්වීමක් ඇය ලද නිසාවෙන්ය. දින සති ගෙවී ගියේ ය. දැන් මල්ෂාගෙ කුසට සයමසකි. ඒ අතර තුර ඇයව කොළඹ විශේෂඥ වෛද්‍යවරයකු වෙත පෙන්විය යුතුම යැයි පවසමින් අම්මා නිතරම ඇවටිලි කළාය. එදින මල්ෂා  වෛද්‍ය හමුවට රෝහල වෙත ගියේ අම්මාත් තාත්තාත් සමඟය. 

‘ඔයා මල්මී බක්මීවැව නේද?’ අසුන් ගෙන සිටි මල්ෂා ළඟට පැමිණ කවුන්ටරයේ බිල් පත් නිකුත් කරන යුවතිය විමසීය.

‘ඔව් ‘

‘මම අවිශ්කගෙ නංගි. ඔයා මැරි කළාද ?’

මල්ෂාගේ දෑත කුස වෙත ගියේ නිරායාසයෙන්ය. කිසිවක් සිතා ගත නොහැකිව  ඇය  නිරුත්තරව උන්නාය.

‘අයියා නිතරම ඔයාව මතක් කරනවා, එයා ඉන්නෙ අසනීපෙන්, ඔයාට පුලුවන් නම් අයියව බලන්න දවසක් හරි එන්න.’

‘ඇයි අයියා මැරි කළේ නැද්ද?’

‘එයා මැරි කරන්න හිටියෙ ඔයාවනේ, ඒත් අපි හීනෙකින්වත් නොහිතපු දෙයක් අයියට වුණේ. ඒ එක්කම දැන් මාස හයකට විතර උඩදි  බයික් එකේ එද්දි අයියා ඇක්සිඩන්ට් වුණා. කකුල හුඟක් ඩැමේජ් වුණා, කතා කරන්නවත් බැරිව හිටියෙ දැන්නම් ටිකක් හොඳයි’

මල්මී අසල තිබූ පුටුව ට බර දුන්නේ නාඳුනන යුවතිය පවසන දෑ විශ්වාස කරන්නට නොහැකිවය.

‘ඔයා කොහොමද මාව දන්නෙ?’

‌’අයියා මට ඔයා ගැන සේරම කියලා තියෙනවා. ඔයාගෙ පොටෝ මම දැකලා තියෙනවා වාසගම නිසයි අද අඳුන ගත්තෙ.’

‘ඇයි අවිශ්ක ඇක්සිඩන්ට් වුණ වෙලාවෙ මට කෝල එකක්වත් නොදුන්නෙ’

‘අයියා ඇක්සිඩන්ඩ් වුණාට පස්සෙ එයාගෙ පෝන් එකවත් , පර්ස් එකවත් හම්බ වුණේ නැහැ.ඉතින් ඔයාගේ දුරකථන අංකයක් අපට තිබුණෙ නැහැ. අනිත් එක එදා අයියා ඔයාගෙන් වෙන් වෙන්නනේ ආවේ.  ඒ නිසා ඔයාට අයියා ගැන දැනුම් දෙන්න ගියෙ නැහැ. ඒත් දැන් නිතරම ඔයාව මතක් කරනවා. මම ඔයාගේ දුරකථන අංකය ඉල්ලලා ‌ෙෆ්ස් බුක් එකටත් මැසේජ් එකක් දැම්මා.’

‘මම දැන් ‌ෙෆ්ස් බුක් පාවිච්චි කරන්නෙ නැහැ. හරි කමක් නෑ මට ඇඩ්‍රරස් එක දෙන්නකො’

මල්ෂා වෛද්‍ය හමුව අවසන් වූ වහාම අම්මාත් තාත්තාත් සමඟ අවිශ්කගේ නැගණිය දුන් ලිපිනයට ගියාය.

 හිස කෙස් සියල්ලම අතුරුදන්ව කෘෂ වී ගිය මලානික අවිශ්ක දුටු මල්ෂාට ඉහිලුම් නැති විය.මල්ෂා දුටු අවිශ්කගේ දෙනෙත් දීප්තිමත් විය. අම්මාත් තාත්තාත් අවිශ්කගේ දෙමාපියන් සමඟ කතා බහේ යෙදී සිටියදීම මල්ෂා අවිශ්කව රෝද පුටුවේ තබා ගෙන මිදුලට පිවිසියාය.

‘ඔයාට මොකද්ද වුණේ අවී? ‘ මල්ෂා අවිශ්කගේ මුහුණ දෝතින්ම ගෙන විමසුවේය. ඇගේ උණුසුම් කඳුලින් ඔහුගේ දෙකොපුල් තෙමී ගියේය.

‘මම ලෙඩෙක් මල්ෂා, මම ඔයාව අන්තිමට මුණගැහුනු දවසෙ මාව ඇක්සිඩන්ට් වුණා. ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නෙ, කවුද ඒ වාසනාවන්තයා?’

‘ඒ අවාසනාවන්තයා ඔයා. මේ ඔයා මට දීලා ගිය තෑග්ග. මගේ අම්මා තාත්තා නිසා අපේ පැටියත් මමත් සතුටින් ඉන්නවා. ඒත් මේ පැටියා මේ ලෝකෙට ඇවිත් තාත්තා කෝ අහද්දි මම මොනවද කරන්නෙ අවිශ්ක? දැන්වත් බැරිද ඔයාට අපි දෙන්නව භාර ගන්න. මේ බලන්න මේ ඔයාගෙයි මගෙයි ආදරේ ‘

මල්ෂා අවිශ්කගේ දෑත ගෙන ඇගේ කුසට තබා පැවසුවාය.

‘මම අම්මලටත් ඔයා ගැන කියලා තිබුණෙ. මම ලෙඩෙක් මල්ෂා මට අක්මාවෙ පිළිකාවක් කියලා මම දැන ගත්තෙ ඔයාව අන්තිමට හම්බ වුන දවසට කලින් දවසෙ. ඉතින් මට ඒකයි ඔයාව මගෙන් ඈත් කරන්න ඕනී වුණේ. ඒත් මම හිතුවෙ නෑ ඒ වෙද්දි අපි අතරට තුන්වෙනියෙක් ඇවිත් කියලා. එහෙම දැනගෙන හිටිය නම් මම කවදාවත් ඔයාට බොරු කියන්නෙ නෑ.’

‘වෙච්ච දේ වෙලා ඉවරයි අපි ජීවිතේ අලුතින් පටන් ගමු අවිශ්ක’

‘මම ලෙඩෙක් මල්ෂා’

‘ඔයා දැන් තාත්තා කෙනෙක්, අපි පුලුවන් කල් එකට ජීවත් වෙමු. මේ පැටියව අසරණයෙක් වගේ ලෝකෙට බිහි කරන්න ඕනී නැහැනේ අම්මා තාත්තා දෙන්නම ඉන්දැද්දි.’

මල්ෂා අවිශ්කගේ ගිලිණු දෑස් වලට එබී ආදරෙන් පැවසුවාය.  අවිශ්ක මල්ෂාගේ ඉදිරියට නෙරාවිත් තිබූ කුස සෙනෙහසින් වැළඳ ගත්තේය.

 

දිශාන්ති වෙදගේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here