අනාගතය භාර ගැනීමට සිටිනා දරුවන් රැක ගැනීම වැඩිහිටි අපගේ වගකීමයි

0
4266

රටක් සමාජයක් යහපත් ශිෂ්ටසම්පන්න සමාජයක්ද යන්න මැන බලන්නට තිබෙන හොඳම මිනුම් දණ්ඩ වන්නේ එම සමාජය දරුවන් ආරක්ෂා කරනවාද, දරුවන්ට හොඳින් සලකනවාද නැද්ද යන්න සොයා මැන බැලීම වන්නේය. මෑතක සිට අපට ඇහෙන්නට දකින්නට තිබෙන සිදුවීම් වලින් ගම්‍ය වන්නේ ලාංකේය සමාජය දරුවන්ට නොසලකන, දරුවන් අනතුරේ හෙළන අවිචාරවත් යුගයක් පසුකරමින් සිටින බවය. ජාතියේ ජීවනාලිය ලෙස සැලකෙන දරුවන් වර්තමානයේ කොපමණ අවදානමකට ලක්වී තිබේද යන්නට උදාහරණ දිනපතා අසන්නට ලැබේ.

ලාංකේය සමාජය දරුවන්ට සතුරු, දරුවන්ට ආරක්ෂාව නොසලසන සමාජයක් බවට පරිවර්තනය වී ඇති බවට නිදසුන් දිනපතා අසන්නට ලැබේ. එක් පැත්තකින් දරුවන් මෙහෙකාර සේවයේ යොදවන මවුපියන් සිටින අතර දරුවන් සිඟමනේ යවන අවස්ථා කොතෙකුත් දකින්නට, අසන්නට ලැබේ. එපමණක් නොව දරුවා ගැන ඇති නොසැලකිල්ල නිසාම අම්මාට නියම කළ බෙහෙත් බීමෙන් සිඟිති දැරියක මියගිය පුවතක්ද අසන්නට ලැබිණි.

මිනිස්කම පරිහානියට පත් වී මුදල පසුපස හඹායන සමාජයක අප ජීවත් වන බව සැබෑය. එහෙත් සමාජයේ පවතින අවිචාරය මත දරුවන් දඩයමට ඉඩදිය නොහැකිය. ශිෂ්‍යත්ව විභාගය ජයගැනීම උදෙසා දරුවා කිහිල්ලේ ගසාගෙන ඉවක් බවක් නැතිව දුවන අම්මලා ඉතිරි පැය කීපය දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් නොවන්නේ ඇයිදැයි යන්න වටහා ගත නොහැකිය. අප ජීවත් වන්නේ දරුවන් අපයෝජනය කරනු පිණිස නෙත් මානන බියකරු සමාජයක බව අමතක කළ යුතු නැත.
දරුවන්ගේ ආරක්ෂාව සඳහාම කැපවූ රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන ආයතනද කොතෙකුත් තිබේ. ඇමැතිවරුද, නියෝජ්‍ය ඇමැතිවරු ද, රාජ්‍ය ඇමැතිවරුද, අඩුවක් නැතිව සිටිති. එහෙත් ලංකාවේ දරුවන් අනතුරේය.

දරුවන් රටේ දරුවෝය. අනාගතයේ රට භාර ගන්නේ ඔවුන්ය. රටේ පාලකයන් පළමු හැන්ද බෙදිය යුත්තේ දරුවන්ටය. ප්‍රථමයෙන් සහතික කළ යුත්තේ දරුවන්ගේ ආරක්ෂාවය. ජාතික නිෂ්පාදනයේ හොඳම කොටස වැය කළ යුත්තේ දරුවන්ගේ පෝෂණය උදෙසාය. මහලු කුසීත පරපුටු පාලකයන්ගේ සුඛවිහරණය උදෙසා ජාතික ධනයේ වැඩි පංගුව වැය කරන රටක් දරුවන්ට කුඩම්මාගේ සැලකිල්ල දක්වයි නම් ඒ රටට අනාගතයක් නැත.

දරුවා අම්මාගේ තාත්තාගේ වුවද ඔහු වෙනත් සත්ත්වයෙකි. ඔහුට වෙනත් ජීවිතයක් ද තිබේ. ඔහුගේ ජීවිතය අවසන් කිරීමේ තීන්දුව ගන්නට මවට, පියාට හෝ වෙනත් කිසිවකුට අයිතියක් නැත. දරුවන් පීඩාවට පත්කිරීම මෙන්ම දරුවන්ට නොසලකා හැරීම නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය යුතු වැරැදි වන්නේය.

1998 අංක 5 දරන ළමා ආරක්ෂක පනත මෙන්ම 2005 අංක 34 දරන ගෘහස්ථ හිංසන වැළැක්වීමේ පනතද දැන් සක්‍රියව පවතී. එහෙත් එම පනත්වල ආරක්ෂාව දරුවන්ට සහතික නොවීම සමාජය මුහුණ දෙන බරපතළ අර්බුදයකි. දරුවන් මොන වයසක පසු වුණත් ඔවුන්ගේ ආරක්ෂාව වැදගත් බව ඔහු පවසනවා. බොහෝ රටවල දෙමාපියන්ගේ පැහැර හැරීම, අතපසු වීම නිසා දරුවන්ට තම ජීවිත අහිමි වූ අවස්ථා තියෙනවා.
දරුවන්ගේ වටිනාකම දන්නා දෙමාපියන් දරුවන් හොඳින් හඳුනාගත යුතුවීම ඉතා වැදගත් වේ. අතීතයේදී දරුවන් හැදී වැඩුණේa දෙමව්පියන් ඇසුරේ පමණි. නමුත් අද වත්මනෙහි තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්‌ය. විද්යුත් මාධ්‍ය හැටියට රූපවාහිනිය, අන්තර්ජාල පහසුකම් හා මුද්‍රිත මාධ්‍ය හැටියට පුවත්පත්, සඟරා, පොත්පත් දරුවන්ගේ සිතුම් පැතුම් හැසිරීම් චර්යා රටාවන් කෙරෙහි විවිධ අයුරින් බලපෑම් කරනු ලබයි. මේ නිසා දෙමව්පියන් දරුවන් ඇති දැඩි කිරීම ගැන අතීතයට වඩා දැනුවත් වීම කාලෝචිත වේ. දරුවාට නිරෝගිමත්ව සහනශීලීව ජීවත්වීමට සුදුසු පරිසරයක්‌ සකස්‌ කළ යුතු වේ. ගැහැනු පිරිමි භේදයකින් තොරව සමානව ආදරය කරුණාව හා සැලකීම දරුවන්ගේ මානසික සෞඛ්‍ය තත්aතවය වැඩීමට පිටිවහලක්‌ වේ. දරුවන්ගේ සෑම නිවැරදි ක්‍රියාවක්‌ම අගය කරන්නේ නම් සංවර්ධනය වේගවත් වේ. දරුවාගේ උත්සාහය දිනෙන් දිනම වැඩි වේ. දෙමාපිය උනන්දුව මත දරුවාට අත්හදා බැලීම් කිරීමට ඉඩ දිය යුතු වන අතර එමඟින් සංවර්ධනය ඇතිවේ. කුඩා අවධියේ සිටම දරුවන්ට පිරිසිදුකම ප්‍රගුණ කළ යුතුය. ආහාර ගැනීමට පෙර අත් සබන් ගා සෝදා ගැනීම, නින්දට පෙර දත් මැදීම, සිරුර සෝදා ගැනීම පුරුදු කළ යුතු වගේම ක්‍රමවත්ව මුත්‍රා කිරීම, වැසිකිළියාම පාවිච්චි කිරීම වැනි සිරිත් විරිත් පුහුණු කළ යුතුවේ.

අද සමාජයේ සමහර දෙමව්පියන්ට, විශේෂයෙන් නාගරික ප්‍රදේශවල දරුවා සමඟ කාලය ගතකරන්නට සෙල්ලම් කිරීමට හා සිංදු කවි කතා කියවීමට විවේකය නැත. දරුවන්ට අවශ්‍යම කරන ආදරය, කරුණාව, උණුසුම, දයාව ආදී අධ්‍යාත්මික ගුණ වගාව සඳහා අවශ්‍ය සම්බන්ධතාවන්ය. පවුල්වල සමඟි සම්පන්නකම, එකමුතුකම හා සහෝදරත්වයෙන් යුතුව විසීම දරුවන්ගේ වැඩීම හා ආරක්‌ෂාව කෙරෙහි බලපාන්නා වූ ප්‍රධාන සාධකයන් වන අතර දෙමව්පියන් විසින් කළ යුතු ප්‍රධානම යුතුකම වන්නේ දරුවන්ගේ වැඩීමටත්, සංවර්ධනයටත් පෝෂණයටත් හිතකර පිරිසිදු හිතකර පරිසරයක්‌ සෑදීමට උත්සාහ ගැනීමයි.

අප සතු උතුම් සම්පත දරුවාය. එම දරු සම්පත හොඳින් රැක ගැනීම අප සැමගේ පරම යුතුකම වන්නේය. වෙනත් ඕනෑම වස්‌තු සම්භාරයන් නැති වුණහොත් අපට ලබාගත හැක. එහෙත් දරුවකු විනාශ වුවහොත් නැවත ලබාගත නොහැකිය. මේ නිසා දරුවා ඇති දැඩි කිරීමේදී දෙමාපිය වැඩිහිටියන්ට ඇත්තේ ඉතා වගකීම් සහිත භාරදූර කාර්යයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here