ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න රසය ගුණය පිරි කදිම බීම වර්ග 05ක්

0
12955
fruit juice

අපේ ගෙදරට නිතර දෙවේලේ එන අහල පහල උදවිය ඇරෙන්න ඉඳලා හිටලා එන අපේ නෑයෝ, හිත මිතුරන්ට ගෙදරට ආවම  අපි  තේ, කෝපි, බීම ඇර  දෙන්න පුළුවන්  දිව පිනන ගෙදරදිම විනාඩි 5න් හදා ගන්න පුළුවන්  බීම ජාති 05ක් ගැන තමයි මම අද ඔයාලට කියන්න හදන්නෙ. ඉතින් හැමදාම කඩෙන් ගෙනත්  හදලා දෙන කෝඩියල් එකට වඩා රසය ගුණය දෙකම පිරි මෙම බීම වර්ග පහත් ඔයාට පුළුවන් ඔයාගෙ ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න.

කොමඩු පානය

ඇත්තටම ගෙදරට එන අමුත්තන්ට මෙය නම් වෙනස්ම අත්දැකීමක් වේවි. කොමඩු කිව්වම ඉතින් ගොඩක් දෙනා  නිකන්ම කනවා ඇරෙන්න වෙනස් දෙයක් කරන්න හිතන්නෙ නෑ නේ. ඉතින් එහෙම එකේ ගෙදරට එන අමුත්තන්ට කොමඩු ජූස් එකක් හදලා දුන්නොත් කොහොමද ?

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කොමඩු ගෙඩියක්
  • ලුණු
  • සීනි
  • සුදු කිරි පිටි මේස හැදි 02ක්

සාදාගන්නා ආකාරය

ඇට ඉවත් කර ගත් කොමඩු මද හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. එයට වතුර කෝප්ප කාලක්  එකතු කර ගෙන සුදු කිරි පි‍ටි මේස හැදි දෙක ද එකතු කොට නැවතත් හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. බ්ලෙන්ඩර් කර ගත් කොමඩු  ජූස් එක පිරිසිදු   භාජනයකට වත් කර අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා සීනි එක් කොට මිශ්‍ර කර ගන්න.
මෙම කොමඩු ජූස් එක දැන් ඔයාට පුළුවන් ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න. අවශ්‍ය නම් මෙයට අයිස්ක්‍රීම්  හැන්දක් එක්කරන්නත් පුළුවන්.

ගස් ලබු පානය

ගස් ලබු කියන්නෙ ඉතින් කවුරුත් කන්න ආස පෝෂදායි පළතුරක් නේ. ගෙදරට එන අමුත්තන්ට වෙනසකටත් එක්ක ගස් ලබු වලින් හදා ගත්ත බීම එකක් බොන්න දෙමුද?

අවශ්‍ය ද්‍රව්‍ය

  • ගස් ලබු ගෙඩියක්
  • ලුණු
  • සීනි
  • දෙහි

සාදාගන්නා ආකාරය
ඇට  ඉවත් කර  ගත් ගස් ලබු මද  ටික වතුර කෝප්ප භාගයක් පමණ යොදා හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. එම බ්ලෙන්ඩර් කර ගත් ගස් ලබු පානය භාජනයකට දමා අවශ්‍ය පරිදි  ලුණු හා සීනි එක් කොට දෙහි ඇඹුල් ස්වල්පයක් මිශ්‍ර කර  සාදා  අමුත්තන්ට පිළිගන්වන්න.

කැරට් ජූස්

කැරට් කිව්වම ඉතින්  ගොඩක් දෙනෙක්  දන්නෙ අපි කැරට් එළවලුවක් විදියට ගන්නවා කියලා විතරයි නේ. ඒත් අපට පුළුවන් අපේ ගෙදරට එන අමුත්තන්ට කැරට් බීම එකක් හදලා දෙන්න.  වෙනස්ම වෙනස් ආකාරයෙන් අළුත්  දෙයක් පිළිගන්වලා අමුත්තන්ව සතුටු කරන්න ආස ඔබත් මේ ආකාරයට කැරට් බීම එකක් හදා ගන්න

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිරිසිදු කර සෝදා ගත් කැරට් අලයක්
  • වතුර කෝප්ප භාගයක්
  • සීනි හා ලුණු අවශ්‍ය ප්‍රමාණයට
  • දෙහි යුෂ ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

පිරිසිදු කර සෝදා ගත් කැරට් අලය පොඩි කොටස් වලට කපා ගන්න පසුව එය බ්ලෙන්ඩර් එකට දමා වතුර එක්කොට හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. ජුස් එකක් ආකාරයෙන් බ්ලෙන්ඩර් කර ගත් කැරට් පානය වීදුරුවකට දමා අවශ්‍ය පරිදි සීනි හා ලුණු මිශ්‍ර කොට දෙහි යුෂ ස්වල්පයක් එක් කර හොදින් මිශ්‍ර කර  පිළිගන්වන්න.

අඹ පානය

අඹ කියන්නෙ නම් ඉතින් අපි කොයි කවුරුත් කන්න ආස රසම රස පළතුරක් නේ. අඹ වලත් එක එක වර්ග තියෙනවා. කොහු අඹ, රට අඹ, ඇටඹ, කරත්ත කොළොම්බු, වගේ අඹ වර්ග තියෙනවා. ඉතින් මේ අතර කරත්ත කොළොම්බු  වගේ අඹ යොදා ගෙන රසට බීම එකක් හදලා ගෙදර එන අමුත්තන්ට පිළිගන්වන්න ඔබටත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • සූරාගත් අඹ කෝප්පයක්
  • සීනි හා ලුණු අවශ්‍ය පදමට
  • දෙහි ස්වල්පයක්

සාදාගන්නා අාකාරය

සූරාගත් අඹ  බ්ලෙන්ඩරයට දමා වතුර ස්වල්පයක් එක් කොට හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. දැන් අඹ මිශ්‍ර පානය හොඳින් පෙරා ගෙන එයට සීනි හා ලුණු අවශ්‍ය තරමින් එක්කොට  දෙහි යුෂ ස්වල්පයක් කලවම් කර මිශ්‍ර කර ගන්න. දැන් මෙම පානය පිළිගැන්වීමට ඔබට පුළුවන්.

දෙහි

දෙහි නම් ඉතින් අපිත් හදන් බොනවා. දෙහි වලත් වර්ග තියෙනවා. දෙහි පවුලෙ වර්ග අතර ලෙමන්, හීන් නාරං, නාරං, පෝච්චි දෙහි, ඇඹුල් දොඩම්, කියන වර්ග ඕනම එකක් බොන්න ගන්න පුළුවන්.ඉතින් මෙන්න මේ ඕනම වර්ගයක්  අරගෙන ඔයාට පුළුවන් ඔයාගෙ ගෙදරට එන අමුත්තන් වෙනුවෙන්  දෙහි බීම එකක් හදා  දෙන්න.

සාදාගන්නා ආකාරය

දෙහි  ගෙඩි  දෙකක   පමණ දෙහි යුෂ ගෙන එයට ශීත වතුර කෝප්ප භාගයක් එක් කොට ගන්න. පසුව අවශ්‍ය ප්‍රමාණයට ලුණු  හා සීනි එක් කොට හොදින් මිශ්‍ර කර පිළිගන්වන්න.

ඉතින් මේ අකාරයට ඔබටත් පුළුවන් ඔබේ නිවසට එන අමුත්තන්ට වෙනස් වෙනස් විදියෙ  දේවල් පිළිගන්වන්න. හැමදාම දෙන කඩේ කෝඩියල් බීම වීදුරුවටයි, තේ එකටයි, කෝපී එකටයි වඩා වෙනස් දෙයක් වේවි ඇත්තටම මෙය නම්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here