පරිස්සමින් ගෙදර එන්න

be safe

අප අතුරින් ඇතැම් අය ජිවත් වන්නේ අවට ආරක්ෂාකාරී මෙන්ම කෙටි ගමන් බිමන් වලට තනිව වුවත් යා හැකි පසුබිම් පරිසරයක් ඇති ප්‍රදේශයක විය හැකිය.එමෙන්ම අප අතරින් තවත් උදවිය වාසය කරන්නේ නිතර ගැටුම් ඇතිවන භයානක තත්වයන්ගේ යුත් අනාරක්ෂිත පරිසරයක සහ සමාජයක වුවත් අවාසනාවට තනිව ගමන් ගත යුතු පරිසරයක විය හැකිය.මේ ලිපියෙන් womanly.lk අපේ බලාපොරොත්තුව දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ හෝ රැකියා හෝ පුද්ගලික වෙනත් කටයුතු සඳහා හෝ හුදෙකලාව ගමන් ගන්නා ඔබ තවකෙකුගේ අරමුණක්,ගොදුරක් නොවී මඟ තොටේ ආරක්ෂා වීමට තරම් තත්වයේ පසුවීමට අවශ්‍ය කරුණු ගෙන එන්නයි.

පුළුවන් හැම වෙලාවකම සමුහයක් වශයෙන් ගමන් ගන්න.ඒ වගේම රාත්‍රී ගමන් බිමන් නොයන තරමටම එය ආරක්ශාකාරියි.එහෙත් අත්‍යවශ්‍යම ගමනක් ඇතිවෙන අවස්ථා ද නොතිබෙනවා නොවෙන්න පුළුවනිකුමන වේලාවකදී හෝ අවස්ථාවකදී වුනත් මේ පුංචි උපායන් අනුගමනය කරන්න අමතක කරන්න එපා….

කිසිම කෙනෙකුගෙන් ලිෆ්ට් එකක් ගන්න එපා ! 

පෙර දැක තිබුනා හෝ ඔවුන්ගෙන් ඔබට හානියක් නොවේ යන හැඟීමක් තිබුනා හෝ විය හැකියි.එහෙත් කිසිම අවස්ථාවකදී කිසිවෙකුගේ වාහනයකට ගොඩවෙන්න එපා.බොහෝ ගැහැණු ළමයින් ඇවිදගෙන යන අතරේ තමන් බොහෝ සෙයින් දන්නා හඳුනන පවුලේ ඥාතීන්,මිත්‍රයන්,ගුරුවරුන්,වෙළඳ සල් හිමියන් සහ එදිනෙදා හඳුනන පුද්ගලයන් විසින් පවා පැහැරගැනීම් වලට ලක්ව තිබෙනවා.ඒනිසා කිසිවෙකුගෙන් ලිෆ්ට් එකක් ගන්න එපා.යම් හෙයකින් ප්‍රතික්ෂේප කරන්න ඔබට අපහසුතාවයක් දැනෙනවා නම් ඔබ යන පාරේම මිතුරෙකු ඔබ හමුවෙන්න බලා ඉන්න බව,ලඟට යන බවක් හෝ මිතුරෙකුගෙන් පොතක් ගන්න යන බව හෝ ඔබ යන පාරේ වැඩි දුරක් නැති ස්ථානයක් ගැන හෝ දන්වන්න.නිවැරදිව ස්ථානය ගැන කියන්න එපා.ඇත්ත සඟවන්න.ඔබ සැබෑවටම යන්නේ කොහිදැයි සඟවා ඔබ ව්‍යාජයෙන් කියන්නේ ඇත්තක් බව පෙන්වන්න නිතරම කතාකරන්න වගබලාගන්න.මන්ද ඔබට සවන්දෙන්නා ඉන්නේ ඔබ ගැන නිතරම අවධානයෙන්.යන්නේ කොහිදැයි හරියටම නොකියා මේ ලඟට යන්නේ යයි පවසමින් මඟහැර යන්න.වැඩිය කතාවට නොයන තරමට ඇඟට ගුණයි.

අවට පරිසරය ගැන සැලකිලිමත් වෙන්න…

ඔබ ඇවිදගෙන යන්නේ කොහේ වුනත් දවල් හීන දැකීමෙන් වැලකි ඔබ ගමන් ගන්නා මාර්ගය අවට පරිසරය ගැන ඉතා සැලකිලිමත්  වන්න.බියක් නොදක්වා අවට පරිසරය ගැන හොඳ අවධානයකින් ඉන්න.යම් නුහුරු දෙයක් වෙනවද? වෙන්න යනවද කියන එක ගැන යනගමන් සෙමින් අවධානය යොමුකරන්න.එහෙත් බියක් පෙන්වන්න නම් එපා.ඔබට පෙරටුව ගමන් කරන්නෙක් ඔබ දුටු විගස සිය ගමන් වේගය අඩුකර යයි නම්,ඔබට සමාන්තරව ගමන් ගන්න උත්සාහ කරයි නම්,ඔබට පිටුපසින් ගමන් ගන්නෙක් ඔබ පසුකර යන්න හැකි බව තියෙද්දිත් ඔබේ පිටුපසින්ම ගමන් කරන්නේ නම් හෝ ඔබ කෙරෙහි විටින් විටම අවදානයක් යොමුකරන්නේ නම් හෝ එවන් අවස්ථාවලදී ඔබ වඩා සැලකිලිමත් විය යුතුය.ඔවුන් මඟ හැර ගණන් නොගෙන ඔබ මඳක් වේගය වැඩිකරමින් සෙනඟ ගැවසෙන ස්ථානයක් ඇතිනම් කඩිනමින් ඒ දෙසට ගමන් කරන්න.එසේත් නැතිනම් බැරිම වුනොත්  ඔබ ඔවුන් දෙස නොබලා වැඩි අවදානයක් යොමු නොකොට දුරකථන ඇමතුමක හෝ සම්බන්ධ වී සිටින බව අඟවන්න.ඔබ ඔවුන් කෙරෙහි බියක් හෝ වැඩි අවදානයක් දක්වන  බව ඔවුන්ට  නොපෙන්වීම ඉතාම වැදගත්.

කාර්යබහුල,හොඳින්  ආලෝකවත් ප්‍රදේශ කරා යොමුවෙන්න…

ජනගහනයෙන් තොර,වැඩිය මිනිසුන් නොගැවසෙන තැන්වලින් ගමන් ගැනීමේදී ඇතිවන අනාරක්ෂිත තත්වය ඔබට හානිදායි වීමේ ප්‍රවණතාවය වැඩිය.එමනිසා හැකිතරම් මිනිසුන් වැඩිපුර ගැවසෙන ප්‍රදේශ වලින් ගමන් කිරීමේදී යම් අනතුරුදායි තත්වයක් ඇතිවුවද ඔබ වෙනුවෙන් සහය දක්වන්න හෝ සාක්ෂි දෙන්නට හෝ යම් මිනිසුන් ප්‍රමාණයක් සිටීම ඔබේ ආරක්ෂාවට බොහෝ ප්‍රයෝජනවත් කාරණයක්.එමනිසා කෙටි පාරවල් තිබ්බත් හුදෙකලාව ගමන් කරන විට කොච්චර දිගු වුනත්,කොච්චර වෙලා ගියත් සෙනඟ ගැවසෙන මාවත් ම තෝරාගන්න.ඒවගේම රාත්‍රී ගමනක් යන්න වෙයි නම් නිතරම එලිය ඇති ස්ථාන (වීදි ලාම්පු) ඔස්සේ ම ගමන් ගන්න.එහෙත් රාත්‍රී ගමන් බිමන් නොයන තරමටමයි හොඳ.

ඝන පඳුරු,විශාල ගස් හෝ විශාල ලෙස තණකොළ වැවී ඇති ස්ථාන වලින් ඈත් වෙන්න…

ඔබට කෙනෙකුව නොපෙනේන්නත්,ඔබට සැඟවී පහර දෙන්නත්,කෙනෙකුට ඔබව නොපෙනේන්නත්  හොඳ ස්ථාන ලෙසයි බොහෝවිට අපරාධකරුවන් මෙම ප්‍රදේශ දකින්නේ.

වටිනා භාණ්ඩ ඇත්නම් සඟවාගන්න…

මෙවන් අවස්ථාවලදී මාල,කරාබු,mp3 players,අත් ඔරලෝසු ආදී කිසිදු වටිනා කියන දෙයක් පෙනෙන්න පළඳින්න භාවිතා කරන්න එපා.ජංගම දුරකථනය වුවත් අත්‍යවශ්‍ය කරුණකදී හැරෙන්න පෙනෙන්නටවත් තබාගන්න එපා.ඔබ සතුව යම් මුදලක් හෝ තිබෙනවා නම් එයද ආරක්ෂාකාරීව සඟවා තබාගන්න.සියලුම මුදල් ඔබේ පසුම්බියේම  හෝ අත් බෑගයේම  හෝ තබාගන්න එපා.මේ අවස්ථාවේදී අත් ඔරලෝසුවක් තිබීමත් වෙලාව අසමින් ඔබව කතාවට අල්ලගන්න කෙනෙකුට හොඳ අවස්ථාවක් වෙන්න පුළුවනි.

අවධානය මඟහැර ගන්න එපා !

මෙලෙස තනිව ගමන් කරද්දී සංගීතයට සවන්දීම හෝ හෙඩ් ෆෝන් භාවිතය මඟින් හෝ වැලකි සිටීම ඉතාම හොඳ පියවරක්.ඇත්තටම ඒ නිසා ඔබේ නැතිවන්නේ වටිනා කියන හෙඩ් ෆෝන් එක හෝ පළඳනාවක් ම නොවේ.මේ හැම දේකටම වඩා වටිනාම දේ  වන අවධානය සහ සවන්දීම යන අත්‍යවශ්‍යතා දෙකම මෙවැනි ක්‍රියාකාරකම් නිසා ඔබට මඟහැරී යන්නේ ඉතාම අවාසනාවන්ත විධියටයි.මේ නිසා ඔබට විය හැකි හදිසි අනතුරු පවා සිදුවීමේ ප්‍රවණතාවයත් ඉතා වැඩි වීම තවත් අවාසනාවන්ත කරුණක්.එනිසා අත්‍යවශ්‍ය කරුණකදී මිස දුරකතනයෙන් ඇමතුම් ගැනීමක් හෝ ඇමතුම් වලට පිළිතුරු දීමක් හෝ නොකරන්න පුළුවන් නම් එය හුඟක් වටිනා දෙයක්.

පාරයි වෙලාවයි වෙනස් කරගන්න පුළුවන් නම් හොඳයි…

හැමදාම එකම පාරේ ගමන් කරන්නත් එපා! එකම වෙලාවට ම ගමන් ගන්නත් එපා! ඔබ ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්ට වෙලාවයි පාරයි එකම වීමත් හොඳ වාසියක්.ඔබට හානියක් කරන්න ඔබේ එදිනෙදා ගමන් මාර්ගය හෝ ජිවන රටාව සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන යම්  අයෙක් අවධානයෙන් ඉන්නවා වෙන්න පුළුවන්.සාමාන්‍ය වෙලාවට වඩා විනාඩි 20ක් හෝ 30ක් පෙර හෝ පසු ව ගමන් ගන්න.රෑ වෙන කෙනෙක් නම් කලින් යන්න බලන  එක වඩා හොඳයි.යන මාර්ගයත් විටින් විට වෙනස් කරන්න.

ආත්ම විශ්වාසයෙන් සිටින්න…

බොහෝ අය ඔබ කොපමණක් ඔබ ගැන විශ්වාසයෙන් සිටින්නේදැයි ඔබේ හැසිරීම් රටාව අධ්‍යයනය කරමින් යම් තක්සේරුවකට එළඹෙන්න උත්සාහ කරනවා.තනිව ගමන් කරද්දී නිතරම බිම නොබලමින් ශක්තිමත් ඉරියවු තබා එක එල්ලේ ඉදිරිය බලා ගමන් කිරීම වටිනවා.යම් අයෙකු  ඔබට පහර දෙන්නට සිටිනවා නම් ඔබේ තැතිගැන්ම,බියගුළු ස්වභාවය,අවිශ්වාසය,කලබල ස්වභාවයම ඔවුන්ට පහසුවෙන්ම ඔබට පහරදෙන්න හෝ ඔබව  ඔවුන්ට නතුකරගැනීමට  ඇති හැකියාවන් යයි තීරණය කිරීමට බොහෝ  ප්‍රමාණවත්.

ඔබ වෙතම අවධානය යොමුවෙන ආකාරයෙන් හැසිරෙන්න එපා !

ඕනෑවට වඩා සෘණාත්මක අවධානයක් යොමුවෙන ආකාරයේ ඇඳුම් ඇඳීමෙන් වැලකි සිටීම වැදගත් දෙයක්. ඔබ මධ්‍යස්ත ලෙස හෝ ශරීරය ආවරණය වන ඇඳුම් ඇඳීම තුල විලෝපිකයන් ඔබ වෙත අවධානය යොමු කිරීම සහ සමාජය අවතක්සේරුවෙන් ඔබ දෙස බැලීම ඉතා අවම මට්ටමකට වැටෙනවා.තමන්ට කැමති ඕනෑම ඇඳුමක් අඳින්න තරම් කාන්තාවකට නිදහසක් තියෙන්න ඕනේ යයි දැන් ඇතැමුන් තර්ක කරාවි.ඔව්,ඔබ කියන ලෙස වරද ඇත්තේ ඇඳුමේ නොව ආකල්පයේ තමයි.එහෙත් ඒ තරම් දියුණුවක් සමාජයෙන් දකින්න හැකි නම් අද මෙවන් මාතෘකාවක් ඔස්සේ ඔබ හමුවීමට අප පැමිණෙන්නේ ද නැහැ නේද? “කුමන ඇඳුමක් ඇන්දත් ඒ කෙරෙහි වපර ඇහින් නොබලන සමාජයක් අපට නැතැයි යන හැඟීමෙන් කටයුතු කිරීම කාන්තාවක හෝ තරුණියක,දියණියක ලෙස ඔබ දැන සිටිය යුතු වැදගත් කරුණක්”. මන්ද සමාජය කියන්නේ හිතන තරම් සුන්දර තැනක් නොවන නිසා. සාමාන්‍ය jeans,දිගු කලිසම්,මධ්‍යස්ත කර ඇති අත් වැසෙන ෂර්ට් ආදිය සුදුසු ඇඳුම් අතර වනවා.ඔබට දිගු හිසකේ ඇත්නම් එකතු කර ගැටගසන්න.මන්ද කොණ්ඩය විහිදා යාමෙන් ඔබේ ඇස්වලට සහ පෙනීමට බාධා විය හැකියි.

දේශීය පුවත්පත් නිතර කියවන්න,අන්තර්ජාලයෙන් පුවත් පිරික්සන්න…update එකේ ඉන්න…

මෙන්න මේ කාරණේ නම් අපේ කාන්තාවන්,තරුණියන් නොකරන දෙයක්.ඔයා ළඟ ජංගම දුරකතනයක් අනිවාර්යයෙන්ම තියෙනවනේ…නැත්නම් අනිවාර්යයෙන් facebook යන්න අමතක කරන්නෙත් නැහැනේ..ඉතින් ඒවාට කාලයක් වෙන් කරනවා වගේ රට තොට ලෝකයේ වෙන අපරාධ ගැන විශේෂයෙන්ම අවදානයෙන් ඉන්න එක හුඟක් වැදගත් ආරක්ෂාවට වුනත්.මෑතකදී වුනු අපරාධ සහ ඒවා සිදුවූ ආකාර ගැන වුනත් ඔබේ පුවත්පත් ඔබට වාර්තා කරනවා.අපරාධ සිදුකරන,සැලසුම් වන ආකාර දිනෙන් දින වෙනස් වෙන නිසා නිතරම ඒ ගැන අවධානයෙන් සිටීම ඔබේ ආරක්ෂාවට හොඳ පියවරක්.ඉන් ඔබට යම් හානිදායි තත්වයක් ඇතිවන්නේ නම් එය දැනගන්න හොඳ ඉවක් ද ඇතිකරනවා.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here