කාන්තාවන් හිත නිදහස් කර ගැනීම වඩාත් වැදගත්

free-woman

කාන්තාවක් වුනාම බොහෝ වෙලාවට තමන්ගේ පවුලේ ප්‍රශ්න තවත් කෙනෙක් සමග කියන්නේ නැහැ. පැමිණි දුක් පැනි රසයි කියලා සේරම හිතේ දරාගෙන සිටින්න කාන්තාවන් හරිම දක්ෂයි. මේ සිද්ධියේ එක් පැත්තකුත් තියෙනවා. තමන්ගේ දුක් කන්දරාව තවත් කෙනෙක් සමග කියන්න ගියාම බොරදියේ මාලු බාන උදවියත් නැතුවාම නොවෙයි. උදාහරණයක් විදිහට සැමියාගේ තාඩන පීඩන හිත නිදහස් කරගන්න කියල තවත් කෙනෙක් සමග කියද්දී  අනේ අපොයි… කියල අනුකම්පාව දක්වන පිරිමි පරාණත් කාන්තාවන්ට දක්වන අනුකම්පාව එතරම් සුදුසු නැහැ. මේ නිසා ඔවුන් සේරම හිතේ දරාගෙන සිටිනවා මිසක බෙදා හදා ගැනීමක් නැහැ.

පවුලේ නම්බුවත් රකින්න එපායැ…

තවත් පැත්තකින් කාන්තාවන් හිතන්නේ පවුලේ ප්‍රශ්න පිටස්තරයන්ට කීම උඩ බලාගෙන කෙළ ගැසීමක් කියලයි. ඒකෙත් ඇත්තක් නැතුවාම නොවෙයි. හිතේ දුකට කියන මේ මැසිවිලි බොහොම උනන්දුවෙන් අහගෙන ඉදලා තවත් ටික වේලාවකින් ඒවාම ආයුධ කර ගෙන පහර දෙන අවස්ථාවනුත් තිබෙනවා. ඔන්න ඔය හේතු නිසා බොහෝ කාන්තාවන් තමන්ගේ හිතේ තිබෙන දුක කා සමගවත් බෙදා ගැනීමට කැමැති නැහැ.

දරාගෙන සිටීමත් හොඳ නැහැ…

සමාජයේ තිබෙන මේ වගේ ගැටලු නිසා හැම දේම හිතේ දරාගෙන  හිටියත් ඒ තත්වය එතරම් සුදුසු නැති බව දැන් මනෝ විද්‍යාඥයින් විසින් පෙන්වා දෙනවා. දුක තමන්ගේ සිරුරට ජීරණය වෙනවා කියල හිතුවත් ඇයටත් නොදැනීම මේ තත්වය නිසා රෝගී වීමේ අවදානමකුත් තිබෙනවා. අපි හිතන්නේ ඇගේ ලෙඩට බේත් තිබුනට හිතේ ලෙඩට බේත් නැහැ කියල වුනත් දුකක් ඇති වුනාම එය තව කාට හෝ කියල හිත සැහැල්ලු කර ගැනීම ඉතාම අවශ්‍ය බව දැන් මනෝවිද්‍යාඥයින්ගේ පිලිගැනීමයි.

බෝ නොවෙන රෝගවලට හේතුවක්

අද ලෝකයේ සිදු වෙන බොහෝ ‍මරණවලට හේතුව බෝ නොවෙන රෝග බව දැන් හදුනාගෙන තිබෙනවා. විශේෂයෙන් අධිරුධිර පීඩනය, රුධිරගත කොලස්ටරෝල් මට්ටම ඉහල යෑම , දියවැඩියාව පිලිකා වැනි රෝගවලට පවා මානසික පීඩනය බලපාන බව පර්යේෂකයන්ගේ අදහසයි. ඒ වගේම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ බොහෝ කාන්තාවන්ගේ මරණ පරීක්ෂණය සිදු වෙන විට පෙනී යන්නේ ඔවුන්ගේ කිරීටක ධමණීන් අවහිර වෙන තෙක්ම කිසිම වෛද්‍ය පරීක්ෂණයකට යොමු වී නැති බවයි. රෝහල්ගත වෙන විටත් ඔවුන් මුලුතැන්ගෙයි වැඩෙහි යෙදී සිටි බව වගේම ඉදහිට පපුවේ මහන්සිය, අත කැක්කුම වැනි ආබාධ තිබුනත් ඒවා නොතකා කටයුතු කළා මිස නිසි විදිහට වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු නොවුන බවයි. තවත් වැඩිදුර විස්තර ගැන අහන විට පවුලේ දරුවන්ගේ , ඥාතීන්ගේ හෝ සැමියාගේ ප්‍රශ්න නිසා පසුතැවිල්ලෙන් සිටි බවට කරුණු පවුලේ අයගෙන්ම ලැබෙන බවයි. ඒත් මේ කිසිම කෙනෙක් අම්මාගේ එහෙම නැත්නම් බිරිදගේ හිත හැදෙන්න හෝ ඇගේ මානසික පීඩනය දුරු වෙන විදිහට කටයුතු නම් නොකළ බවත් පෙනී යනවා.

හිතේ දුක ගහකට ගලකට හරි කියන්න

අපි දුක හිතේ තද කර ගෙන හිටියට දැන් ලැබෙන එකම උපදෙස අනුව හිතට දුකක් ඇති වුනාම එය ගහකට ගලකට හරි කීම ඉතාම වැදගත්. එහෙ නැත්නම් තමන්ගේම අම්මා, තාත්තා, සහෝදරයෙක් වැනි හිතවත්ම කෙනෙකුට කියන්න. එහෙමත් නැත්නම් උපදේශව හෝ හිතට සැනසිල්ල ගෙන දෙන දුක බෙදා ගන්නා ආයතනයක් අමතා මේ ගැන කියල හිතට අස්වැසිල්ලක් ලබා ගන්න පුලුවන්. ඒ වෙනුවෙන්ම වෙන් වුන දුරකථන අංකත් දැන් මාධ්‍යය මගින් හදුන්වා දී තිබෙනවා.

ජපානයේ නම් අන්න කාමරත් තිබෙනවා…

මානසික අසහනය අපේ සෞඛ්‍යයට එතරම් හොඳ දෙයක් නොවන නිසාම දැන් ජපානයේ කාන්තාවන් වෙනුවෙන්ම අඬන්න කාමර වෙන් කර තිබෙනවා. “මිට්සුයි ගාර්ඩන් යොට්සුයා” හෝටලයේ කාන්තාවන්ට අඬන්න කාමර කීපයක්ම වෙන් කර තිබෙනවා. මේ හෝටලයේ කාමරයකට ගිහින් තමන්ගේ හිතේ දුක සමනය වෙන තෙක්ම අඬන්න පුලුවන්. අඬන්න අවශ්‍ය විදිහට තවත් දුක වැඩි කරන රෑප රාමු  සහ චිත්‍රපටත් මේ කාමරයේ තිබෙනවා. අඬලා අවසාන වුනාම කදුළු පිසදා ගැනීමට අත්ලේන්සුත් මේ කාමරයේම තිබෙනවා. හැබැයි මේ කාමරයක් වෙනුවෙන් මුදලක් ගෙවන්නත් ඕන. ඒ මුදලට වඩා දුක සැහැල්ලු කර ගැනීමේ වැදගත්කම ජපන් කාන්තාවන් දන්නා නිසාම ලෝබ නැතුව සල්ලි ගෙවලා මේ කාමරයට ගිහින් අඬලා අඬලා දුක තුනී කර ගන්නවා. එක පැත්තකින් අපේ කාන්තාවන්ට නම් අඬන්නත් අවසරයක් නැහැ. කොච්චරවත් ඇඬියාව කියල ඒ වෙනුවෙනුත් බැණුම් අහන පරිසරයක ජීවත්වීම සෞඛ්‍යට මොන තරම් අහිතකර විදිහට බලපානවාද කියල දැන්වත් ටිකක් අවධානයකින්  සිටියොත් හොදයි නේද…?

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here