සුපර් මාර්කට්ම හොයන්නේ ඇයි…?

woman-at-the-supermarket
සමහර වෙලාවට අපි මෙහෙම කතා කියනවා…

“අනේ ලාබෙට මාර්කට් එකේ එළවලු, පළතුරු තියෙද්දී ඇයි අපි සුපර් මාර්කට් ගිහින් වැඩියෙන් සල්ලි දෙන්නේ කියලා.” බැලු බැල්මට මේ සිද්ධිය ඇත්ත කියල හිතුනත් එහි දෙපැත්තක් තිබෙනවා. සුපර් මාර්කට් යන්නේ අපේ තරාතිරම පෙන්නන්නම නොවෙයි. මේවායින් එලවලු, පළතුරු මිළට ගනිද්දී තිබෙන වාසි කීපයක් තිබනවා. මේ ගැන හිතලා ඇත්තටම සුපර් මාර්කට් එකකින් ලැබෙන වාසි ගැන ස්වයං තීරණයක් ඔබටම ලබා ගන්න පුලුවන්.

අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුලුවන්

සුපර් මාර්කට් එකකින් ඔබට අවශ්‍ය එළවලු , පළතුරු තෝරා ගැනීමට නිදහස තිබෙනවා. ලාබයි…ලාබයි… කියල කෑ ගැහුවාට එලිමහන් වෙළඳ පොලකින් අපිට එළවළුවක් තෝරා ගන්න නිදහස නැහැ. ඇල්ලුවොත් “නෝනා,ගන්නවා නම් ගන්න.. මේවා අතගාන්න එපා..” ඔය විදිහට අපහාස විදින්නත් වෙනවා.

ග්‍රෑම් දෙසිය පණහක් නොවෙයි ග්‍රෑම් සීයක් වුනත් ගන්න පුලුවන්

එලවලු ලාබ කාලයට එලිමහන් වෙළපොලකින් ග්‍රෑම් 250 ක් හෙම ඉල්ලුවොත් වෙළෙඳ  මහතුන්ට යක්ෂාවේශ වෙනවා. ඒ කාලයට එළවලු පන්සියක්ම අපිට අවශ්‍ය නැති වුනත් මිළට ගන්න ඕන. ඒත් සුපර් මාර්කට් එකකදී අපිට ඒ වාසිය තිබෙනවා. සමහර වේලාවට අපිට සුප් එකක් හදාගන්න විතරක් එළවළු අවශ්‍ය නම් ඒ විදිහට එක කැරට් අලයක් වුනත් මිළට ගන්න පුලුවන්.

මිළ විනිවිදයි

එලිමහන් වෙළ‍පොලේ මේ ගැටළු වලට ඔබත් සමහර විට මුහුණ දීලා ඇති මිළ ඉහළ කාලයට ග්‍රෑම් දෙසිය පණනහ මිළ සටහන් කරන්නේ පාරිභෝගිකයා මුලා කරන විදිහටයි. දෙකේ ඉලක්කම ඉතාම කුඩාවට සටහන් කරල 500 ලොකුවට සටහන් කරනවා. අපි හිතන්නේ මෙතැන තිබෙන්නේ ග්‍රෑම් පන්සියයක මිළ කියලා.. අපිත් මෙතැන ලාබයි කියල හිතාගෙන නැවතිලා මේකෙන් අරකෙන් කියලා කිරා ගෙන මිළ අහද්දී තමයි වෙළෙඳ ගැටේ ගැන තේරෙන්නේ. හැබැයි නැවත ප්‍රතික්ෂෙප කරන්න බැහැ. ඒ වුනාට සුපිරිවෙළසැලකදී මේ විදිහට අපි මුලාවට පත් වෙන්නේ නැහැ.

පිරිසිදුයි

සාමාන්‍ය එලිමහන් වෙළඳ පොලක තිබෙන එළවලුවලට දූවිලි, කුණු එකතු වෙන්න පුලුවන්. ඒ වගේම අපේ ඇස් ඉදිරිපිටම මේ එළවලු සෝදා සෝදා දෙන අන්දමත් අපි දැක තිබෙනවා. පදික වේදිකාවේ පෑගෙන අවස්ථා එමටයි. ඒ වුනාට සුපිරි වෙළ සැලකින් ඒ වගේ අපිරිසිදුකම් අඩුයි.

එක දෙයක් විතරක් ගන්න බැහැ

එළවළු මිළ ඉහල කාලයට ඇතැම් වෙළෙන්දන්ගේ  මිළ අඩුයි නම් අපිට එතැනින් ඒ එළවලුව විතරක් මිලට ගන්න පැහැ. අපිට උවමනා නැති වුනත් ඒ වෙළෙඳ  මහතා භාරයේ තිබෙන තවත් එළවළු මිළට ගන්න ඕන. ඒ වගේ පනවා ගත් නීති රීති බොහොමයක් තිබෙනවා. අපිට ඒවාට අවනතව ගත්තොත් හොඳයි. එහෙම නැති වුනොත් බැණුම් විතරක් නොවෙයි.. අපහාසත්  විඳින්න එපායැ…

මාරු සල්ලි ප්‍රශ්න

එලිමහන් වෙළෙන්දන් වෙත කොච්චර අලෙවියක් තබුනත් මාරු සල්ලි නැහැ. රුපියල් පහක් දහයක් වුනත් නැති බවම කියනවා මිසක පාරිභෝගිකයාට ඉතුරු දෙන්න කිසිම කැමැත්තක් නැහැ. රුපියල් දහයක් නැහැ…තව බෝංචි කරල් ටිකක්…එහෙම නැත්නම් කරපිංචා මිටියක්…ඔය වගේ විසදුම් ගැන අත්දැකීම් හොදටෝම ඇති..ඒ වුනාට සුපිරි වෙළඳසැලකින් ඒ වගේ  විකල්ප අපිට ඉදිරිපත් වෙන්නේ නැහැ.

කාඩ්පත් ගනුදෙණුව

අපිට අත මිට නැති වේලාවට ක්‍රෙඩිට්, ඩෙබිට් වැනි ක්‍රම මගිනුත් ගනුදෙණු කිරීමේ පහසුව සුපර්මාර්කට්වලින් අපිට ලැබෙනවා. ඒ වාසියත් අමතක කරන්න නරකයි.

ඇසුරුම් වෙනුවෙන් මිළක්

අපේ අත්බෑගයේ හැන්දෑවට එළවළුවක්, පළතුරක් ගෙදර ගෙනියන්න පුලුවන් විදිහට මල්ලක් තිබීම අවශ්‍යයි. ඒත් හදිසියේවත් එහෙම ඇසුරුමක් නැති විටෙක එලිමහනේ තිබෙන ‍එළවලු වෙළදපොලකින් මල්ලටත් අමතර මුදලක් අය කරනවා.

ගරුත්වය

මිනිසුන් විදිහට අපි කවුරුත් නම්බුකාර විදිහට අපේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්න කැමැතියි. ඒ මිනිස් ස්වභාවය.. අපි මුදල් දීලා අපේ අවශ්‍යතාවය ඉටු කර ගන්නා විට අපිටත් කිසියම් ගරුත්වයක් තිබෙන්න ඕන. ඒත් පදික වේදිකාවේදීනම් ඒ තත්වය අපිට ලැබෙන්නේ නැහැ. කිලෝ ගණන් ගනිද්දී නම් සර්, මැඩම් කිව්වත් ග්‍රෑම් 100 ක් එහෙම නැත්නම් 250 ක් ඉල්ලුවොත් කිසිම සැලකීමක් නැහැ. එහෙත් සුපුරි වෙළ සැලේදී අපි ගන්නා අයිතමයන් සහ ප්‍රමාණයන්ට නොව අපේ පැමිනීම ඔවුන් ගෞරවයක් විදිහට සලකනවා.

මේ වෙනස්කම් කිසා සමහර විට මුදල් අතින් වාසි වුනත් පදික‍වේදිකාවට ඔබත් අකමැති හේතුව වෙළඳමහතුන්ගේ හැසිරීම් රටාව වෙන්න පුලුවන්.

About The Author

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here